ආපදා කළමනාකරනයේදී පුංචි දියණියගේ ශක්තිය

disaster-management-in-school

පුංචි දරුවන්ගේ හිත් බොහොම පිරිසිදුයි. ඒ වගේම සන්සුන් මනසකින් යුක්ත නිසාම ඔවුන්ගේ ධාරනයත් ඉහලයි. ඒත් හැම දෙයම ධාරනය කර ගත්තාට වඩා ඒවා අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට ආදේශ කර ගැනීමට හැකියාවක් තිබෙනවා නම් එය වඩාත් වැදගත්. මේ කනින් අහල… අනිත් කනින් පිට කරන තත්වයට වඩා දරුවන් ඇසෙන දකින දේ තමන්ගේ හිතේ ඉතා තදින් ධාරනය කර ගන්නවා නම් එයින් ලැබෙන ප්‍රතිඵල වඩාත් ඉහලයි. ඒ නිසාම ලෝකයක් දිනන්න නම් දරුවන්ගේ ශක්තීන් මොන තරම් වැදගත් වෙනවාද යන්නට ඉතාම හොඳ සිදුවීමක් මේ විදිහට ඉදිරිපත් කලොත් දරුවන්ගේ ශක්තිය කොතරම්ද කියල ඔබටත් හිතේවි.

එදා නිවාඩු දවසක්. ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ හින්දුමාතා ආර්ථික නගරයේ මේ මහල් නිවාස සංකීර්නයේ නිවැසියනුත් වෙනදාට වඩා කාලයක් නිදා ගැනීමට ගත කළේ ඉඳහිට ලැබෙන විවේකයෙන් ප්‍රයෝජනයක් ගැනීම අවශ්‍ය නිසාය. මේ මහල් සංකීර්නයේ මහල් 12 ක් පිහිටා තිබුනා. ඉතාම අවසනාවන්ත විදිහට හතර දෙනෙක් මේ ගින්නට දැවී මියගිය අතර 18 දෙනෙක් තුවාල ලැබුවා.

අවාසනාව අතරේ 16 වැනි මහලේ නිවැසියන්ට ජීවත්වීමට වාසනාව ලැබුනා. ඒ පුංචි දැරියක් නිසයි. මේ දැරියගේ බුද්ධිමත් හැසිරීම මොන තරම් වටිනවාද යන්න ඇගේ මව විසින් ඉතාම සතුටින් බී.බී.සී පුවත් සේවයට මේ විදිහට සඳහන් කර තිබුණා. මේ මවගේ නම “ජය ශ්‍රී පටෙල්” ඇය වෘත්තියෙන් නීතිඥවරියක්.

එදා උදේ මේ කියන්නේ පසුගිය අගෝස්තු 22 වැනි දා මම උදේ අටහමාරට විතර නාන කාමරයේ ඉදිද්දී එක පාරටම කලු දුමාරයක් දැක්කා. මම ඉක්මනට මගේ සැමියාට කතා කරල මේ ගැන කිව්වා. ඔහු ඇවිත් මොකද වෙලා තියෙන්නේ කියල බලන්න ජනේලය ඇරියා විතරයි දුමාරයෙන් මුලු ගෙයම පිරුනා. මට එකපාරටම මගේ දියණිය “සෙන් සදාර්තේ” මතක් වුණා. ඉක්මනට ගිහින් දුව අවදි කලා. එයා මේ වෙන විට තද නින්දක හිටියේ. මම දුවත්, සැමියාත් කැටුව ගිහින් විදුලිය විසන්ධි කරල පිරිසිදු වාතය ලබා ගන්න මුලුතැන්ගෙයි ජනේලය විවෘත කළා විතරයි මගේ මුහුණට ජල වාෂ්ප වැදුනා. අපි සේරම උදව් ඉල්ලා කෑ ගසන්න වුණා.

මේ වෙලාවේ අල්ලපු ගෙදර අයත් දොර ඇරියා. අපි තුන්දෙනා ඒ ගෙදරට ගියා. ඒත් දුම ඇවිත් ඒ නිවසත් පිරිලා. දැන් අපිට හුස්ම ගන්නත් අමාරුයි.

