- Advertisement -

සායනයෙන් ලබාදෙන විටමින් A අධි මාත‍්‍රාවේ වැදගත්කම මෙන්න

-

ශ‍්‍රී ලංකාවේ හඳුනාගත් සෞඛ්‍ය ගැටලු අතර මූලික තැනක් හිමිවන්නේ පෝෂණ තත්ත්වයේ ගැටලු මත ඇති කරන සෞඛ්‍ය ගැටලුය. මේවා දෙස විමසුම් සහගතව බැලීමේදී ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක කොටස් අවශ්‍ය පරිදි නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව පැහැදිලි වේ. මෙහිදී සාමාන්‍ය පරිදි දරුවන්ගේ හෝ අන් අයගේ උස මැනීම, බර මැනීම හා උසට සරිලන බර ගණනය කිරීම මගින් වර්ධනය පිළිබඳ තක්සේරුවකට එළඹිය හැකි වුවද ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා පිළිබඳව මීට වඩා වෙනස් විදියකට බැලිය යුත්තේ උසට සරිලන නිවැරදි බරක් පවතින්නන් තුළ පවා ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා හේතු කොටගෙන ඇති කරන දුර්වලතා දීර්ඝ කාලීනව ජීවිතයට එල්ල කාරන තර්ජන නිසාවෙනි.

ජීවිතයේ ක‍්‍රියාශීලි යහපැවැත්මට බාධා එල්ල කරන ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා අතර යකඩ ඌණතාවය, අයඞීන් ඌණතාවය මෙන්ම විටමින් A ඌණතාවයද සැලකිය යුතු මට්ටමක පැවතීම රටක් ලෙස අප මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයකි. මේ ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා වළක්වා ගැනීමට විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කරන අතර විටමින් A ඌණතාවය වළක්වා ගැනීම සඳහා ද සඵලමත් ක‍්‍රමවේදයක් අප රටේ භාවිත වේ. ඒ නම් ළදරු ළමා සෞඛ්‍ය කටයුතු නංවාලන සියලු රජයේ සායන හා සත්කාරක සේවාවන් සපයන රෝහල් හරහා උපතේ සිටම විටමින් A අධි මාත‍්‍රාවක් ලාබදීමට පහසුකම් සලසා තිබීමයි.

- Advertisement -

උපතේදී දින 7 ක් ඇතුළත මවට විටමින් A අධි මාත‍්‍රාව ලබාදීමෙන් මව්කිරි හරහා දරුවාට විටමින් A ලබාදීම ද දරුවනට මාස 6 පංච සංයුජ එන්නත, වසරක් සපිරුණු විට ජපන් නිදිකර්පර ප‍්‍රදාහ එන්නත, මාස 18 දී ති‍්‍රත්ව එන්නත, වසර 3 ක් සපිරුණු විට සරම්පල රුබෙල්ලා හා කම්මුල්ගාය එන්නත හා අවුරුදු 5 දී ද්විත්ව එන්නත සමග විටමින් A අධි මාත‍්‍රාවක් ලබාදීමද මීට අමතරව වයස අවුරුදු 2, 2 1/2, 4 හා 4 1/2 දී ද  විටමින් A අධිමාත‍්‍රාව වසර 5 දක්වාම ලබාදේ.

මෙසේ විටමින් A ලබාදීම වැදගත් වන්නේ කෙසේදැයි විමසුමට ලක් කිරීමේදී ශරීරයේ සෛල බෙදීම හා විශ්ලේෂණය කිරීම නිසි පරිදි සිදු කිරීමටත්, ඇස්වල පෙනීම සම්බන්ධවත්, හිස කෙස් හා ශ්ලේෂ්මවල පටලවල නිරෝගී පැවත්මටත් සෘජුවම සම්බන්ධතා දක්වන්නේ විටමින් A බවත් මෙන්ම ශරීරය තුළ ප‍්‍රති ඔක්සිකාරකයක් ලෙසද එය ක‍්‍රියාත්මක වේ. මේ කාර්ය භාරය ඉටු කිරීමට අවශ්‍යතා සම්පූර්ණව නොමැති වීම නිසා ශ්වසන රෝග, පාචනය, සරම්ප හා මැලේරියාව වැනි රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යාමක් සිදු වේ.

සත්ව ආහාර වල විටමින් A වැඩිපුරම අඩංගු වන අතර තද කොළ හා පහ පැහැති එළවළුවලද බහුලව පවතී. සත්ව ආහාරවල ඇති විටමින් ශරීරයට උරාගැනීම පහසුවෙන් සිදුවනවා සේම තෙල්වල දියවන විටමිනයක් හෙයින් ආහාර සැකසීමේදී තෙල් එකතු කිරීමෙන් ද අවශෝෂණය වැඩි කරයි.

ආරම්භක මව්කිරිවල එනම් මුලින්ම එරෙන කිරි වන කොලෙස්ටෙ‍්‍රම් වල විටමින් A බහුලව අඩංගු හෙයින් මෙය දරුවාට ලබාදීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ක‍්‍රියාවලිය ප‍්‍රශස්ත වනවා සේම රෝගවලට  එරෙහිව ප‍්‍රතිශක්තියද වඩවාලයි. මේ හෙයින් දරුවාට මුල් මාස 6 මව්කිරි පමණක් මෙන්ම ඉපදී මුල් වසර 2 තුළ අමතර ආහාර සමග මව්කිරි ලබාදීම දරුවාගේ ශරීරයේ ආරක්‍ෂාව පිළිබඳ කටයුතු නංවාලයි.

විටමින් A නිසා ඇතිවන ඇස්වල අන්ධභාවය ලංකාවේ දැකිය නොහැකි වුවද ශ්වසන රෝග බහුල ලෙස දක්නට ලැබෙන හෙයින් දරුවාට මෙම ක්‍ෂුද්‍ර පෝෂක වන විටමින් A නිසි ක‍්‍රමවේදයක් අනුව ලබාදීමෙන් පෝෂණ ඌණතාවය අවම කළ හැකි වේ.

මෙම සුවිශේෂි වැඩසටහන්වල ඵලදායීතාවය ඇති වීමට නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම දෙමාපිය භාරකරුවන්ද සෑම විටම මෙම වැසටහන් හා සක‍්‍රීය ලෙස සම්බන්ධ වී නියමිත පරිදි දරුවාට විටමින ලැබෙන බවට වගබලා ගැනීමෙන් මෙන්ම ආහාරයේ පෝෂණීය අගය පිළිබඳවද දැනුවත්ව සැලකිලිමත් වීම දරුවාගේ අනාගතය වෙනුවෙන් සිදුකරන මහඟුම ආයෝජනයක් වන්නේය.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි අයිරාංගනී ගගලගමුව මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article