- Advertisement -

රන් කැටියට රන් විමනක්…

-

පුංචි පැටියෙක් කුස දරාගෙන ඉන්න අලුත් අම්මා ගැබිණි අවදියේ තුන්වෙනි කාර්තුවට එළඹීමත් එක්කම ඇයට කලින් නොතිබුණු පුංචි පුංචි අපහසුතා ගොඩක් දැනෙන්න ගන්නවා.නෙරා ගෙන එන කුසත් එක්ක කලින් වගේ ගෙදර දොරේ දෛනික වැඩ කරගන්න අපහසුව… ඉඳ හිට කොන්ද-කකුල් කැක්කුම ගැනීම… වෙහෙස…. ඒ අතරින් කිහිපයක්. ඒත් ඈ මේ පුංචි පුංචි වේදනාවන් උහුලන්නේ හරිම ආදරෙන් වගේම ලොකු ආඩම්බරයකුත් පෙරදැරිවයි. තුන්වෙනි කාර්තුවට ආවම අම්ම මේ සියලු අපහසුකම් මැඩ ගෙන පැටියා පිළිගන්න අවශ්‍ය දේවල් සුදානම් කරන්න දරන උනන්දුව – වෙහෙස හරිම සුන්දරයි.හරිම ආදරණියයි.

අලුත් අම්මගේ සමීපතමයන්ට දැනෙන්නේ බබාට අවශ්‍ය දේවල්  සුදානම් කරගන්න අම්මට “පුදුම හදිස්සියක්නේ තියෙන්නේ…” කියලයි. අලුත් පැටිය පිළිගන්න ගේදොර පිළිවෙල කරගැනීම… උවමනා බඩු භාණ්ඩ සුදානම් කරගැනීම… ආදී දේ ගැන අලුත් අම්මගේ අති මහත් උනන්දුව සහ ඈ ඒ වෙනුවෙන් කරන කටයුතු හඳුන්වන්නේ නීඩායනය කියලයි. තේරෙන්න කිවොත් නෙස්ටින්. (nesting) කිරිල්ලියෝ බිත්තර දාන්න කලින් උණුහුම් කැදැල්ලක් හදන්න ලහි ලහියේ මහන්සි වෙනවා වගේ අලුත් අම්මත් පැටිය පිළිගන්න ගේදොර වට පිටාව සකස් කරගන්න වෙහෙසීම “නෙස්ටින්”.

- Advertisement -

ගෙදර තීන්ත ටිකක් ආලේප කරවගන්න. මුළු ගෙදරම අමාරුයි නම් අඩුතරමේ නිදන කාමරේවත් තීන්ත ගාලා අලුත් කරගන්න. මකුණුදැල් කඩල… ජනෙල් දොරවල් පිහිදල… හොඳින් සුද්ද පවිත්‍ර කරගන්න ඕනේ කියල අලුත් අම්මට හිතෙනවා… ගේ දොර ශුද්ධ පවිත්‍ර කළාට පස්සේ දරු පැටියට ඕනේ දේවල් සුදානම් කරගන්න එක අලුත් අම්මගේ ඊගාව නොඉවසිල්ල. නැපි ,ඇඳුම්, රෙදි පිළි ඇරුනම සුදානම් කර ගන්න ඕනේ කරන අනිත් දේවල් මොනවද?

අපි හැමෝගෙම හිතට මුලින්ම එන්නේ තොටිල්ලක්… තොටිල්ලක් මිලදී ගනිද්දී මොනවද බලන්න ඕනේ… ඔබේ නිදන කාමරේ ඉඩට ගැලපෙන සමාන්‍ය ප්‍රමාණයේ දිග පළලින් යුතු වීම,කොට් එකේ කොට් බෙඩ් එක ඉහළ පහළ කරන්න පුලුවන්ද  , ඒ කිවේ බබා උපන්න අලුතම… හැරෙන්න පෙරලෙන්න කලින් කාලේදී කොට් එකේ මෙට්ටය දරන ඇඳ වගේ කොටස තරමක් ඉහළින් රැඳවිය හැකි පරිදි රැදවුම් සිදුරු ඇත්නම් ඔබට දරුවා වඩා ගනිද්දී…. නිදිකරවා තොටිල්ලෙන් තියද්දි තොටිල්ල තුලට ගොඩක් පහලට නැවෙන්න වුවමනා වන්නේ නැහැ. පැටියට මාස 5-6 වෙද්දී වාඩි වෙන්න පටන්ගන්නකොට කොට් බෙඩ් එක පහත ඇති රැදවුම් සිදුරුවල රැඳවූ විට තොටිල්ල ඇතුල ගැඹුර වැඩිවන නිසා එයින් දරුවාගේ ආරක්ෂාව තහවුරු වෙනවා.

