- Advertisement -

සමවයසේ ඇසුරට තහංචි නොදැමිය යුත්තේ මේ නිසයි

-

බොහොමයක් අපේ දෙමව්පියෝ හිතන්නේ දරුවන් තමා සමීපයේ තබා ගෙනම ඇති දැඩි කිරීම සම වයසේ දරුවන් සමග එක් වීමට වඩා දරුවාගේ පැවැත්ම යහපත් කරන බවයි.එය සාධාරණ හිතුවිල්ලත්. බොහෝ දරුවන් සම වයස් කණ්ඩායම් සමග එක්වීම නිසා නොමග යෑම සිදු වෙනවා. වයස අවුරුදු 9 සිට 12 දක්වා වූ කාලයේ අතරේදී සමවයසේ සම්බන්ධවීම් නිසා දරුවන්ගේ මානසිකත්වය වෙනස් වෙන අන්දම මනෝ විද්‍යාඥයින් දකින්නේ මේ විදිහටයි.

දෙමව්පියන්ට වඩා මිතුරන් සමග එක්වීමට කැමැතියි

වයස අවුරුදු 13 ක් පමණ වෙන දරුවන් වඩාත් කැමැත්තක් දක්වන්නේ සම වයසේ මිතුරන් සමග එක්ව අත්දැකීම් ලබා ගැනීමටයි. ඔවුන් අතරින් ලබන අත්දැකීම් දෙමව්පියන්ගේ සමාගමට වඩා ප්‍රියජනක ලෙසින් හිතනවා.

- Advertisement -
විරුද්ධ ලිංගිකයින් සමග ආකර්ශනය

අවුරුදු 15 ක් පමණ වෙන විට ගැහැනු දරුවන් පිරිමි දරුවන්ටත්, පිරිමි දරුවන් ගැහැනු දරුවන්ටත් ආකර්ශනය ඇති වීම නිසා විවිධ ආදර සම්බන්ධතාවයන් ගොඩ නැගෙනවා. සමහර අවස්ථාවලදී දරුවන්ගේ මනසේ තිබෙන ලැජ්ජාශීලි බව නිසා ගැහැනු පිරිමි විදිහට විකර්ශනය වෙලා කටයුතු කරන අවස්ථාවනුත් තිබෙනවා.

මිත්‍රත්වය ප්‍රබලයි

මේ කාලයේදි ඔවුන්ගේ ලෝකයේ සිටින හොඳම මිතුරා වෙන්නේ තමන් ඇසුරු කරන සම වයසේ මිතුරන් වීම නිසා ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ අවවාද වෙනුවෙනු එතරම් තැකීමක් නැහැ. තමන්ගේ එකම විශ්වාසවන්තයා බවට පත් වෙන්නේ සම වයසේ ඇසුරු කරන මිතුරන්. ඒ නිසා නොමග යෑමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ඉතාම ඉහලින්ම තිබෙනවා. නරක පුරුදු වෙනුවෙන් ඇබ්බැහිව සිටින දරුවන් ඉතාම පහසුවෙන් සමවයසේ මිතුරන් නොමගට යොමු කර ගන්නේ මේ වයසේ වැරැද්ද නිසයි.

සමිති සමාගම් වලට කැමැතියි මිතුරු සමාගම් වගේම සමහර ගම්වල දරුවන් විවිධ සුබසාධක කටයුතු වෙනුවෙන් සමිති පිහිටුවා ගෙන තිබෙනවා. අපි එවැනි කටයුතුවලදී දරුවන්ට නිශේධන පැනවිය යුතු නැහැ. සමවයස් කණ්ඩායම් වෙනුවෙන් දෙමව්පියන්ගෙන් මේ විදිහට සහයෝගය ලබා දීමට පුලුවනි.

සම වයස් කණ්ඩායම් සමග ඇසුර එපා යැයි තහංචි පනවනවා වෙනුවට දරුවාගේ මිතුරන් ගැන සොයා බලන්න. ඔහු වැරැදි මිතුරන් ඇසුරු කරනවා නම් පමණක්  ඒ ගැන දරැවාට අවවාද ලබා දෙනවා පමණක් නොව මේ දරුවන්ද වැරැදි ගති පැවැතුම්වලින් මුදවා ගන්න පුලුවන් නම් ඔබ සැබෑම අම්මෙක් වගේම තාත්තෙක් වෙනු ඇති.

