- Advertisement -

After A/L මොකද කරන්නේ…

-

උසස් පෙළ අවසාන වුනාම දරුවන්ගේ හිත්වලට දැනෙන්නේ මහත් අස්වැසිල්ලක්. වසර දහතුනක පාසල් අධ්‍යාපනය පැය තුනක ප්‍රශ්න මත තීරණය වෙන රටාව නිසාම දරුවන් විභාගය අවසාන වෙන විට මානසිකව බොහොම හෙම්බත් වෙලා. ඒ නිසාම දරුවන් අතර දැන් මානසික වෙහෙස හෙවත් “ස්ට්‍රස් රිලීස්” කිරීමේ වැඩ සටහන් ඉතාම ජනප්‍රියයි. ඒත් සැබෑම “ස්ට්‍රස් රිලීස්” මෙය විය යුතුයි.

විභාගයෙන් පස්සේ තවදුරටත් ඒ මානසිකත්වයෙන් සිටීමට අවශ්‍ය නැහැ. දැන් විභාගය අවසානයි. අපි ලැබෙන ප්‍රතිඵලය භාරගත යුතුයි. ඒ නිසා තමන්ගේ හිතේ වෙහෙස දුරු කර ගැනීම ඇත්තටම වරදක් නැහැ. ඒ වුනත්,

- Advertisement -
විභාගය ගැන විශ්වාසය නැත්නම්

විභාගය ලියා අවසාන වුනාම ඒ ගැන ස්වයං තක්සේරුවක් කිරීම එතරම් අපහසු නැහැ. විභාගයට පිළිතුරු ලියන ලද ආකාරයට අනුව නැවත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන ස්ථාවරයන් අතර දරුවන් රැඳී සිටිනු ඇත. මුල්ම වතාවට වගේම දෙවැනි වතාවට ලියන ලද දරුවන් තමන්ගේ කරුණු ඉදිරිපත් කිරීම අනුව නැවත ලියනවාද නැද්ද යන්න හඳුනා ගන්න පුලුවනි. ඒ නිසා කරන්නන් වාලේ “ස්ට්‍රස් රිලීස්” කරනවා වෙනුවට ඉදිරි වතාවේදී තමන් විභාගයට ඉදිරිපත් වීම ගැන තමාටම විශ්වාස නම් ටික දිනක් විවේකීව හිඳ ඉදිරි විභාගය වෙනුවෙන් සූදානම් වීම වැදගත්. අපි හිතමු ඔබ තුන්වැනි වතාවටත් උසස් පෙළට පෙනී සිටියා නම් නැවතත් විභාගයට ඉදිරිපත් වීමට අවශ්‍ය නැතැයි සිතනවා නම් ඔබගේ ඉලක්කය අනාගතය වෙනුවෙන් වූ යම් යම් ඉලක්ක ජය ගැනීමයි. ඒ වෙනුවෙන් වූ මාවත සොයා ගැනීමට දැන් යොමු වෙන්න ඔන්න කාලය ඇවිත්.

ටිකක් විවේක ගන්න

විභාගය වෙනුවෙන් වූ වෙහෙසකර මානසිකත්වයෙන් මදක් මිදෙන්න දැන් කාලය ඇවිත්. ඒ නිසා යම් මානසික විවේකයක් අවශ්‍ය නිසා විනෝද ගමනක් හෝ මිතුරන් සමග එක්ව විනෝද වීම වැනි වෙනසක් වෙනුවෙන් යොමු වීමත් වැදගත්. මේ වෙනසේදී වුනත් අනවශ්‍ය විදිහට අවදානම් කටයුතු වෙත යොමු නොවී ආත්මාරක්ෂාව සලසා ගැනීමත් ගැන හිතන්න. ගැහැනු දරුවන් වුනත් විනෝදය වෙනුවෙන් යොමු වෙන විට මුලින්ම තමන්ගේ ආත්මාරක්ෂාවට කටයුතු සලසා ගන්න. ඇතැම් ස්ථාන විනෝදයට සුදුසු වුනත් එවන් ස්ථානවල තිබෙන හුදෙකලා බව නිසා ගැහැණු දරුවන්ට තනිපංගලමේ යෑමට තරම් සුදුසු ස්ථාන නොවන්න පුලුවනි. ඒ නිසා විනෝදයටම බර නොවී තමන්ගේ ජීවිතයේ ආරක්ෂාවත් සලසා ගෙන කටයුතු කිරීමත් වැදගත්.

