- Advertisement -

පියයුරුවල කිරි තැම්පත් වීමෙන් මව්වරුන් මුහුණ දෙන පීඩාකාරී තත්ව

-

දරුවකුගේ ප‍්‍රශස්ත වර්ධනය සහ විකසනය සඳහා ප‍්‍රධානම ලෙස වැදගත් සාධකය වනුයේ මව්කිරිය. විද්‍යාත්මක සාක්‍ෂි මත පදනම් වූ ජගත් මහජන සෞඛ්‍ය නිර්දේශයක් වන්නේ මෙම ප‍්‍රශස්ත වර්ධනය දරුවා වෙත ලඟා කරවීමට නම් ඉපදී මුල් මාස 6 මව්කිරෙන්ම පමණක් දරුවා පෝෂණය කළ යුතුය යන්නයි. මෙම ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීමට සෑම මවක් විසින්ම දරු ප‍්‍රසූතියෙන් පසු ඉක්මණින් මව්කිරිය දීම ආරම්භ කළ යුතුමයි.

මව්කිරි ලබාදීමට ප‍්‍රමාද වීම හේතු කොටගෙන දරුවා හා පියයුර අතර සම්බන්ධතාවය දුර්වල වීමත් පියයුරු තුළ ඇති කිරි නිසි ලෙස හිස් නොවීමත්, කිරි ඉවත් කිරීමේ යාන්ත‍්‍රණය ක‍්‍රමවත් නොවීමත් හේතු කොටගෙන පියයුරු තුළ කිරි එකතු වී තද වීමට ලක්වේ. මෙය සිදු නොවීමට නම් ප‍්‍රසූතිය සිදු වී වහාම දරුවා පියයුර වෙතට ගෙන ඒමත්, කිරිදීමේ ඉරියව් හා සම්බන්ධතාවය නිවැරදි වීමත් සිදුවිය යුතුමය. එසේ නිවැරදි නොවන විට පියයුරු තුළ නිෂ්පාදිත කිරි ඉවත් වීමේ ක‍්‍රියාවලිය සිදු නොවන නිසා කිරි නාලවල හිරවී පැවතීමත් කිරි කැටි ලෙස හිරවී පැවතීමත් සිදුවේ. මෙවිට පියයුරු තද ගතියකින් යුක්ත වන අතර මොලොක් ගැට ලෙස අසුවීම දැකිය හැකි අතරම පියයුරු ඉදිමීම, රතුවීම හා දිලිසීම දක්නට ලැබේ. මේ තත්ත්වය මවට වේදනාකාරි වන අතරම මේ කිරි නාල තුළ ඇතිවන අවහිරතාවය තුවදාහය හෙවත් මැස්ටයිටීස් නම් ලෙසින් හඳුන්වනවා. මේ තත්ත්වය මතම බැක්ටීරියා වැනි ආසාදන තත්ත්වයක්ද ඇති වුවහොත් මවගේ වේදනාව වැඩි වන අතරම මවට උණ ඇතිවීමටත් පුළුවන. මෙවන් විටකදී වෛද්‍ය උපදෙස් කරා යාමද අනිවාර්ය වන්නේ ඇති වූ තත්ත්වය තවදුරටත් ආසාදිත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති හෙයින් එම ආසාදිත තත්ත්වය ප‍්‍රතිජීවක ඖෂධ ලබාදීමට සිදුවන හෙයින් එම තත්ත්වය ආසාදිත කුඩදාහය ලෙසින් හඳුන්වනු ලබනවා.

- Advertisement -

කිරි තද වීම ඇතිවන විටම තේරුම්ගත යුතු වන්නේ කිරි නිෂ්පාදනය හොඳින් සිදුවන බව හා එම නිෂ්පාදිත කිරි පිට කිරීම හොඳින් සිදු නොවන බවයි. මේ තත්ත්වයට හේතු සොයා බැලීම මවගේ මෙන්ම දරුවාගේද සෞඛ්‍යයේ පළමු පියවරයි.

සෑම ප‍්‍රසූත මවක්ම දරුවාට කිරි දීම සඳහා දරුවා ඉරියව් කරගැනීමත්, නිවැරදි සම්බන්ධයක් ගොඩනගා ගැනීමත් අවශ්‍ය වෙයි. මේ සඳහා පුහුණු සෞඛ්‍ය සේවකයෙකුගේ සහය ලබාගැනීම වැදගත් වේ. මවගේ නොදැනුවත්කම මත ගලායන කිරි සඳහා බාධක වන සේ තන මඩල මත ඇඟිලි තබාගෙන ඇති නම් හෝ මව තදට තනපටක් භාවිත කරයි නම් එම වැරදි වහා නිවැරදි කිරීමෙන් මව හා දරුවා ස්ථාපිත කිරීම නිසි ලෙස සිදුකර දරුවාට හොඳින් කිරි උරා බීමට සැලැස්වීමත් කළ යුතුයි. එසේම දරුවාට කිරි උරාගැනීමට නොහැකි ලෙසට කිරි තදවී ඇත්නම් මද රස්නය ඇතිව පියයුර තැවීමත් තද වී ඇති කිරි දොවා ඉවත් කිරීමෙන් අවහිර වූ ප‍්‍රදේශයේ සිට තන මඩල දෙසට සම්බාහනය කිරීමත් කළ හැකි අතරම කිරි දෙවීමෙන් හෝ දරුවාට බීමට දීමෙන් පසු සිසිල් වෙළුමකින් ඔතා පියයුරු වේදනාවට සහනයක් ලබාදිය හැකියි. තද වී ඇති ප‍්‍රදේශයේ සිට තන මඩල දෙසට සම්බාහනය කරන විට කිරි කැටි ලෙසම පහළට ගලාවිත් පිට වීමක් වුවද සිදුවිය හැකියි.

එසේම හේතුවක් සොයාගැනීමට අපහසු අවස්ථාවලදී වුවද මව හා දරුවා ආසන්නයේම සිටීමට සැලැස්වීමෙන් දරුවාට අවශ්‍ය වූ විට කිරි දීමට හැකි පසුබිමක් සකසා දීමද සුදුසු පියවරකි.

වේදනාවට පත් පියයුරෙන් කිරි දීමට ඇරඹීමත් සමග ඔක්සිටොක්සින් ප‍්‍රතීකය ක‍්‍රියාත්මක වීම ඇරඹීම නිසා මේ තත්ත්වය මගහරවා ගත හැකියි.

දරුවාට කිරි උරාබීමට අපහසු තරම් තද වී ඇති විට එම කිරි ඉවත් නොකිරීම නිසා සැරව ගෙඩි හෝ තුවාල වැනි තත්ත්වයන් පවා ඇතිවිය හැකියි. පියයුරේ පිරී ඇති කිරි ගලායාම දියුණු තත්ත්වයට පත් වූ විට මෙම තත්ත්වය පහවී යනු ඇත.

මව මුල් අවස්ථාවේ සිටම දරුණු ලෙස රෝග ලක්‍ෂණ පෙන්වයි නම් හෝ විෂබීජ ඇතුළු විය හැකි තුවාලයක් හෝ පැල්මක් ඇත්නම් කිරි ගලා ඒමට සලස්වා පැය 24 කට පසු සුව තත්ත්වයට පත් නොවේ නම් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම අත්‍යාවශ්‍ය වේ.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි අයිරාංගනී ගගලගමුව මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article