අපේ රටේ විභාගයක් ඉදිරියේදී දෙමව්පියන් විසින් දරුවන්ට ඇති කරන ආතතිය සුලු පටු නැහැ. මේ ආතතිය නිසාම දරුවා ඉතාම පසුගාමී තත්වයට පත් වෙනවා. ඒ බව දෙමව්පියන්ට තේරුම් යන්නෙත් නැහැ. නමුත් නිතරම විභාගයක් ඉදිරියේදී දරුවාගේ මානසිකත්වය ඉතාම යහපත් අන්දමින් පවත්වා ගත හැකි නම් ඒ තරම් ප්‍රතිඵලදායක පරිසරයක් වෙනත් නැති තරම් කියන්න පුලුවනි.
ස්වයං යෝජනා…
ප්‍රංශ ජාතික “එමිල් කුරේ” ගේ පෙන්වා දීමට අනුව විභාගයක් ඉදිරියේදී දරුවන් විසින් තමන්ගේ මානසික ශක්තිය ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. අපි කොහොමද මේ ස්වයං යෝජනා ගොඩ නගන්නේ…. ? එමිල් කුරේ පෙන්වා දෙන අන්දමට නම් මේ විදිහට ස්වයං යෝජනා ගොඩ නගන්න පුලුවනි.
- හැම දිනයකම මම සාර්ථක වෙමි.
- මම මගේ ඉගෙනීම් කටයුතු වලින් තුටු වෙමි.
- අද දවසේ මගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් සාර්ථක වෙමි.
අපි මේ ගැන නොසිතුවත් ලෝකයේ මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට අපේ යටිහිතේ පවතින ශක්තීන්ගෙන් 10 % ක් වත් අපි ප්‍රයෝජනයට ගන්නේ නැහැ. ඒ නිසා දරුවාට නිතරම තමා ගැන ස්වයංයෝජනා ගොඩ නගා ගැනීමට උනන්දු වෙන්න.
ව්‍යායාම
අපිට ව්‍යායාම අවශ්‍ය වෙන්නේ හාරිරික යහපත් පැවැත්මට මිස විභාග සමත් වෙන්න නොවෙයිනේ… ඔබ එහෙම හිතුවොත් එය වැරැදියි. මොළයේ නීරෝගීතාවය වෙනුවෙන් ව්‍යායාම අවශ්‍ය වෙනවා. මේ ව්‍යායාම කරන අවස්ථාවන් දෙකක් තිබෙනවා.
- රාත්‍රි නින්දට ආසන්න වූ අවස්ථාව
- උදයේ නින්දෙන් අවදි වුන අවස්ථාව
මේ ව්‍යායාම කරන්නේ කොහොමද…? මොළය නීරෝගී වුනොත් මානසික සුවතාවය නොදැනීම ඇති වෙනවා. ඒ සඳහා සරල ව්‍යායාම කීපයක් තිබෙනවා. මුලින්ම උදරය පුම්බා හුස්ම ගන්න. පසුව පපුව පුම්බා හුස්ම ගන්න. ඒ ආකාරයට ඉතා සෙමින් ගැඹුරු ලෙස හුස්ම ඉහළ පහළ ගැනීම මොළයට නීරෝගීතාවය ලබා දෙන සරල ව්‍යායාමයක්.
ඉගෙණුම් පරිසරය සකස් කර දෙන්න…
දරුවෙකුගේ කාමරය ඉතා පිළිවෙලට තිබුනොත් ඔවුන්ට යහපත් මානසිකත්වයක් ගොඩ නැගෙනවා.සමහර දරුවන්ගේ කාමර විභාග ආසන්නයේදී පිස්සන් කොටු වගෙයි. ඒවා දකින අයගෙත් මානසිකත්වය අවුල් වෙනවා. මේ නිසා නිතරම පාඩම් කරන පරිසරය ඉතාම පිළිවෙලට තබා ගැනීමට ඔවුන් උනන්දු කරන්න.