අමතර දේ ඉගෙන ගන්න

උසස් පෙළ අවසානයේදී ලැබෙන මේ විවේක කාලය ජීවිතයේ කිසිම දිනක නැවත ලැබෙන්නේ නැහැ. ඒ නිසා අමතර දෙයක් ඉගෙන ගැනීමට ගැලපෙන ඉතාම සුදුසු කාලයයි. රියදුරු පුහුණුවක් ලබා ගැනීමට නම් මේ කාලය ඉතාම සුදුසුයි. ඒ වෙනුවෙන් දැන් කාලය මිඩංගු කිරීමට හැකියාව තිබෙනවා. ඉවුම් පිහුම් එහෙම නැත්නම් රූපලාවන්‍ය වැනි කටයුතු වලටත් දැන් කාලය තිබෙනවා. කෙටි කාලීනව ඉගෙන ගත හැකි මෙවන් ඵල ප්‍රයෝජන සහිත දෙයක් වෙනුවෙන් සිත යොමු කරන්න ඔන්න කාලය ඇවිත්.

අනාගතයට පාර හදා ගන්න

මෙතෙක් කාලයක්ම විභාගය වෙනුවෙන් ඔට්ටු අල්ලපු ඔබට දැන් ටිකක් විවේකයි. මේ විවේකය වුනත් අපතේ යවන්න එපා. අනාගතය වෙනුවෙන් තව උගත යුතු බොහෝමයක් තිබෙනවා. මෙතෙක් ආ මග ඉතාම කෙටියි. යා යුතු මග දිගුයි. ඒ නිසා ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කුසලතාවයන් වගා කර ගැනීමට හොදම කාලය දැන් ඔබ ඉදිරියේ තිබෙනවා. අධ්‍යාපනය සමග දැන් බද්ධව තිබෙන ඉංග්‍රිසි භාෂාව සහ වෙනත් තොරතුරු තාක්ෂණ කටයුතු සමග ඔබේ ඉගෙණුම ඉදිරියට ගෙන යෑම අවශ්‍යම වෙනවා. ඒ නිසා මේ කෙටි කාලයේදී මේ වෙනුවෙන් ඉගෙණුම ලැබීමට කාලය යොදවන්න. එය ඉතාම වැදගත්.

ඉතින් ඔබට දැන් මොකද හිතෙන්නේ. උසස් පෙළ අවසාන වුනත් ජීවිතයේ ඉදිරිය ගොඩ නගා ගැනීමට කළ හැකි සහ කළ යුතු දේ බොහොමයක් තිබෙනවා. මේ ගෙවෙන කාලය නැවත අපට කිසිම දිනක ලබා ගැනීමට බැහැ. ප්‍රමාදය හැම විටම අපේ ශක්තීන් සහ ජීවිතයේ ඉලක්ක වෙනුවෙන් බලපෑම් ඇති කිරීමට හේතු වෙනවා. ඒ නිසා ටිකක් විවේක අරගෙන ඔබ කළ යුත්තේ මොනවාදැයි ඔබම තීරණය කරන්න. එහිදී අනුන් මත නොව ඔබගේ තීන්දු තීරණ ඔබට අවශ්‍ය සේ ගලපා ගෙන ඉදිරි අනාගතයට ගැලපෙන සේ මේ කෙටි කාලය යොදවා ගත්තොත් ඔබට කිසිම දිනක වරදින්නේ නැහැ.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article