සෑම මවකගේම පියෙකුගේම එකම පැතුම නිරෝගී දරු සම්පතක් වුවත් මවට හෝ කලලයට ඇති විය හැකි සංකුලතා හේතුවෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වන බව අපි හොඳින් දන්නවා. දරුවෙකු කුස පිළිසිඳි මොහොතේ සිට මෙලොවට බිහිවන තෙක් සති හතලිහක කාලයක් පුරා ක්‍රමක්ක්‍රමයෙන් වර්ධනය සිදුවේ. නමුත් මවගේ හෝ කලලයේ ඇතැම් සංකූලතා හේතුවෙන් මව් කුස තුළ සිටිය යුතු කාලසීමාව සම්පූර්ණ වීමට පෙර එනම් සති 37 ට පෙර බිහිවන දරුවන්ද සිටිනවා.
මව්කුස තුළ නියමිත දින ගණන සම්පූර්ණ නොකරන ළදරුවන් කොටස් තුනක් යටතේ වර්ග කළ හැකිය
නොමේරූ ළදරුවන් – සති 32 ත් සති 37 ත් අතර උපදින දරුවන්
ඉතා නොමේරූ ළදරුවන් – සති 32 ත් සති 28 ත් අතර උපදින ළදරුවන්
අතිශය නොමේරූ ළදරුවන් – සති 28 ට පෙර උපදින ළදරුවන්
නොමේරු ළදරුවන් බිහිවීමට හේතු
- ගැබිනි මවට උණ/වෙනත් ආසාදන තත්ත්ව ඇතිවීම
- ගැබිනි මව දියවැඩියාව/අධි රුධිර පීඩන තත්ත්වයන්ගෙන් පෙලීම
- නොමේරූ ළදරු ප‍්‍රසූතිය සිදුවූ මීට පෙර අවස්ථා පැවතීම
- කළලාවාරික තරලය වර්ධනය වීම
- වැදෑමහ තුළින් ලේ වහනය වීම
- ද්වි/බහු කලල පැවතීම හෝ කලල වල ඇති ආබාධ තත්වයන්
මේ ආකාරයට සිදුවන නොමේරු දරු උපතකදී එම දරුවන්ගේ අවයව නිසි අයුරින් සැකසී නොමැති නිසා ඔවුන් යොමු කෙරෙන්නේ දැඩි සත්කාර ඒකකය වෙතටයි. මෙසේ උපත ලබන ළදරුවන් නොයෙක් ආකාරයේ සන්කුලතාවලට ලක්විය හැකි අතරම ඔවුන්ගේ ජිවිතයද අස්ථිර තත්ත්වයේ පවතී.
සති 28ට පෙර උපත ලද/ උපත් බර 1000g ට අඩු ළදරුවන්ට,
- ජිවිත අවධානම ඉහළය
- ශ්වසන අපහසුතා (පෙණහළලු නිසි ලෙස වර්ධනය වී නොමැති නිසා)
- පෙනහලු යථා තත්ත්වයට පත් වන තුරු කෘතිම ශ්වසනය ලබා දීම සිදුවේ
- මොළයේ වර්ධනය අඩුය
- බඩවැල්ද ඉතා සියුම් බැවින් මව් කිරි ජීර්ණය වීම අඩු මට්ටමක පවතී
- ප‍්‍රතිශක්තීකරණය හැකියාව අවමය (එබැවින් විෂබීජ ශරීරගත වීමේ අවදානම ඉහළය)
සාමාන්‍යයෙන් සති 32 වඩා අඩු ළදරුවන්ට,
- කිරි උරා බීමේ හැකියාව අඩු නිසා මවගෙන් කිරි දොවා බට මාර්ගයෙන් ලබා දීමට සිදුවේ
- සම නිසි ලෙස වර්ධනය නොවීම නිසා උෂ්ණත්වය පාලනය කර ගැනීමට විශේෂ උෂ්ණත්ව පාලන කුටීරවල රඳවයි
නොමේරූ ළදරුවන්ට ඇතිවිය හැකි සංකූලතා,
- පෙනහලු ආශ‍්‍රිත ආබාධ
- මොළයට රුධිර වහනය වීම නිසා මස්තිශ්ක අගාධ තත්ත්වයන්
- ශ්‍රවණ /අක්ෂි ආබාධ
- වකුගඩු/පෙනහලු/බඩවැල් බඩවැල් ආශ‍්‍රිත ආබාධ
නොමේරු ළදරුවෙකු රැගෙන රෝහලෙන් පිටව යාමට පෙර විශේෂයෙන්ම බර 1500g ට අඩු සහ සති 34 අඩු දරුවන් අක්‍ෂි මෙන්ම ශ්‍රවණ පරීක්‍ෂාවන්ට යොමු කරයි. ඔක්සිජන් ලබාදීම හේතුවෙන් මෙවැනි දරුවන් අක්ෂි අබාධවලට ගොදුරු විය හැකි නමුත් මුල් අවධියේදීම මේ තත්ත්වය හඳුනා ප්‍රතිකාර වෙත යොමු කිරීමෙන් සුව තත්ත්වයට ගෙන ඒමටත් අන්ධ බවට පත්වීම වළක්වා ගැනීමටත් හැකිය. එසේම රෝහලෙන් පිටවීමට පෙර ලබා දෙන උපදෙස්වලට අනුව යමින් අවශ්‍ය සායන සඳහා සහභාගී වීමට මව්වරුන් උනන්දු විය යුතුය.
