- Advertisement -

“දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැළට සවිය දෙන්න”

-

හොඳම දේ දරුවන්ට….. දරුවන් මුල් කර ගෙන විශ්ව ව්‍යාප්ත සංකල්පය එයයි. මෙය දරුවා මුල් කර ගත් සැබෑම තත්වයයි. ඊට හේතුව අද කිරි සුවද විහිදුවමින් ලපටි මුදු මෙලෙක් සිතුවිලිවලින් යුක්ත වුනත් හෙට දිනයේ ලෝකයේ නායකයා වන්නේ මේ කුඩා දරුවාය. දරුවා සැමදාම නොදරුවා නොවන්නේය. කාලය සමග ඔවුන්ද වියපත් වෙනු ඇත. ඒත් එදිනට සමාජය තුළ දෙපයින් සිට ගැනීමේ ශක්තිය ඔවුන්ට ලබා දීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය. මේ වෙනුවෙන් අපේ වැඩිහිටියන්ගේ මාර්ගෝපදේශකත්වය දරුවාට අනිවාර්යෙන්ම ලැබිය යුතුය.

“දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැළට සවිය දෙන්න” 

 

මේ 2018 වසරේ ලෝක ළමා දිනයේ තේමාවයි. වැඩිහිටියන් විදිහට අපි ලෝක ළමා දිනය සමරන්නේ මේ තේමාවන් මත ගලපා නොවේ. එය එක් රැයකින් පහන් කර ගත හැකි සිහිනයක්ද නොවේ. දරුවා දෙපයින් සිට ගන්නා දිනයට ඔහු කොන්ද කෙලින් තිබෙන සෘජු පුද්ගලයෙක් බවට පත් කිරීමට නම් දෙමව්පියන් විදිහට ඔබේ අවධානය අද දවසේ දරුවා වෙත ලබා දීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තකි.

- Advertisement -
මේක ජීවත් වෙන්න හොඳ රටක්යැ…

අද දෙමව්පියන්ගේ තේමා පාඨය වී ඇත්තේ මෙයයි. ඒත් ඔවුන් උපන්නේද, අධ්‍යාපනය ලැබුවේද, රැකියාවන් ලබා ආර්ථිකයෙන් සවි ශක්තිය ලැබුවේද අපේ ශ්‍රි ලංකාවේය. ඔවුන්ගේ දරුවන්ට පමණක් නොව පරම්පරා හතකටම ජන්මය ලබා දුන්නේ මේ ලංකාවයි. අනාගතයේදී ලෝකය විවෘත වූ දිනක දරුවා වෙනත් රටවල් වෙත ආකර්ශනය ලැබීම හෝ අධ්‍යාපනය ලැබීමට තීරණය කිරීම වෙනත් සිද්ධියක්. ඒත් බාලකාලයේ පටන්ම දරුවාට අපේ රට ජීවත්වීමට ගැලපෙන දේශයක් නොවේය යන සිතුවිල්ලෙන් විනාශ නොකරන්න. අපි දරුවන්ට ලබා දිය යුත්තේ ඉදිරියට දිරියයි. ඒ නිසා මෙවන් පසුගාමී අදහස් වලින් ඔවුන්ගේ දිරිය අවප්‍රමාණ නොකරන්න.

ආරක්ෂාව

දරුවන්ට දිරියෙන් යුක්තව පෙරට ගොස් අනාගතය ජයගැනීමට නම් ඔවුන් වෙනුවෙන් ආරක්ෂාව ලබා දීම දෙමව්පියන්ගේ යුතුකමකි. අද නිරන්තරව ඇසෙන ඉතාම අවාසනාවන්ත තත්වය වී තිබෙන්නේ ළමා අපචාරයන්ය. යුනෙස්කෝ වාර්තාවන්ට අනුව අපේ රටේ ගැහැනු සහ පිරිමි දරුවන්ගෙන් සමන්විත ළමා ගනිකාවන්ගේ සංඛ්‍යාව 40,000 කි. මේ වාර්තාගත සංඛ්‍යාවන් පමණි. වාර්තාගත නොවුන සංඛ්‍යාවන් බොහෝ සේ තිබිය හැක. පිරිමි දරුවන් විදේශිකයන් වෙනුවෙන් පවා ලිංගික ශ්‍රමය සපයන තරම් තත්වය ශෝචණීය වේ.

ඒත් දරුවන් මෙම තත්වයට පත් වෙන්නේ මව්පිය දූ දරු සම්බන්ධතාවයන් ගිලිහී ගිය තැනදී බව අපි වැඩිමනත් සේ ඉස්මතු නොකරන්නෙමු. එක්තරා බාලිකා පාසලක සාමාන්‍ය පෙල පංතියේ බාලිකාවන් දහ දෙනෙක් ලැගුම්හලකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ දියණිවරුන් තම පොත් සමග රාත්‍රි ඇදුම් රැගෙන යන තෙක් දෙමව්පියන් ඒ ගැන විමසා නැත. “ගොනා එන්නේ පොල් පැලයටද… එසේ නැත්නම් තැඹිලි පැලයටද…” යන්න මව්පියන්ට අවබෝධ කර ගැනීමේ හැකියාව අනිවාර්යෙන්ම තිබීම වැදගත් වේ.