මේ විදියට කොට් බෙඩ් එක ඉහල පහල කරන්න පුළුවන් තොටිල්ලක් මිලදීගන්න කල්පනා කරනවා නම් කොට් බෙඩ් එක පහත රැඳවූ විට අවම 50 cm කුත් ඉහල රැඳවූ විට අවම 30 cm කුත් වන පරිදි තොටිලි වැටේ උස තිබිය යුතුයි. දරුවා තොටිල්ලේ ගරාදි අතරින් එළියට වැටීම,ඔලුව හිරකරගැනීම වලක්වන්නට ගරාදි අතර ඉඩ 5 cm – 9.5 cm අතර පරතරයක් තිබීම අවශ්‍යයි වගේම මේ ගරාදි අතර පරතරය 3 cm -5 cm අතර වෙන්නත් හොඳ නැහැ. ඒ, පුංචි දඟකාරයා සති කිහිපයකින් තොටිල්ල ඇතුලේම රවුම් ගහද්දි පුංචි කකුල් තොටිලි වැටේ ගරාදි අතර හිර කරගන්න පුළුවන් නිසයි. ඒ වගේම තොටිල්ල තියුණු දාර නැති නිමාවකින් යුතු එකක් වීම වඩා ආරක්ෂිතයි. තොටිලි මෙට්ටය එබෙන සුළු පෘෂ්ඨයක් නැති ඝනකම මෙට්ටයක් වියයුතුයි.නමුත් තොටිල්ල මිලට ගන්නට අගනුවර නම් දැරූ සාප්පුවකට යන්නටයි කියා මෙයින් කියවෙන්නේ නැහැ. සඳහන් කරන්නට යෙදුණු ආරක්ෂිත ප්‍රමිතියෙන් තොටිල්ලේ අඩංගු වීම ඔබේ කිරිකැටියාගේ ආරක්ෂාවට හේතුවෙන නිසා ඔබේ ගමේ… ඔබේ ටවුමේ… සාප්පුවකින් තොටිල්ල මිලදී ගනිද්දී ඒ තොරතුරු සිහිතබාගන්න.

අම්මට කිරි දෙන්න වාඩි වෙන්න පුටුවක්. අලුත් අම්ම ගොඩක් වෙහෙස වෙලා නිදි වරලා ඉන්න නිසා ඇඳේ හාන්සි වෙලා කිරි දෙන්නේ නැතිනම් වඩා හොඳයි. ඇඳේ වාඩි වෙලා කිරි දෙද්දී ටික වෙලාවකින් උර පතු රිදෙන්න ගන්නවා. ඉතින් අම්මට පැටියත් එක්ක වාඩි වෙලා කිරිදෙන්න සුව පහසු පුටුවක් තොටිල්ලත් අම්ම නිදියන ඇඳත් අතරින් තියා ගන්න පුලුවන්නම් වටිනවා. පැද්දෙන පුටුවක් ඕනේ නැහැ. ඇඳි තියෙන,පුටුවේ පිට පත්ත අම්මගේ පිටට-උකුළට වාරුදෙන හැඩය ඇති වැඩි වෙලාවක් සුව පහසුවෙන් වාඩි වෙලා ඉන්න පුළුවන් පුටුවක් නම් ඇති. පලවෙනි මාස තුනේදී දිවා රෑ වෙනසක් නැතිව දවසේ වැඩිකාලයක් අලුත් අම්මට කල් ගෙවන්න වන්නේ මේ පුටුවේ නිසා එය නිස්කාරණ සුදානමක් වන්නේ නැහැ. පුටුවේ වාඩි උනාම කකුල් දෙක තියාගන්න පුංචි බංකු පොඩ්ඩකුත් පුටුව යටින් තියාගන්න.

ලී හෝ ප්ලාස්ටික් ලස්සන පුංචි ඇඳුම් කබඩ් එකක් ඔබ මිලදී ගන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ දේවල් ගැන අවධානය දෙන්න. කබඩ් එක ගොඩක්ම උස නැති හයිය… ඝනකම.. පළල පතුලක් ඇති එකක් නම් වඩා හොඳයි. සාප්පුවෙදීම උඩම ලාච්චුව පොඩ්ඩක් වේගෙන් ඇරලා බලන්න ලච්චුවත් එක්ක කබඩ් එක ඉස්සරහට (ඔබ දෙසට) ඇදිල එනවද කියල…ලාච්චු අරිද්දි ලේසියෙන්ම ලාච්චුව වැටෙන්න බලනවද කියල… බලන්න. කබඩ් එක ගෙනාවට පස්සේ “L” බ්රැකට් එකකින් බිත්තියකට හා පොළවට සවිකරන්න. දැන් අම්මාගේ බන්ඩියේ හරඹ කරන චණ්ඩියා දණ ගාගෙන ගිහින් මේ ඇඳුම් අල්මාරියේ ලාච්චු අදින්න ලොකු කාලයක් ගතවෙන්නේ නැහැ.ඉතින් පසුතැවිල්ලට වඩා ප්‍රවේසම හොඳ බව හැමවිටම සිතා කටයුතු කිරීම රන්කැටියා දෝත දරන්නට පෙර සිටම ජිවිතේට පුරුදු පුහුණු කරගන්න.