අපේ දුව මේ වේලාවේ ඉතාම බුද්ධිමත් විදිහට කටයුතු කළා. ඇයට පාසලේ පාඩමක් මතක් වුනා. ඒ විදිහට කටයුතු කරන්න ඇය අපි හැම දෙනාටම උපදෙස් දුන්නා. හදිසි ගින්නකදී ඇති වෙන දුම නිසා හුස්ම ගන්න බැරි වුනොත් තෙත් කළ රෙදි මුහුණ මත තබා ගන්න කියල පාසලේදී ඇය ඉගෙන ගෙන තිබුනා. ගිලෙන්න යන තැනැත්තා පිදුරු ගහේ හෝ එල්ලෙනවා වගේ අපි හැම දෙනාම ඇඳ ඇතිරිලි තෙමා ගෙන මුහුණ මත තියා ගත්තා.

“ඇත්තටම අපිට හුස්ම ගැනීමේ පහසුවක් දැණුනා. ඒ නිසා ගිනි නිවන හමුදාව ඇවිත් ඉනිමං සහ ට්‍රොලි ආධාරයෙන් ගින්න නිවලා අපිව පිටතට ගන්නා තෙක් දුවගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් 16 වැනි මහලේ සිටි අපි හැම දෙනාම බේරුනා…” ජය ශ්‍රී පටෙල් ඇගේ දියණිය ගැන මහත් ආඩම්බරයෙන් ඒ විදිහට සඳහන් කළා.

“මම මගේ ජිවිතයේ කවදාවත් ඒවගේ දුමක් දැකල නෑ. මගේ ඔලුවට ආපු එකම දෙය මම මැරෙන්න ළඟයි කියන එක විතරයි. නමුත් මගේ දස හැවිරිදි දියණිය නිසා මම තාමත් ජීවතුන් අතර. ඇගේ තැනට සුදුසු නුවණ අපි හැමෝම බේරුවා.”

විදුලි පරිපථයක සිදුවූ දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවත්, පියගැටපෙළ අධික දුමෙන් වැසීයාම හේතුවෙන් ඉහළ මහල්වල සිරවූ පුද්ගලයන් 30 ක් පමණ බේරාගත් බව මුම්බායි නගරයේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී ප්‍රභාත් රහන්ග්ඩේල් සඳහන් කර තිබුණා.

ඉතින් ඔබේ දරුවන් තුළත් මේ විදිහට හැකියාවන් තිබෙන්න පුලුවන්. ආපදා කළමනාකරණය ගැන අද පාසල්වල වැඩි අවධානයක් දක්වන කෙෂත්‍රයක් නිසා දරුවන්ගේ හිත් ඇතුලත මේ වගේ ක්‍රමෝපායන් නිදන්ගත වෙලා තිබෙන්න පුලුවනි. ඒ නිසා නිතරම ඔවුන් සමග මේවා ගන කතා බහ කරන්න. තමා උගත් දෙය ආදේශ කළ හැකි තැන් හදුනා ගන්නා දරුවන් ඉතාම බුද්ධිමත්. එය ඔවුන්ගේ නිර්මානශීලිත්වයේ ලක්ෂණයක්. දෙමව්පියන් විදිහට දරුවන්ගේ දැන උගත් දේ තැනට ගැලපෙන විදිහට සම්බන්ධ කරන්න පුලුවන් අවස්ථාවන් ගැන ඔවුන් සමග සාකච්ඡා කරන්න. එවිට මේ හිතේ තැන්පත්ව තිබෙන දැණුම නිතරම යාවත්කාලීන වේවි.

දියණියක් විදිහට ඇය තමා උගත් දෙයින් ආපදා කළමනාකරණය කළ අන්දම ඉතාමත් අගෙයි. ඉතින් ඔබේ දරුවා තුළත් මේ වගේ දැන උගත් දැණුම බොහෝ සේ තිබෙන්න පුලුවනි. ඒවා තැනට ගැලපෙන විදිහට ආදේශ කරන්න ඔවුන්ත් අවස්ථාවක් ලද තැනදී ඉදිරිපත් වේවි. ඒ නිසා මේ සිද්ධිය අපේ රටේ නොවෙයිනේ… කියල ඉවතට දමන්න එපා. කුඩා දියණියකගේ පාසලේ පාඩම මහල් නිවාසයේ එක් මහලකම වැසියන්ගේ ජීවිත ආරක්ෂාවට හේතු වුන අන්දම ඔබේ දරුවාටත් කියා දෙන්න. එය ඉතාම අභියෝගාත්මක සිද්ධියක් විදිහට ඔවුන්ද යම් පන්නරයක් ලබනු ඇති.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here