අම්මලාගේ සිංහනාදය දරුවන්ට ඒතරම් ගුණ නැහැ

child-crying

“අපි වින්ද දුක නම් අපේ දරුවන්ට විදින්න දෙන්නේ නැහැ…” මේ අද සෑම දෙමව්පියෙකුගේම  මුවින් නැගෙන සාමාන්‍ය වාක්‍ය කොටසක්. ඒ කතාව ඇත්ත. කාලයත් සමග අපි ලෝකයට විවෘත වුනාම අපේ දෙමව්පියන් නොදැක්ක ලෝකය අපි දකිනවා. ඒ වගේම අපි නොදැක්ක ලෝකය අපේ දරුවන් හෙට දවසේ දකීවි. එතකොට ඔවුන්ගේ දරුවන් මුල් කර ගෙනත් මේ විදිහට කිව්වොත් අපේ හිතටත් යම් සිත් රිදීමක් ඇති වේවි.

හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවා හැකි තරම් ඉහලින් ඔසවා තැබීමට හදවතින්ම සූදානම්. ඒත් මේ හැම දෙයක් තුලින්ම දරුවාගේ ජීවිතය ගොඩ නගා ගැනීමට අවශ්‍ය පරිසරයත් නිර්මාණය වීම වැදගත්.

අපි හිතුවත් අපේ දරුවන්ට සියල්ල සම්පූර්ණ කිරීම නිසා අපි දෙමව්පියන් විදිහට තෘප්ත මට්ටමට පත් වුණා කියලා ඔබ වැරැදියි. කිසිම කෙනෙකුගේ සියළු අවශ්‍යතාවයන් පිරිමසන්න කාටවත්ම බැහැ. අපි දකින වපසරියට එහා ලෝකයක් දරුවන් හෙට දවසේ දකින්න පුලවන්. ඒ වගේම අපේ අම්මලා නගන මේ සිංහනාදය දරුවන්ට බලපාන්නේ කොහොමද…?

දරුවන්ගේ ධෛර්ය බිඳ වැටෙනවා

අද දරුවන් තුළ ජීවිතයට මුහුණ දීමේ ශක්තිය බොහෝ දුරට පිරිහිලා. විභාග මුල් කර ගෙනම ජීවත්වෙන ඔවුන්ට එයින් එපිටට ලෝකයක් නැහැ. ඒ නිසා එදා වගේ අම්මලාගේ වෙහෙස. සහ කැපවීම දරුවන් දන්නෙත් නැහැ. තමන්ගේ අනාගතය වෛද්‍ය, ඉංජිනේරු වෘත්තීන් පමණක් මුල් කර ගෙන හදවත්ට නික්ෂේපනය කර තිබෙන අදහස් නිසා ඔවුන්ගේ ලෝකය ඉතාම පටුයි. මේ ලෝකය තුළත් අම්මලා හිතට දෙන සංකල්පය වී තිබෙන්නේ අපි දරුවන්ට අවශ්‍ය හැම සැප සම්පතක්ම ලබා දෙනවා යන උදාන වාක්‍යයි. ඒ නිසා දරුවන්ටත් මහන්සියෙන් උපයා ගත යුතු දෙයක් නැති බව ඔවුන් හිතන නිසා කිසිම ධෛර්යයක් උපදවා ගන්නේ නැහැ.

ඔබ මෙතැන සිටින්නේ

ඔබේ දෙමව්පියන්ගේ තරාතිරම සහ ආර්ථික ශක්තිය කොපමණ වුනත් අද සමාජයේ මේ තැනට පත් වෙන තෙක් ඔබේ දෙමව්පියන් ඔවුන්ගේ හැකියාවෙන් උර දුන් බවත් අමතක කරන්න එපා. එය ඉහලට ගිය තැනදී ඉනිමගට පයින් ගැසීමට සමාන කටයුත්තකි. තමන්ගේ දෙමව්පියන් ගැන නිතරම ඇගයීමෙන් කතා කරන්න. ඒ වගේම ඉතා දුක් මහන්සියෙන් ඔවුන් ඔබට යන මාර්ගය එලි පෙහෙලි කර දී තිබෙන බවත් සිහියේ තබා ගෙන දරුවන් ඉදිරියේ ඒ වටිනාකම් ගැන වඩා විශේෂ කර කතා බහ කිරීම වඩාත් යෝග්‍යයි.

වැඩිහිටියන් ගැන ඇගයීමක් නැහැ

මේ විදිහට අපි දරුවන්ට දක්වන ආදරය, ආරක්ෂාව සහ රැකවරනය අත්තම්මලා සීයලා ගෙන නොලැබුන බව කියන විට වැඩිහිටියන්ගේ හිත්වලත් යම් ආත්මානුකම්පාවක් ඇති ගොඩ නැගෙන්න පුලුවන්. හැම දෙමව්පියෙක්ම දරුවන් හැරුන විට වෙනත් සම්පතක් නැතැයි යන තැන සිටිනවා නම් භෞතික සම්පත් නොතිබුන පමණින්ම ඔවන්ගෙන් යුතුකම් ඉටු නොවුනා යැයි චෝදනා නගන්න බැහැ.

මේවා අහගෙන සිටින දරුවොත්

අපි තරම් දරුවන්ට සලකන දෙමව්පියන් නැතැයි යන අදහස නිතරම ඉස්මතු කරන විට දරුවන්ටත් වැඩිහිටියන් ගැන තිබෙන ගරුත්වය නොදැනීම බිඳ වැටෙනවා මේ නිසා ඔවුන්ගේ ලෝකයේ අත්තම්මා, සීයා යනු නොවටිනා චරිත විදිහට ගොඩ නැගීමත් එතරම් සුබවාදී දෙයක් නොවෙයි.

සකසුරුවමක් නැහැ

“දැන් ඔබ ස්වයංපෝෂිතයි…” යන සංකල්පය නිතරම දරුවන්ගේ හිතට ඇතුළු වුනාම ඔවුන්ගේ සකසුරුවම් බවත් නොදැනීම ඉවත් වෙනවා. ජීවිතය ගොඩ නගා ගෙන ඉදිරියට යන විට දැනෙන පිරිමැස්ම සහ සකසුරුවම සියල්ලම රිදී බන්දේසියක තබා පිලිගන්වන විට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිතරම අපි සියල්ල සපුරා තිබෙන දෙමව්පියන් යන සිංහනාදයෙන් දෙමව්පියන් මිදෙනවා නම් එය දරුවාගේ ජීවිතය ස්වාධිනව ඉදිරියට ගෙන යෑමේ හැකියාවට විශාල ජවයක් වෙනවා.

ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබේ හිතේ මේ සංකල්පය තිබෙන්න පුලුවනි. ඒත් දරුවන් මේ මත පිහිටා කටයුතු කිරීමට අනවශ්‍ය විදිහට බලගැන්වීම නම් එතරම් ගැලපෙන කටයුත්තක් නොවෙයි.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here