සමවයසේ දරුවන් සමග කරන කටයුතුවලදී ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමටත් ඔබට සහයෝගය දක්වන්න පුලුවන්. ඔවුන්ගේ කටයුතුවලදී හැකි විදිහට සහයෝගය ලබා දීම මගින් ඔබත් දරුවාගේ සමවයස් කණ්ඩායමේ මිතුරෙක් බවට පත් වෙනු ඇති.

හුදෙකලා දරුවෙකුට වඩා මිතුරන් ඇසුරේ විශේෂයෙන්ම සමවයසේ මිතුරන් සමග සිටින දරුවන්ට ආවේග පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම සමවයසේ දරුවන්ටත් යහපත් සිරිත් විරිත් සහ ආචාරශීලී හැසිරීම් ගොඩ නගා ගත හැකි පරිසරයක් දෙමව්පියන් විදිහට ඔබට සූදානම් කරන්න පුලුවනි. මේ දරුවන් ආගමික වැඩ සටහන් වෙනුවෙන් සම්බන්ධ කිරීමට හෝ සමාජ සේවා කටයුතු වෙනුවෙන් සම්බන්ධ කිරීමට පරිසරය සකස් කරන්න පුලුවනි. උදාහරණයක් විදිහට කිව්වොත් වැඩිහිටි නිවාසයකට දානයක් දෙන විට එසේත් නැත්නම් ආරෝග්‍යශාලාවක සමාජ සත්කාරයක් කරන විට දරුවාගේ මිතුරන්ටත් ඒ වෙනුවෙන් ආරාධනා කිරීමට පුලුවන්. එසේ නැත්නම් ඔවුන්ට මෙම අදහස් ලබා දී එම සමාජ සත්කාර වෙනුවෙන් ඔවුන්ට සහයෝගය ලබා දීමටත් පුලුවනි.

අද දරුවන්ගෙන් රසවින්දනාත්මක කටයුතු හීන වී යන බවට නැගෙන චෝදනාවන් ඔබටත් පුරුදු ඇති. එහෙත් ඒ වෙනුවෙන් නිරන්තරවම  චෝදනා කරනවා වෙනුවට  සාහිත්‍යමය කටයුතු සදහාත් දරුවන් යොමු කිරීම එතරම් අපහසුවක් නැහැ. ඔබට සමවයසේ මිතුරු සමාජයටම මෙම වින්දනාත්මක බව ලැබෙන සේ උසස් රසවින්දනයක් වෙනුවෙන් දරුවන් යොමු කිරීමට එතරම් අපහසුවක් වෙන්නේ නැහැ.

ඒ නිසා සමවයස් කණ්ඩායම් සමග ඇසුරේ හොඳ මෙන්ම අයහපත් විපාකත් තිබෙන්න පුලුවන්. නොමග යන දරුවන් සමග ඇසුරට බැඳීමෙන් ඔබේ දරුවා වුනත් ඉතාම සැනින් ඒ තැනට යොමු වෙන්න පුලුවනි. අයහපත් පැත්ත ගැන දෙමව්පියන් විදිහට ඹබ විසින්ම අවබෝධ කර ගැනීම වැදගත් . දරුවන් වගේම ඔවුන් ඇසුරු කරන අය ගැනත් විමසිල්ලෙන් සිටීමෙන් දරුවාගේ ඇසුරේ සිටින සමවයස් කණ්ඩායම් ගැනත් යම් වැටහීමක් ලබා ගැනීමට පුලුවනි.ඒ නිසා දරුවාගේ අනාගත පෞරෂ වර්ධනයට ඇවැසි බොහෝ දේ සමවයස් කණ්ඩායම් සමග ගොඩ නගා ගන්නා ඇසුර නිසා ලැබෙන බවත් අමතක කරන්න එපා. ඒ සියලල් යහමගට ගැලපෙන සේ හසුරුවා ගැනීම මව් දෙමව්පියන්ගේ හැකියාවක්.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article