ඔබේ හොඳම යෙහෙළිය,මල්ලිගේ බිරිඳ,ලොකු අම්මගේ දුව තව සති කිහිපයකින් අම්මෙක් වෙන්න ඇඟිලි ගනිමින් ඉන්න අවදියක නම් ඉන්නේ මේ දවස් වල බබාට ඕනේ කරන දේවල් සුදානම් කරනවද කියල අහල බලන්න. පවුලේම දරු උපතක් නිසා…හොඳම යාළුවගේ පලවෙනි බබා නිසා… සබන් පවුඩර් වලට වැඩි තෑග්ගක් දෙන්න අදහස් කරගෙන ඉන්නවා නම් අලුත් අම්මට nesting වලට උදව් වෙන්න. පවුලේ බොහෝ දෙනෙක් දරුවා ලැබුනට පස්සේ පංචායුධ,රත්රන් මාල,කරාබු තෑගී දෙන නිසා රනින් තෑගි වෙනුවට ඒ මුදලින් දරුවා ලැබෙන්න කලින් අලුත් දෙමාපියන්ට තොටිල්ලක්… තෑගි දෙන්න.නැත්නම් ඒ දේවල් විකුණන සාප්පුවකින් වව්චරයක් තෑගි දෙන්න.එය අලුත් අම්මා ඉමහත් සතුටට පත් කරාවි…”කවුරු දුන්නු පංචායුධය ද බබාට දාන්නේ කියල…” අලුත් අම්මා අපහසුවට පත් කෙරෙන තෑගී තේරීමේ තරගයට යටත් නොවී ඔබේ තෑග්ග ඔවුන්ගේ සියලු දරුවන් පාවිච්චි කළ ඉමිහිරි මතක සැමරුම් ඇති…පවුලේම ආදරය ලැබූ වටිනාම ත්‍යාගයක් වේවි… නැත්නම් “නංගී…., බබාට මගේ ගානේ නාවන බේසමයි, මදුරු දැලයි, රෙදි වැටයි” කියලා අලුත් අම්මා අප්පච්චි බබාගේ බඩු ටික ගන්න යද්දී එයාල එක්කම ගිහින් හරි ඔබ රැගෙනවිත් හරි තෑගී දෙන්න. නාවන බේසමට අමතරව දරුවාගේ තෙමු නැපි දාන්න බේසමක්,රෙදි සෝදන්න බේසමක් වගේ දේවලුත් අලුත් අම්මගේ ලයිස්තුවේ තියෙන නිසා ඔබේ තෑග්ගට ඒවත් එකතු කරන්න.

බන්ඩිය ඇතුලේ හංකිති කවන පුංචි පා පහරවල් ආදරෙන් පිරිමදිමින් රන්කැටි පුතුට හනි හනික සුවැති උණුහුම් කැදැල්ලක් නිමවන්න අලුත් අම්මට ඇති ඉමිහිරි නොඉවසිල්ලට ආදරෙන් සලකමු. ඇය ඇඟිලි ගනිමින් සුබ සිහින දකින පදවියට නිදහසේ විවේකිව පා නගන්නට ආදරෙන් රුකුල් දෙමු.

 කතුවරිය ගැන


deepika-pro-picture දීපිකා ගුණසේන
මම ඉතා ඉහළ වගකීමක් දරණ, සම්පුර්ණ තෘප්තිමක් වෘත්තීයක පුර්ණකලිනව නියැලෙමි. තවම සේවා කාලය අවුරුදු 6කි. අවුරුදු තුනහමාරකට පෙර උසස්වීමක් ලදිමි. එයින් රාජකාරි කටයුතු දෙගුණයක් වුවා සේම දීමනා හා ප්‍රතිලාභද දෙගුණ විය. සේවා ස්ථානය මගේ උණුසුම් කැදැල්ලයි. සේවා ලාභීන් ඒ සුන්දර කැදැල්ලේ නිවැසියන්ය. තනතුර “අම්මා”. බඳවා ගැනීම් අයදුම් පතේ තනතුර තිබුනේ බිරිඳ ලෙස බවද මතකය.ගෙවුණු අවුරුදු 6 තුළ ඒ පුංචි ජිවිත වලින් නැවත ජීවිතය උගතිමි.මාගේ ළමා ජීවිතය නැවත මතකට නගමි.මේ සියලු දේ අතරේ ඉඩ තිබෙන හැටියට සිතුවිලි අකුරට පෙරලමි.


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article