- Advertisement -

ගැබිනි මව්වරුන්ට මල බද්ධය ඇති වෙන හේතු මෙන්න

-

ගර්භණී කාලය යනු ප‍්‍රීතිමත් මෙන්ම අභියෝගාත්මක කාල පරිච්ජේදයක්. එය එසේ හැඳින්වීම කෙතරම් සාධාරණයිද යන්න වැටහෙන්නේ දහසක් බලාපොරොත්තු පිරිවරා ගෙන ප‍්‍රතිඵල අපේක්‍ෂාවෙන්, අභියෝගයන්ට මුහුණ දෙන අන්දම එකිනෙක විමසා බැලීමේදීයි. ගර්භණි කාලයේ ශරීරය තුළ ඇතිවන හෝමෝන බලපෑමද බොහෝ අපහසුතා ඇති කරලීමට හේතු වන අතරම මලබද්ධය ද මෙම කාලසීමාවේදී මවක් අපහසුතාවට පත්කරවන තත්ත්වයකි.

ගැබිනි සමයේ මල බද්ධය ඇති වීමට බොහෝ විට බලපාන්නේ මේ කාල සීමාව තුළ කාන්තාවකගේ ශරීරය තුළ සිදුවන හෝමෝන ක‍්‍රියාවලියේ බලපෑම විය හැකි අතරම කුස තුළ  දරුවා ක‍්‍රම ක‍්‍රමයෙන් විශාල වීම නිසාද මේ තත්වයේ වර්ධනයක් දැකිය හැකිය.

- Advertisement -

ගර්භනී මුල් සමයේ ඇති වන වමනය, ඔක්කාරය වැනි අපහසුතා හේතු කොට ගෙන මවක විසින් ඇති කරගන්නා ආහාර රටා මෙන්ම ජීවන රටාව ද මල බද්ධයට හේතුකාරක වනවා. එසේ වන්නේ විවිධ ආහාර ප‍්‍රතික්ෂේප කිරීම, අත්‍යවශ්‍ය තරල ප‍්‍රමාණයන් නිසි අයුරින් ලබා නොගැනීම මෙන්ම පුරුදුවල ඇති කරගන්නා වෙනස්කම්ද මීට බලපානවා. ඒ කෙසේදයත් ඇතිවන අපුලතාවය නිසා ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය ක‍්‍රමානුකූල කිරීමට අවශ්‍ය වන තන්තු බහුල ආහාරයේ අඩංගු නොවීමත්, ආහාරයේ විවිධත්වක් ඇති නොවීමත් මල බද්ධයට හේතු විය හැකියි.

ආහාරයේ සියලු පෝෂක සංඝටක මෙන්ම එම සංඝටක අඩංගු ආහාරවල ඇති තත්තුමය ස්වභාවයද මීට වැදගත් වේ. එළවළු හා පලතුරු ගත්කළ ඒවයේ ඇති පෝෂණ අගයේ වැදගත් බවක් ඇතිවා මෙන්ම තන්තු ප‍්‍රමාණයද මල බද්ධය වළක්වා ගැනීමට හේතු කාරක වේ. ඇට වර්ග එනම් මෑ, කඩල වැනි මාංශ බෝගත් පොතු සහිත ධාන්‍ය හා පොතු සහිත ධාන්‍යවලින් සකසා ගත් ආහාරත් මල බද්ධය නැති කිරීමට හේතුවන්නේ, ඇට වර්ගවල පිට පොත්තෙත් ධාන්‍ය වර්ගවල පොත්තෙත් තන්තු බහුල ප‍්‍රමාණයක් තිබීම නිසාය. මේ කාලයේ එවන් ආහාර බහුල ලෙස ආහාරයට ගැනීම මල බද්ධය වළක්වා ගැනීමට හේතු වේ. මීට කදිම පිළියමක් වන්නේ නිරතුරු නිවුඩු සහල් හෝ සහල්වලින් නිෂ්පාදිත ආහාර පරිභෝජනයට හුරු වීමයි.

ආහාරයෙන් සිදු කරන බලපෑමට අමතරව රුධිර වාහිනී විස්තාරණය වීම නිසා ශ්‍රෝණී ප‍්‍රදේශයේ ශිරා තදවීම හේතුවෙන්ද අර්ශස් වැනි තත්ත්වයන් ඇති විය හැකියි. මේ සඳහා ශ්‍රෝණී මාංශ පේශී ශක්තිමත් කිරීමට ව්‍යායාමවල යෙදීම වැදගත්ය.

එසේම පරිවෘත්තීය ක‍්‍රියාවලියේදී ශරීරයෙන් පිට කරන ජල ප‍්‍රමාණය වැඩි වීමක්ද ඇති නිසා ජලය හොඳින් පානය කිරීමත් වැදගත් වේ. සමහර විටමින් වර්ගවලටද මෙවන් තත්ත්වයන් ඇති විය හැකි නමුත් අවශ්‍ය පමණට ජලය පානය කිරීම මගින් එම තත්ත්වය ද වළක්වා ගත හැකිය.

මේ සියල්ල අතරේ දෛනිකව මලපහ කිරීමේ පුරුදු ඇතිකර ගැනීමටත් එනම් දවසේ නියමිත වේලාවකදී මලපහ කිරීමේ පුරුදු පවත්වා ගැනීමටද මල බද්ධයෙන් මිදීමට මගකි. මෙය ඔබට පමණක් නොව දරුවන්ට ද කුඩා කල සිට පුරුද්දක් ලෙස පවත්වා ගැනීමෙන් එදිනෙදා කටයුතු යහපත් අයුරින් සිදු කරගැනීමට අවස්ථාව සැලසේ.

මල බද්ධය වළක්වා ගැනීමට සුදුසු ආහාර අතර,

  • නිවුඩ්ඩ සහිත එනම් නොපාහින ලද සහල්/එම සහල් නිෂ්පාදන
  • කොහිල, වැටකොළු, කෙසෙල් මුව වැනි එළවළු
  • වැල් කොහිල, මුරුංගා කොල ඇතුළු සියලූම පළා වර්ග
  • පැපොල්, අඹ ආදී පළතුරු වර්ග
  • කඩල, මුං ඇට, කව්පි වැනි පියලි ඇට වර්ග ඉතා වැදගත් වේ
අයිරාංගනී ගගලමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය
බුලත්සිංහල

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article