දුවට මවක මිස

mother-and-daughter

අම්මා තරම් ලෙන්ගතු චරිතයක් දරුවන්ට නැහැ. ඒ අතර අම්මා දුවකට වඩාත් වැදගත් වෙන්නේ ඇගේ ජීවිතයේ හැම අවශ්‍යතාවයක්ම විවෘතව කියන්න පුලුවන් එකම චරිතය අම්මා නිසයි. වයස අවුරුදු විස්සක් පමණ වෙන තෙක් අම්මාගේ සෙවනේ හැදෙන වැඩෙන දුව එතැනින් ඔබ්බබට සමාජගත වීම සාමාන්‍ය ස්වභාවයයි. ඇය රැකියාවක නිරත වීම එසේත් නැත්නම් විවාහ වීම වැනි සංසිද්ධීන් නිසා මව සමග පැවැති බන්ධනය සමහර විට දුරස් වෙන්න පුලුවනි. ඒත් අම්මා විදිහට ඔබ දියනියට සමාජයේ හැසිරෙන පිළිවෙල නිසි පරිදි කියා දී නොතිබුනොත් දොස් අහන්න වෙන්නෙත් අම්මාට මිස වෙන කාටද… එහෙම නම් දුවක් සිටින අම්මා කෙනෙක් විසින් මේ කරුණු කාරනාවන් ගැන අවධානය යොමු කළොත් වඩාත් හොදයි..

නිවසේ කටයුතු උගන්වන්න

මීට දශක තුනකට පමණ ඉහත දරුවන් විදිහට කාලය ගෙවූ අද දරු මල්ලන් ලබා තමාගේම ජීවිත ගොඩ නගා ගෙන සිටියත් අද ඔවුන්ගේ දරුවන් තුළ ඒ ගති ලක්ෂණ දකින්න ලැබෙන්නේ නැහැ.එදා ගැහැනු දරුවෙක් හැදුවෙ වැඩුවේ බෞද්ධ සාහිත්‍යයේ අමරාදේවි පූර්වාදර්ශ චරිතය විදිහට සලකා ගෙනයි.

ඒත් සියල්ල වාණිජකරණයට පත් වෙන අද කාලයේ ඔවුන්ගේ දරුවන් තුළ මෙම ගති ලක්ෂණ දැක ගන්නට නැත. නිවසේ වැඩ කටයුතු ගැන අවබෝධයක් නැත. මේ නිසා අනාගතයේදී තමන්ගේ නිවසේ පාලනය තුළ ඔවුන් දක්වන නොහැකියාව නිසාම දොස් නගන්නේ අම්මාටය. “අනේ ගැහැණු දරුවෙක් හදල තියෙන හැටි….” බොහේ දෙනා අකම්පහල වන්නේ ඒ අන්දමින්ය.

කාලය කලමනාකරණය

එදා අම්මේ දරුවන්ට කියා දුන්නේ කාලය රන් හා වටිනා බවයි. ඒත් අද මෙම සංකල්පය මෙසේ වෙනස්ව ඇත.කාලය රන්වලටත් වඩා වටිනා බවයි. දවස උදා වෙන්නේ උදේ හයට නොව හෝරා දෙකකට පෙරාතුව බව ඔවුන් නොදනී. අද ගැහැණු දරුවාට අවදිවන්නට වේලාවක් නැහැ…. නිදන්නට වේලාවක් නැහැ…. කාලය තුළ වැඩකටයුතු ගලපා ගැනීමට හැකියාවක් නොමැති නිසා බොහෝ දේ ආපස්සට යෑම වලක්වා ගත නොහැකි තරම් ගැටළුවක් බවට පත්ව තිබේ.

