ලෝකයේ සතුටින්ම දරුවන් සිටින රට ජපානය බව “ලැන්සෙට්” වාර්තාව මගින් පෙන්වා දෙනවා. දැන් ඔබ මේ විදිහට ප්‍රශ්න කලොත්… “ඇයි අපේ දරුවන්ගේ සතුට නැති වෙන්න හේතුවක් තියෙනවායැ… කන්න බොන්න අදින්න හැම දේම තියෙනවා… ඉගෙන ගන්න පහසුකම් තියෙනවා.. තව මොනවද ඉතින්…?” කියල ඔබ ඇහුවොත් ඒ වුනත් ජපානයේ දරුවන් සතුටින් සිටින හේතු කීපයක් ගැන මේ වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතින් ඔබේ නිවස තුළත් දරුවන්ට මේ වාතාවරණය තිබෙනවා නම් ඔබේ දරුවන් සතුටින් කියල ඔබටම තේරේවි.
විවිධ ආහාර දෙන්න
අපි ඉතින් හැම වේලාවේම දරුවන්ට බල කරන්නේ බත් කන්න කියලා… ඒ වගේම වචනයටත් කියන්නේ අපි තුන් වේලටම බත් කාලා හැදුන මිනිස්සු… කියල නොවෙයිද…? ඒ නිසාම දරුවන්ට බත් කෑමත් එපා වෙන තැනට පත් වෙනවා ඇති. ජපානයේ දරුවන්ගේ ආහාරවේලට විවිධ දේ එකතු වෙනවා. බත් විතරක් නොවෙයි, නූඩ්ල්ස්, පැස්ටා, ස්පැගටි, සුප්, වගේ අපි නොදන්නා ජපන් ආහාරත් සමග ඇති වෙන විවිධත්වය නිසා ජපානයේ දරුවන්ගේ හිත් නිතරම සතුටින් තියෙන බව මේ වාර්තාව පෙන්වා දෙනවා.
අනුභවයට බල කිරීමක් නැහැ…
අපේ දරුවන්ට නම් ඉතින් කෑම කවන එක තරම් යුද්ධයක් තවත් ගෙදර නැහැ. අම්මා , තාත්තා පුදුම වෙහෙසක් දරනවා වගේම එහි අනිත් පැත්තට දරුවාටත් මහත් වධ බන්ධනයක් වෙනවා ඇති. හැබැයි ජපානයේ දරුවන්ට ආහාර කවන්න පොවන්න පෙරැත්තයක් නැහැ. තමන්ගේ අවශ්‍යතාවය අනුව නිදහසේ කන්න බොන්න පුලුවන්. ඒ තත්වය නිසා ඔවුන්ගේ හිතේ සතුට ඇති වෙන බව දැන් පිලිගත් සත්‍යක්.
පිගාන පුංචියි…
ජපන් දරුවන්ගේ පිගාන බොහොම පුංචියි. අපේ අම්මලාට නම් දරුවාගේ ආහාරයේ ප්‍රමාණාත්මක බව ගැන මිසක ගුණාත්මක බව ගැන එතරම් ගැටළුවක් නැහැ. බත් පිගානම කෑවා නම් අන්න අම්මා තෘප්තිමත්. ඒ වුනත් දරුවාට මේක ප්‍රශ්නයක්. බත් ඉතුරු කලොත් සමහර අම්මලා කෝටුව ගන්නවා කියන තැනත් ඉන්නවා ඇති. ඒත් ජපානයේ දරුවන්ට මේ ගැටලු නැහැ. පුංචි පිඟානට ගුණාත්මකව සකස් කළ ආහාර පොඩි ප්‍රමාණයකින් සෑහීමට පත් වෙන්න පුලුවනි. පළතුරු, එළවළු සමග ලැබෙන පුංචි පංගුවෙන් ඔවුන්ට ලොකු ගුණයක් ලැබෙනවා. ඒ නිසා ලොකු පිගානක බත් බෙදා ගෙන අම්මා තාත්තා සතුටු කරන ගැටළු ජපන් දරුවන්ට නැහැ. ඒ නිසාම ඔවුන් බොහොම සතුටින් සිටින පිරිසක් බවට පත් වෙලා.
හැම දෙනාම එක වේලාවට එක මේසයක
ජපන් පවුලක් වුනාම ආහාර ගන්නේ එකම මේසයක. ඔවුන් ඉතාම ආචාරශිලීව ආහාර ගැනීම ගැනත් ප්‍රසිද්ධයි. ඒ නිසා ආහාර බුත්ති විදින වේලාව බොහොම ප්‍රිය ජනක අවස්ථාවක් විදිහට පෙන්වා දෙන්න පුලුවනි.