ගාලු පුරවරය 1977 වැනි කාලයක පටන් විදේශීකයන්ට විවෘත කලාපයකි. එම කාලයේ හදිසියේම එක් පිරිමි දරුවෙක් දේශීය පුද්ගලයෙක් විසින් ඉතා මිත්‍රශීලීව කතාබහට සමීප කර ගන්නා විටම දරුවාගේ සිහියට නැගුනේ වැඩිහිටියන්ගේ අවවාදයයි. කිසිම නාදුනන කෙනෙක් සමග වැඩි පයුරු පායාසම් අවශ්‍ය නැත යන අවවාදය නිසා මේ පිරිමි දරුවා කෙසේ හෝ එතැනින් ගැලවී බයිසිකලය වේගයෙන් පැදගෙන තමාගේ නිවසට පැමිණියේය. ඒ වටපිටාව ඔහු දන්නා නිසා සහ වැඩිහිටියන් විසින් පරිසරය ගැන කියා දී තිබුන නිසාය. ඒත් අද දරුවන් ලෝකයට විවෘත වුනත් ඔවුන් දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය. මේ නිසා ඔවුන් විවිධ අපචාරයන්ට යොමු වුන විට සංඛ්‍යාලේඛන එක් කිරීමට පමණක් අපි යොමුව සිටී. තවත් පැත්තකින් මෙවන් අපචාරයන්ට යොමු වුන තැන පටන් දරුවාගේ මානසිකත්වයට ඇති වෙන බලපෑම නිසා ඔහුගේ දිරිය මුලුමනින්ම බිඳවැටෙන නිසා පිටස්තරව ලබා දෙන සවියෙන් ජීවිතය ජයගැනීම හුදු මායාවක් පමණක් බවට පත් වෙනු ඇත.

ආදරය දක්වන්න

බොහෝ දෙමව්පියන්ගේ සංකල්පයක් ව තිබෙන්නේ දරුවන්ට ආදරය නැවත නැවත ප්‍රදර්ශනයෙන් පෙන්විය යුතු දෙයක් නොව එය ආත්මීය බන්ධනයක් නිසා ඒ ගැන නැවත කතාබහක් අවශ්‍ය නැති බවයි. ඒත් දරුවෙකුට දැනෙන්න ආදරය නොකරන විට ඔවුන්ගේ හිතේ තමා සුරක්ෂිතය යන හැගීම ඇති නොවන බව මනෝවිද්‍යාඥයින්ගේ අදහසයි. ඔවුන්ගේ පෙන්වා දීමට අනුව අපි දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කළ යුතුය.

පරිසරයට සම්බන්ධ කරන්න

ගහ කොළ සතා සිවුපාවන් සමග ජීවත්වුන පරම්පාරවක් නිසා ගෙවුන සියවස් ගණනාවක් පුරාම කිසිදු විනාශයක් නොමැතිව අපි ජීවිතය ගෙව්වත් පසුගිය කාලයක පටන් අපට එය අමතකව ඇත. එහෙත් පරිසරය මොන තරම් මහඟු මෙහෙවරක් කරන්නේද යන්නට හොඳම සාක්ෂි කීපයක් මේ. ඉංග්‍රිසි සිංහල ශබ්ද කෝෂයේ නිර්මාතෘ ගුණපාල මළලසේකර මහතා වරක් ප්‍රකාශ කළේ ” මට මේ හැකියාව ලැබුනේ පුංචි කාලයේ පටන් මම හැමදාම උදෙන්ම මුහුදු වෙරළට ගිහින් රැළ නගින බහින දිහා බලා සිටියා.. මම දිනපතාව ඉංග්‍රිසි වචන පහ බැගින් ඉගෙන ගත්තා. පසුකාලයේ මේ ශබ්දකෝෂය ලියන්න තරම් මගේ වාග්කෝෂය පුළුල් වුනේ ඒ නිසම වෙන්න ඇති.. පරිසරයට සම්බන්ද වීමෙන් දරුවෙක් ලබන දිරිය සහ අනාගතයට පිවිසුම වෙනුවෙන් ලබන සවිය ගැනන තවත් විස්තර අවශ්‍ය නැත.”

වෙනත් සංස්කෘතින් සමග ජීවත් වෙන්න ශක්තිය

“රෝමයට ගියාම රෝමයේ විදිහට ජීවත් වෙන්න ඕන..” මේ කියමන ඔබටත් හුරු පුරුදු ඇති. මේ පරිසරයට අපි අනුගත නොවුන නිසා පසුගිය කාලයක ලත් අමිහිරි අත්දැකීම් මතක ඇති නිසාවෙන්ම දරුවන්ට විවිධ සංස්කෘතින් සමග ජීවත්වීමට අවශ්‍ය සවිය ලබා දීම ඉතාම වැදගත්. එවිට වෙනස් සංස්කෘතින් ඉදිරියේදී ඇති වෙන නයි පොළොං වෛරය වෙනුවට හැම දෙනා සමග සහජීවනයෙන් ජීවත්වීමේ ශක්තිය දරුවා විසින්ම උපයා ගනු ඇත.

ප්‍රංශසාව

දරුවා ප්‍රශංසාවට බෙහවින් ලැදිය. ඔවුන්ගේ ආත්මාභමානය වගා වෙන්නේ එවිටය. සමහර විට ඔහුගේ චිත්‍රය කුරුටු බලියක් විය හැක. ගීතයක ගායනීය ස්වරයක් නොමැති විය හැකියි. ඒත් ඒවා අගයන්න. දරුවාගේ ආත්මාභිමානය ගොඩ නැගනේනේ එවිටය.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article