ඉගෙණුම් පරිසරයේ තිබිය යුතු දේ…
- නිශ්ශබ්ද පරිසරය
- උෂ්ණත්වය අඩු වීම
- පිරිසිදු වාතය
හොඳින් ආලෝකය ලැබීම…
සමහර දරුවන් තමන්ගේ පාඩම් කරන මේසය ඉදිරියේ ආත්ම විශ්වාසය වර්ධනය කරන ප්‍රකාශ එල්ලා ගෙන සිටිනවා. මේ දැන්වීම් නිසා දරුවන්ට ඉගෙනුම වෙනුවෙන් ඇති වෙන උත්තේජනය නිසාම යහපත් පරිසරයක් නිර්මාණය වෙනවා.
සැලසුම ඉතාම වැදගත්…
බොහෝ දරුවන්ගේ විභාග මානසිකත්වය බිඳ වැටෙන්නේ විෂය නිර්දේශය සහ කාලරාමුව අතර වූ නොගැලපීම නිසයි. විෂය නිර්දේශය ආවරණය නොවුනොත් එය ඉතාම දැඩි සේ බලපානවා. නමුත් යම් ලෙසකින් දරුවාට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කර ගැනීමට අපොහොසත් වුනොත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සලකා බලමින් විභාගය වෙනුවෙන් වූ සම්පූර්ණ සූදානම ගොඩ නගා ගන්න. එසේ නොමැතිව එම මාතෘකා අත්හැර දැමීම නුවණට හුරු කටයුත්තක් නොවේ.
මොළයේ කාර්යක්ෂමතාවය….
“ටෝනි බූසෑන්” පෙන්වා දෙන අන්දමට අපේ මොළය පුදුමාකාරයි. මොළයේ කලාප දෙකක් පවතින අතර වම් පැත්ත මගින් යම් දෙයක් ගැන ගැඹුරින් සිතීම, විද්‍යා ගණිත ගැටළු විසඳීම,තර්කානුකූල සහ විවේනාත්මක ලෙසින් සිතීම සිද්ධ වෙනවා. දකුණු පැත්තෙන් කලාත්මක සහ නිර්මාණශීලී අදහස් ජනනය වෙනවා.මේ නිසා මොළ කලාප දෙක අතර කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි ක්‍රියාකාරකම් කීපයක් තිබෙනවා.
වම් මොළයේ ක්‍රියාකාරිත්වයට…
- කාමරය පිලිවෙලකට අස් කිරීම
- ගණිත ගැටලු විසඳීම
- පරිගණක පරිහරණය
- යන්ත්‍ර සුත්‍ර ක්‍රියාකිරීම
- විද්‍යාත්මක කරුණු පිලිබඳව විමර්ශනාත්මකව සිතීම
දකුණු මොළයේ ක්‍රියාකාරිත්වයට…
- නිසඳැස් කෙටි කතා වැනි දේ නිර්මාණය කිරීම
- අලුත් වචන එකතු කිරීම
- යම් සිදුවීමක් ගැන විවිධාකාරයට සිතීම
- චිත්‍ර ඇදීම
- නිර්මාණාත්මකව සිතීම
දරුවා විභාගය කට උඩ තිබියදී ගීතයක් ගයනු ඇසුනොත්… එහෙම නැත්නම් යන්ත්‍ර සුත්‍ර කොටසක් අත පත ගාමින් සිටියොත්…
“විභාගය මෙච්චර ලඟට ඇවිල්ලත් කිසිම සැලකිල්ලක් නැති හැටි …” යැයි ආවේශ වීමට එපා. මේ කටයුතු නිසා දරුවාගේ මොළයේ කලාප දෙක ක්‍රියාකාරී වෙන නිසා නිර්මාණාත්මක සහ තාර්තික කටයුතුවලට බිය නැතුව අවසර දෙන්න. එය දරුවාගේ මානසික සුවතාවයට හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා. දෙමව්පියන් විදිහට ඔබ විභාගය නිසා දරුවා හෙම්බත් කිරීම වෙනුවට ඔවුන් සදහා ඉතා සැහැල්ලු මානසිකත්වයකින් කටයුතු කිරීමට හැකි පරිසරය නිර්මාණය කර දෙන්න.