මුලුතැන්ගෙටත් ඉඩ…
අපේ දරුවන්ට නම් මුලුතැන්ගෙය තහනම් කලාපයක්. අත කැපෙයි… පිහිය අල්ලන්න එපා.. .ගින්දර.. බිම වතුර හැලෙයි… එක වැඩය දහය නොකර යන්න මෙතැනින්… මේ වාගේ ගෝරනාඩු හොදින් පුරුදුයි. ඒ වුනාට ජපානයේ දරුවන්ට බාල කාලයේ පටන්ම මුලුතැන්ගෙයි වැඩ කටයුතුවලට අවසර තිබෙනවා. ඉතින් මාත් ලොකු මනුස්සයෙක් කියන තෘප්තිමත්බව දරුවාගේ හිතේ ගොඩ නැගනෙවා ඇති. ඒ නිසාම ඔවුන් සතුටු සිත් ඇති දරුවන් වීම බොහොම සුලු සිද්ධියක්.
මේ සේරම එදිනෙදා ජීවිතයේ සිදු වෙන සරල සිදුවීම්. ඒ අතරම ජපානයේ දරුවන්ගේ සතුටට හේතු වෙන තවත් සෞඛ්‍යමය වාසි කීපයකුත් තියෙනවා. ඒ තත්වයත් ඔවුන්ගේ සතුටට හේතු පාදක වෙනන් පුලුවනි.
ක්‍රියාශීලියි..
සාමාන්‍යයෙන් ජපන් ජාතිකයෙකුගේ ගමන දෙස බලන්න. ඔබට ඔවුන්ගේ ඇවිදීම තුළ තිබෙන රිද්මය සිහියට නැගෙනවා ඇති. අත් චලනය වෙන මේ ඇවිදිම නිසා නොදැනීම සිරුරට ලැබෙන ව්‍යායාමය සෞඛ්‍ය පැත්තෙනුත් වාසි සහගතයි. අපේ දරුවන් බොහොම වේලාවට බිම නොතියා අතේ එහෙ නැත්නම් කොටුවක හිර කර ගෙන හදන්නේ විෂබීජවලට නිරාවරනය වෙයි… එහෙම නැත්නම් දුවල පැනල තුවාල වෙයි… ඒ වගේම අම්මාට වැඩක් පොලක් කර ගන්න නිදහස හොයාගන්නා අටියෙන් වෙනන් පුලුවනි. ජපන් දරුවන් පුංචි කාලයේ පටන්ම බොහොම ක්‍රියාශීලියි.
ඇවිදීම
පුංචි කාලයේ පටන් ඔවුන් දරුවන් පයින්ම ඇවිද්දවනවා. ඒ නිසා මොළයට ලැබෙන ඔක්සිජන් සැපයුම නිසා මොළයේ ක්‍රියාකාරීත්වයට වගේම නිර්මාණශීලීත්වයට බොහොම ලොකු වාසියක් ලැබෙනවා.
බයිසිකල් පැදීම
පුංචි කාලයේ පටන්ම දරුවන්ට බයිසිකල් පැදීමට අවසර තිබෙනවා. නිවසේ සිට ගොවිපොලට, කඩපිලට මේ දරුවන් යන්නේ එන්නේ බයිසිකලයෙන්. ඒ වයායාමය සතුටින් ඉනන් වාසියක් වෙන්නේ මොළයට හොදින් ඔක්සිජන් සැපයුම ලැබෙන නිසයි.
ඉතින් අපි නිතරම බලන්නේ දරුවන්ගේ කායික සෞඛ්‍යය ගැන විතරයි. මානසිකව ඔවුන්ගේ නීරෝගිබවට නම් එතරම් උනන්දුවක් දක්වන්නෙත් නැහැ. නමුත් මේ දෙපැත්තම සමබර විදිහට පවත්වාගෙන නොගියොත් අපිට නීරෝගී දරුවෙක් බිහිවුනත් මානසිකව රෝග තත්වයන් තිබෙන්න පුලුවන්. ඉගෙනුම සාර්ථක කර ගන්න, ජීවිතයට මුහුණ දෙන ශක්තියට මානසික නීරෝගීතාවය අවශ්‍යයි. සතුට ඇති වෙන්නේ මානසිකව නීරෝගී පුද්ගලයන්ටයි. ඉතින් ජපානයේ දරුවන් බාල කාලයේ පටන්ම නිදහස් මානසිකත්වයකින් හැදෙන වැඩෙන නිසාම ඔවුන් සතුටින් සිටීම ගැන පුදුමයක් වෙන්න හේතු නැහැ නේද….?
-Times of India ඇසුරින්-