හැම බබෙක්ම බෝලේ වගේ මහත් වෙන්න ඕනෙමද?

chabi-baby

“පුංචි දරුවෙක් චබී බෝලේ වගේ ඉද්දි හරිම හුරතල්… ලස්සනයි…. ආදරේ හිතෙනවා”  අපේ සමාජයේ බහුතරයකගේ අදහස තමයි මේ. අම්මලා වෙනත් දරුවන් එක්ක තමන්ගේ දරුවාගේ බර, මහත කෙට්ටු බව සංසන්දනය කරනවා. බරින් වැඩි, මහත දරුවන් නිරෝගී දරුවන් ලෙසත් කෙට්ටු සිරුරක් සහිත බරින් අඩු දරුවන් නිරෝගී නොවන අතර කිසියම් අඩුපාඩුවක් සිදුවී ඇති බවටත් වැඩිහිටි පරම්පරාව විශේෂයෙන්ම දරුවන්ගේ ආච්චි සහ සීයා විසින් නිතර ආඬපාලි කියනව ඔබත් අහලා ඇති. ඒත් එක නම් වැරදි මතයක්. වැඩිහිටියෝ මෙහෙම අදහස් දරද්දී ඇතැම් දෙමාපියෝ අනවශ්‍ය විදියට මානසික පිඩනයට ලක්වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. ඇත්තටම කිව්වොත් මේ හැමදේටම හේතුව බර ගැන හරි දැනුමක් නොමැතිකම තමයි.

සාමාන්‍යයෙන් දරුවෙකුගේ උපත් බර තීරණය වෙන්නේ මවගේ උස, පෝෂණ තත්ත්වය, රෝගී තත්ත්වයන් වගේ කරුණු මත. අලුත උපදින ළදරුවෙකුගේ උපත් බර සාමන්‍යයෙන් 2.5 kg ට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම මවගේ හෝ දරුවාගේ නොයෙක් රෝග තත්ත්වයනුත්  උපත් බර අඩු / වැඩි වෙන්න හේතු වෙන අවස්ථා තියෙනවා. දරුවෙකුගේ උස හා බර තීරණය වෙන්නේ දරුවාට ලැබෙන පෝෂණයත් දෙමව්පියන්ගෙන් උරුම වූ ජාන අනුවත් කියල ඔබට පැහැදිලි ඇති.

ශාරීරිකව, මානසිකව හා සමාජීය වශයෙන් වර්ධනය වෙන අතරතුර සිටින මේ දරුවන්ගේ වර්ධනය අඩාළ වුවහොත් එය දිගු කාලීන මන්ද පෝෂණයහේතුවෙන් ශරීරයේ මිටි බව ඇති කළ හැකි අතරම එය කායිකවත් මානසිකවත් තවදුරටත් බලපෑම් ඇති කළ හැකියි. අන්න ඒ නිසයි සැමවිටම දරුවෙකුගේ උසට සරිලන බර (BMI) පවත්වා ගැනීමට වැඩිහිටි අපි සැලකිලිමත් විය යුතු වන්නේ. දරුවෙකුගේ වර්ධනය නිසියාකාරව සිදුවෙනවාදැයි දැනගැනීමට ඇති හොඳම මිනුම් දණ්ඩ වන්නේ එයයි. මේ නිසා දරුවන්ගේ වර්ධනය ක්‍රමවත්ව මිනුම්ගත කිරීම ඉතා වැදගත් වේ. මෙම මිනුම් දණ්ඩට අනුව විටින් විට ක්‍රමානුකූල මැනීමක් සිදුකරගත යුතු අතර එය දරුවාගේ වයසට සරිලනවාද නැද්ද යන්න තීරණය කළ යුතුය.

දරුවාගේ උස සහ බර නිවැරදිව මැන සෞඛ්‍ය වර්ධන සටහනක ක්‍රමානුකූලව සටහන් කිරීම මගින් දරුවාගේ වර්ධන වේගය නිසි ලෙස සිදුවනවාද අඩු බර තත්ත්වයක්ද? නැද්ද? යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට දෙමව්පියන්ට හැකියි. සාමාන්‍යයෙන් මන්දපෝෂණය, විටමින් සහ ඛනිජ ඌනතා, පණු රෝග, වෛරස හෝ වෙනත් අසාදනවලට නිරන්තර ගොදුරු වීම දරුවෙකුගේ අඩු බර තත්ත්වයන් ඇති වීමට ප්‍රධාන ලෙසම බලපායි. මීට අමතරව දෙමව්පියන්ගේ වැරදි ආකල්ප සහ අවිද්‍යාත්මක මතභේද ද මෙම තත්ත්වයට හේතු වේ. උදාහරණයක් ලෙස ළදරුවෙකුට මුල් ආහාර පටන් ගැනීමේදී දියාරු අඩු බත් තලපයක් ලෙස කැවීම වැඩිපුර පෝෂණයක් ලබා දේ.

ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ දරුවාගේ ශරීර වර්ධනයට සමබල ආහාර වේලක් අත්‍යවශ්‍ය බවයි. දරුවාට අවශ්‍ය ආහාර වර්ග තෝරාගැනීමේදී සහ ඒවා පිළියෙල කිරීමේදී විශේෂ අවධානයක් ලබා දිය යුතු වන්නේ ඒවා පිසීමේදී අත්‍යවශ්‍ය පෝෂක විනාශ නොවන ලෙස සකස් කළ යුතු නිසාමය. අඩු බර සහිත දරුවන්ට අවශ්‍ය කැලරි ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා පිරිසිදු පොල්තෙල් හෝ වෙනත් එළවළු තෙල් වර්ගයක් යොදාගත ආහාර සකස් කිරීම සුදුසුය.

ඔබේ පැටියාටත් සමබල ආහාර වේලක්

එනම් කබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, මේද කොටස්, යකඩ, විටමින්, අයඩින්, ඛණිජ ලවණ අවශ්‍ය පමණට ඇතුළත් ආහාර වේලකි.  ඒ සඳහා සුදුසුම ක්‍රමය ආහාරවල විවිධත්වය වැඩි කරගැනීමයි. ගෙවත්තේ වැවිය හැකි සහ පහසුවෙන් මිලදී ගතහැකි එළවළු සහ පලා වර්ග දරුවාගේ ආහාරයට එකතු කරගැනීම වඩා ලාභදායක වගේම පෝෂණීය ගුණයෙන් අනූන වනවා සේම වස විසෙන් තොරය.එසේම දරුවා රෝගී අවස්ථාවකදී ශරීරයේ පවතින අනිවාර්ය පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය නිසා හැකිතාක් ගුණාත්මක ආහාරම ලබාදීම වඩාත් සුදුසුය.

දරුවන්ට විශේෂිත පෝෂක වර්ග අවශ්‍ය වන විවිධ වූ වයස් ඛාන්ඩයන් පවතී. සාමාන්‍යයෙන් දරුවෙකුගේ මුල් අවුරුද්ද තුළ වර්ධන වේගය ඉහළ වේ. නමුත් ළදරුවාට පවතින්නේ ඉතා කුඩා ආමාශයකි. එනිසා වර්තමානයේ බොහෝ දෙමව්පියන් බඩ පිරුණ විට දරුවා දෙන ඉඟි තේරුම් ගැනීමට නොහැකිව දරුවාට බලෙන් කෑම කැවීමට උත්සහ දරයි. එය නුසුදුසු ක්‍රියාවක් වන අතර එතුළින් දරුවාට ආහාර අප්‍රිය වීමක් සිදුවිය හැක. එනිසා දරුවෙකුට එක වර ආහාර ලබාදීමට වඩා යෝග්‍යවන්නේ විටින් විට ආහාර සුළු වශයෙන් ලබාදීමයි. මීළඟට පැමිණෙන අවුරුදු 1ත් 5ත් දක්වා වයස් සීමාවේදී දරුවන් ඉතා ක්‍රියශීලීය. එමෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට ද කැමැත්තක් දක්වයි. එබැවින් තනිව ආහාර ගැනීමට ද ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතු වේ. ඉන් පසුව ඔබ කැවීමට ගැනීම වඩාත් සුදුසුයි. ප්‍රධාන ආහාර වේලකට පසුව ගුණාත්මක අතුරුපසක් ලබාදීමද මෙහිදී වඩාත් හොඳයි. ආහාර වර්ග සීත හෝ උෂ්ණ යැයි සිතා වර්ග කිරීම නොකළ යුතුය.

ලිංගික පරිණත භාවයන් සමග ශීඝ්‍රයෙන් දරුවෙකුගේ උස සහ බර වැඩිවීමට පටන් ගන්නා වයස නව යොවුන් වියයි. කුඩා ළදරු සමයේ මෙන්ම මෙම වයසේදීද ඇතිවන පෝෂණ අවශ්‍යතා නිසි ලෙස හඳුනා නොගැනීමෙන් ඔවුන් තුළ අඩු බර තත්ත්ව ඇති වීම මෙන්ම විවිධ රෝග තත්ත්ව සහ අසාදනවලට ගොදුරු වීමේ අවධානමක් ද පවතී. විශේෂයෙන්ම මෙම කාලය ගැහැනු දරුවන්ගේ මාසික ඔසප් වීම ඇරඹෙන සමයක් බැවින් වැඩිපුර යකඩ සහිත ආහාර ලබාදීම සුදුසු වේ. මස්, මාළු, එළකිරි, බිත්තර නම් ඒ සඳහා වඩාත් සුදුසුයි. නමුත් නිර්මාංශ ආහාර ගන්න දරුවෙක් නම් එළවළු, ධාන්‍ය වර්ග, පලා වර්ග වැනි ආහාර ලබාදිය හැක. එමෙන්ම ආහාරවල ඇති යකඩ අවශෝෂණය වැඩි කිරීම සඳහා විටමින් සී සහිත දෑ එනම් දෙහි යුෂ ආහාරවලට එකතු කිරීමද වඩාත් යෝග්‍ය වේ. නව යොවුන් වියේ දරුවන්ගේ අස්ථි ශක්තිමත් වීම සඳහා කිරි ආහාර වර්ග, කටු සහිත පුංචි මාළු වර්ග, ඇට වර්ග සහ පලාවර්ග වැනි කැල්සියම් බහුල ආහාර ගැනීමද ඉතා වැදගත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යේෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන යන වෛද්‍යවරුන් සමග සකසන ලද ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here