ලිංගික අධ්‍යාපනය

එදා ගැහැණු දරුවාට අම්මා අවවාද දුන්නේ ව්‍යංගවය. පිරිමි දරුවා කොහේ ඇවිද ගියත් සෝදා ගෙට ගත හැකි බව ඇගේ අවවාදය වූවාය. ගැහැණු දරුවා පිරිසිදු චරිතය ආරක්ෂා කළ යුතු බවට නිතර දෙවේලේ උපදෙස් ලබා දුන්හ. පෝරුව මත සිටින්නට නම් පිරිසිදු බව අවශ්‍ය බවත් එසේ නොමැත්තේ නම් පෝරුව මත ක්ලාන්ත වෙන බවටත් අවවාද දී හික්මීම ගොඩ නගා ගෙන ඇත. අද ලෝකය විවෘතය. ඒ නිසා එදාට වඩා ගැහැණු දරුවාට ලිංගිකත්වය ගැන දැණුවත් කිරීම අවශ්‍ය වී තිබේ. ඇදුම් පැළදුම්, විරුද්ධ ලිංගික ආකර්ශනය සහ ඔසප් දිනයන්හි හැසිරීම ගැන දියනියට ලබා දෙන දැණුවත් කිරීමට අම්මා සදිසි වෙන කිසිම කෙනෙක් නැත.

සෙල්ලමට ඉඩ

එදා ගැහැණු දරුවන්ගේ සෙල්ලම් අතර වැලි බත් පිසීම, බෝනික්කන් නැලවීම විහේෂ විය. මේ නිසා ඔවුන් දරුවන් හදා වඩා ගැනීම සහ නිවසේ පාලනය පිලිබඳව අම්මාගේ අත්දැකීම් ආදේශ කර ගෙන ක්‍රීඩාවේ යෙදුනි. අම්මාද නිවසේ ඉතිරිවෙන පොල් කුඩු, එළවලු , සහ වෙනත් දේ දියනියගේ සෙල්ලම වෙනුවෙන් වූ අමුද්‍රව්‍ය සේ ලබා දෙන ලදී. එහෙත් අද දියණියට සෙල්ලම වෙනුවෙන් නිරාවරනය වුන ලෝකයක් නැත ඇය පොත පත අතර සිරගතව සිටින්නීය.එහෙත් මේ සෙල්ලම් ලෝකයෙන් දියණිය අනාගතයට අවශ්‍ය පන්නරය ලබන බව අම්මා විසින් අමතක කළ යුතු නැත.

ආගම දහමට

සෑම ආගමක් වෙතින්ම කියා දෙන්නේ හික්මීමයි. එසේත් නැත්නම් සදාචාරයයි. මේ නිසා ආගමික සේවනය වෙනුවෙන් දියණිය යොමු කිරීමත් අම්මාගේම භූමිකාවේ තවත් එක් අංගයක් බව අමතක කළ යුතු නැත.

ගැටළු නිරාකරනයට අවස්ථාව

අද දරුවන්ගේ ප්‍රවනතාවය වන්නේ ජීවත්වීමට නොහැකි නම් ජීවිතය හානි කර ගැනීමයි. ඒත් දරුවාට කියා දිය යුත්තේ ජීවිතයෙන් පලා යෑම නොව ජීවත්වීමට අවශ්‍ය ශක්තිය ගොඩ නගා ගැනීමේ හැකියාව වගා කර ගැනීමයි. එය මවකගේ කාර්යභාරයයි. ජීවිතය අපට අවශ්‍ය ලෙසින් හැසිරවීම අපහසු වුනත් ජීවිතයට අපි මුහුණ දිය යුතු බව දියනියට කියා දීමට අමතක කරන්න එපා.

වගකීම පවරා දෙන්න

බාල කාලයේ පටන්ම දරුවන්ට යම් යම් වගකීම් පවරා දීම ඉතාම වැදගත්ය. මේ නිසා මව දරුවන් සමග වඩාත් සමීප වීම අවශ්‍යයි. වයසේ හැටියට දරුවාට යම් යම් වගකීම් පවරා දෙන්න. දියනියක ලෙසින් ඇය අනාගතයේදී තම පවුලේ වගකීම් ඉදිරියේ වඩාත් ශක්තිමත් චරිතයක් වන්නේ එවිටය.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here