නිවසට රැගෙන යන නොමේරූ ළදරුවන් රැකබලා ගැනීමේදී
ප‍්‍රතිශක්තිකරණය ද අවම බැවින්,
- දරුවා අමුත්තන්ගෙන් ඈත් කර තබන්න
- පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න
- සුළු සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පවා නිවුමෝනියා තත්ත්වයන් ඇති විය හැකි බැවින් ආරක්ෂා කරගන්න
- නිතර නිතර දරුවා ඇල්ලීමෙන් වළකින්න
- මව/රැකබලාගන්නා ද පිරිසිදුව සිටින්න
උෂ්ණත්වය පාලනය කර ගැනීමේ හැකියාව අඩු බැවින්,
- තාප හානිය වැළක්වීමට හිස් ආවරණ/දෑත් සහ පාදවලට මේස් පළඳන්න
- සෑම මොහොතකම අනිවාර්යයෙන්ම ඇඳුමක් අන්දවා උණුසුම්ව තබන්න
- ළදරුවාගේ බර 2Kg වන තුරු නෑවීමෙන් වැළකී ඇඟ පමණක් තෙත මාත්තු කර හොඳින් පිස දමන්න
- කැන්ගරු මව් ළදරු සත්කාරය ලබාදෙන්න.
නොමේරූ ළදරුවන් සඳහා කැන්ගරු මව් ළදරු සත්කාරය,
- ළදරුවාගෙ හුස්ම ගැනීමේ අපහසුතා අවම කර ගැනීම
- ළදරුවාගේ බර වැඩිවීම හේතු වේ
- ළදරුවා සහ දෙමාපියන් අතර බැඳීම වර්ධනය කරවයි
මව්කිරි ලබාදීමේදී,
- පැයෙන් පැය කිරි ලබාදීම අනවශ්‍ය අතර කුසගිනි ඇති වන අවස්ථාව අවබෝධ කරගනිමින් කිරි ලබාදෙන්න
- දරුවාට කුස ගිනි ඇති වූ බව ඈනුම් ඇරීම, දෙනෙත් හොඳින් විවිර කර සිටීම, මුව විවර කරගෙන සිටීම වැනි ලක්ෂණ වලින් පෙන්නුම් කරයි
- උරා බීමේ අපහසුතා ඇත්නම් හැන්දකින්, පිපෙට්ටුවකින් හෝ කෝප්පයක් ආධාරයෙන් ලබාදෙන්න
ළදරුවා නිදි කරවීමේදී,
- හිසට කොට්ට තැබීමෙන් වළකින්න
- උඩුබැලි අතට (මුණින් අතට තැබීමේ දී මුහුණ සිර වී හුස්ම ගැනීමට අපහසු වී මිය යා හැකි නිසා) නිදිකර තබන්න
- මේ වන විට මවත් වෙහෙසට පත්ව ඇති නිසා ළදරුවා ඇඳේ වෙනමම/ළදරු ඇඳක තබන්න
- උෂ්ණත්වය රැකෙන පරිදි හොඳින් ඔතා තබන්න
- ළදරුවාගේ මුහුණට හිස් ආවරණ හා රෙදි නොවැටෙන සේ තැබීමට ප්‍රවේසම් වෙන්න
නොමේරූ ළදරුවන් සඳහාත්,
- නිසි කලට වෛද්‍ය නිර්දේශය අනුව එන්නත් ලබා දෙන්න
- වර්ධනය සඳහා අවශ්‍ය කැල්සියම්/යකඩ සහ මල්ටි විටමින් වෛද්‍ය උපදෙස් අනුව අඛණ්ඩව ලබා දෙන්න
- සාමාන්‍ය දරුවන් හා සමග සංසන්දනය කිරීමෙන් වලකින්න
මෙවැනි දරු උපතකදී වැඩි කාලයක් රෝහලේ සිටීමට සිදු වන අතරම නිවසට යැවීම තීරණය වන්නේ ළදරුවාගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම කිරි උරා බීමේ හැකියාව සහ ළදරුවාගේ බර මෙන්ම මවට ළදරුවා රැක බලාගැනීමට හැකි තත්ත්වයට පත් වූ පසුවයි. කෙසේ වුවද මෙවැනි දරු උපතකින් පසු මවකගේ මානසික තත්ත්වය යම්තාක් දුරට දුර්වල විය හැකි නිසා සැමියාගේ මෙන්ම නෑ හිත මිතුරන්ගේද උපරිම සහයෝගය සහ අවධානයත් ආදරයත් මවකට අත්‍යවශ්‍යය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිලිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන යන වෛද්‍යවරුන් සමග සකසන ලද ලිපියකි.