මෙන්න මේ පරීක්ෂණ, අලුත උපන් ඔබේ කිරිකැටියාටත් සිදු කළාද?

doctor-checking-new-born-baby

දරුවෙකු මෙලොව එළිය දැකීමට පෙර සිටම දෙමව්පියන් ඒ වෙනුවෙන් තම වගකීම් කරට ගනියි. දරුවාගේ ආරක්ෂාව, සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව අපමණ වෙහෙසේ. දස මසක් කුසේ හොවාගෙන මෙලොවට දායාද කරනා පුංචි කිරි කැටියා අඩුපාඩුවකින් තොර සෞඛ්‍ය සම්පන්න පැටියෙකු වේ යයි දහසකුත් බලාපොරොත්තු තබාගෙන හිඳී. තත්ත්වය එසේ වුවත් මෙලොව එළිය දකින සියලුම ළදරුවන් සියයට සියයක් සෞඛ්‍ය සම්පන්න නොවීමේ අවස්ථාද වර්තමානයේ බහුලව පවතින බව අපි දනිමු. ළදරුවන් තුළ පවතින එවැනි අඩුපාඩු මුලදීම හඳුනා ගැනීමෙන් ඔවුන් ඉදිරියේදී රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම වළක්වා ගත හැකි සේම යහපත් සෞඛ්‍යයෙන් යුත් දරුවෙකු බවට පත් කිරීමේ අවස්ථාවද පවතින බවට තවමත් බොහෝ දෙමව්පියන් නොදැනුවත් වුවත් අලුත උපන් බිළිඳුන්ට ඇතිවිය හැකි රෝග තත්ත්වයන් පිලිබඳ අවධානය යොමු කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම උදෙසා වන අනිවාර්ය පරීක්ෂණ කිහිපයක් මේ වන විටත් රජයේ සහ පෞද්ගලික අංශයේ ඕනෑම රෝහලක් හරහා සිදුකරගැනීමේ පහසුකම අදවන විට හිමිව ඇත. අලුත උපන් දරුවෙකු වෙනුවෙන් අනිවාර්ය පරික්ෂා සහ ඒවායේ වැදගත්කම අපි දැනුවත් වෙමු.

අත්දැකීම් සහිත පළපුරුදු ළමරෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හිසේ සිට පාදාන්තය දක්වා සිදු කරන පරීක්ෂණය :

ළදරුවෙකු බිහි වූ විගස සහ රෝහලෙන් පිට වීමට පෙර සෑම ළදරුවෙකුම මෙකි පරීක්ෂණයට බදුන් වේ.

හෘද ක්‍රියාකාරිත්වය පිලිබඳ පරික්ෂාව

මේ සඳහා වන මූලිකම පරීක්ෂණයක් ලෙස දරුවාගේ සිරුරට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණය හැඳින්විය හැකිය. දරුවාගේ දකුණු අත සහ දකුණු  / වම් කකුල Pulse Oxymeter නම් වූ යන්ත්‍රයකට සම්බන්ධ කරන අතර ඒ හරහා දරුවාගේ රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය ගණනය කරනු ලබයි. එවිට රුධිරයේ අඩංගු ඔක්සිජන් ප්‍රමාණය 95% ට අඩු නම් දරුවා නිවසට ගෙන යාමට පෙර එකෝ පරීක්ෂණයක් කරනු ලබයි. මීට අමතරව හෘද ක්‍රියාකාරිත්වය නිවැරදිව හඳුනා ගැනීමට එක්වරම එකෝ පරීක්ෂණයක් සිදුකළ හැකි අතර ඒ සඳහා විශාල මුදලක් වැයවීම සහ අවශ්‍ය තරමින් පහසුකම් නොමැතිකම හේතුවෙන් පෙර කී ලෙස අත්‍යවශ්‍යම දරුවන් පමණක් එම පරීක්ෂණයට යොමු කිරීම බහුලව සිදුවේ.

ශ්‍රව්‍ය දෘශ්‍ය පරීක්ෂණ

මීළඟට සිදුකළ යුතු තවත්  වැදගත්ම පරීක්ෂණයක් වන්නේ අලුත උපන් බිළිදෙකුගේ කන් ඇසීම සහ ඇස් පෙනීම පිළිබඳ කරනු ලබන පරික්ෂාවයි. OAE පරීක්ෂණය ලෙස හඳුන්වනු ලබන මෙමගින් දරුවෙකුගේ කන් ඇසීම පිලිබඳ ගැටළුවක් වෙතොත් සොයාගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. ඒ හරහා ප්‍රශ්න ඇති දරුවන් තවදුරටත් විශේෂඥ වෛද්‍ය සේවාවන් වෙත යොමු කිරීමක් සිදු කරනු ලබයි.

නොමේරූ දරුවන්ගේ ROP තත්ත්වය පරීක්ෂා කිරීම

නොමේරු ළදරුවන් ලෙස උපත ලැබූ දරුවන්, අඩුබර දරුවන් සහ දැඩි සත්කාර ඒකකයේ සිටින දරුවන් ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යාමට පෙර අනිවාර්යයෙන්ම මෙම පරීක්ෂණය වෙත යොමු කළ යුතු වන්නේ ඔවුන් යම් හෙයකින් දෘශ්‍ය ආබාධවලට ලක්ව ඇතිදැයි අනාවරණය කරගත යුතු බැවිනි. එය අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ලේසර් ක්‍රම හා වෙනත් ප්‍රතිකාර ක්‍රම යොදා ගනිමින් අබාධ තත්ත්ව සඳහා පිළියම් යොදනු ඇත.

තයිරොයිඩ් ග්‍රන්ථිය හා සම්බන්ධ සංකූලතා හඳුනා ගැනීමේ පරීක්ෂාව

අලුත උපන් බිලිඳුන් 2500- 3000 කින් එක් අයෙකු තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ සංකූලතා ඇතිව බිහිවිය හැකි බැවින් ඒ පිළිබඳ පරික්ෂාව ඔබේ අලුත උපන් දරුවා වෙනුවෙන් සිදුකර ගැනීමට තරම් දැනුවත් බවක් දෙමව්පියන් තුළ තිබීම වැදගත් වන අතරම මෙය ළදරුවන් වෙනුවෙන් ඇති පරීක්ෂණ අතරින් වඩාත්ම වැදගත් එක ලෙස හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් දරුවෙකු බිහිවීමෙන් පසු පැය විසි හතරක් රෝහලේ රඳවාගෙන නිරෝගී බව සොයා බලයි. එහිදී මවටත් ළදරුවාටත් රෝහලෙන් පිටවීමට අවසර ලැබෙන්නේ දරුවාගේ මල, මුත්‍රා පිටකිරීම, කිරි උරා බීම වැනි කරුණු සාමාන්‍ය නම් පමණි. එලෙසම රෝහලෙන් පිටවීමට ප්‍රථම ළදරුවාගේ පාදයක විළුඹෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂාව සඳහා රුධිර සාම්පලයක් ලබාගැනීමක් සිදුකරයි.

එය රසායනාගාරය වෙත යොමු කෙරෙන අතර සතියක් හෝ දින දහයක් ඇතුළත ප්‍රතිපලය ලැබෙන අතර එම රුධිර සාම්පලයේ තයිරොක්සීන් හෝමෝනයේ කිසියම් වෙනසක් ඇත්නම් දරුවා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසට වහාම දෙමව්පියන් දැනුවත් කරනු ලැබේ.

ළදරුවෙකුගේ මොළය වර්ධනය වීමට තයිරොක්සීන් හෝමෝනය අතවශ්‍ය වන අතර එය ශ්‍රාවය කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගිනි. කිසියම් හේතුවක් මත තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු හෝ වැඩි වීම තයිරොක්සීන් හෝමෝනය අඩු හෝ වැඩි වීමට බලපායි. ඒ හේතුවෙන් දරුවාගේ මතක ශක්තිය, තර්කානුකූලව සිතීමේ හැකියාව, නිර්මාණාත්මක හැකියාව අඩු වීමට බලපෑම් ඇති විය හැකි අතර දරුවා මන්දමානසික තත්ත්වයට පත්වීමේ අවදානමක්ද පවතී. ඉපදී මුල් දින කිහිපය ඇතුළත මෙම තත්ත්වය හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු කිරීමෙන් දරුවා මන්ද මානසික තත්වයට පත්වීම වළක්වාගත හැකි වේ. නමුත් මාස කීපයක් ගත වූ පසු ප්‍රතිකාර ඇරඹීමෙන් දරුවා යථාතත්ත්වයට පත්කරගැනීම අපහසු විය හැක. නිරෝගී පෙනුමට බලපෑමක් නොවන නිසා තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වයේ සංකූලතා ඇති දරුවන් බැලූ බැල්මට හඳුනා ගැනීම අපහසු වේ. එනිසා තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂාව අනිවාර්යයෙන් සිදු කිරීම මෙන්ම ප්‍රතිකාර අවශ්‍ය දරුවන්ට ඉපදී මුල් සති දෙක තුළ ප්‍රතිකාර ආරම්භ කිරීම ඉතා වැදගත් වේ.

මේ පරීක්ෂණ වෙත ඔබේ දරුවා යොමු කළා ද යන්න පිළිබඳවත් රෝහලට ඔබව සම්බන්ධ කරගත හැකි නිවැරදි ලිපිනයක්, දුරකතන අංකයක් ලබාදීම පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. එවිට ළදරුවාගේ පරීක්ෂණ පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් පමණක් ඔබ රෝහලෙන් පිටව ගිය පසු ලිපියකින් හෝ දුරකතන ඇමතුමකින් ඔබව දැනුවත් කරනු ලැබේ. එසේ දැනුවත් කිරීමක් ලැබුනහොත් ඉන් ඉදිරියට සිදු විය යුතු පරීක්ෂණ හා ප්‍රතිකාර පිළිබඳව උපදෙස් ලැබෙන අයුරින් සැලකිලිමත්ව ක්‍රියාත්මක වීමට ඔබේ දරුවාගේ නිරෝගී හෙට දවස වෙනුවෙන් ඔබ උනන්දු වන්න.

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here