සෙල්ලම අවශ්‍ය ඇයි…

children-are-playing

අම්මා තාත්තාට දරුවන් තරම් තවත් සම්පතක් නැහැ. ඒ නිසාම ඔවුන් දරුවන් වෙනුවෙන් මහත් වූ කැපවීමකින් කටයුතු කරනවා. ඒ නිසාම සමහර අවස්ථාවලදී දරුවාගේ වයසටත් වඩා දේවල් ඔවුන් දරුවන්ගෙන් අපේක්ෂා කරනවා. මේ නිසා දරුවන්ට සෙල්ලමට එතරම් ඉඩක් දීමට නම් වැඩි කැමැත්තක් නැහැ. මේ වෙනුවෙන් දෙමව්පියන්ටත් නිදහසට කරුනු තිබෙනවා.. සෙල්ලමට ඇබ්බැහි වුනොත් පාඩමට හිත නැති වෙයි කියන සැකය නිසා ඒ වගේ තීරණ ගත්තත් දරුවන්ට සෙල්ලමට ඉඩක් ලබා දීම ඉතාම වැදගත්.

සෙල්ලම අවශ්‍ය ඇයි…

සෙල්ලම නිසා දරුවා අත්දැකීම් ලබා ගන්නවා. එක්තරා මනෝ විද්‍යාඥයෙක් සඳහන් කරන්නේ අපි ගින්දරට පිච්චෙයි කියල දරුවා ඈත් කළාට වඩා යාන්තමින් හෝ ගිනි රස්නයක් දැනුනොත් මේ පිච්චීම කියන්නේ මොකක්ද කියල දරුවාටම ඒත්තු යන බවයි. ඒ නිසා සෙල්ලම් කරන විට ඔවුන් ඒ තුලින් බොහෝ දේ ඉගෙන ගන්නවා.

දරුවාට අවශ්‍ය දැනුම වෙනුවෙනුත් සෙල්ලමබොහොම වැදගත්…

ඉස්සර කාලයේ දරුවන්ට හවස් කාලයේ නිදා ගන්නා ගස් වැල් මොනවාද ඇහුවොත් පරිසරයේ පෙල පොත අවශ්‍ය නැහැ. ඔවුන් ඒ දැණුම පරිසරයෙන්ම ලබා ගත්තා. පොත් පත කියවලා ලබන දැණුමට වඩා තමාගේ ඇස් දෙකින්ම දැකීමෙන් ලැබෙන දැණුම ඉතා ප්‍රබල විදිහට මනසට ඇතුළු වෙනවා. ඒ වාසනා ගුණය සෙල්ලමින් දරුවාට ලැබෙනවා.

කණ්ඩායමක් සමග කටයුතු කරන අන්දම ගැන දැනුවත් වීමටත් සෙල්ලම උපකාරී වෙනවා. දරුවාට සමාජයේ තවත් අය සමග ගණුදෙනු කරන්නේ කොහොමද යන සංකල්ප ප්‍රායෝගිකව අත්හදා බැලීමට අවසරය සෙල්ලමින් ලැබෙනවා.

ඒ වගේම සෙල්ලම හොඳ ව්‍යායාමයක්. අද දරුවන්ගේ තරබාරුවට ප්‍රධාන චෝදනාව නැගෙන්නේ ඔවුන් ගෙවන ජීවන රටාවටයි. ඒත් සෙල්ලම් කරන දරුවන් බොහොම ක්‍රියාශීලියි. ඔවුන් තරබාරුවට ගොදුරු වෙන අවදානම අඩු නිසා ළමා කාලයේ වැල‍ඳෙන විවිධ බෝ නොවන රෝගාබාධයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පුලුවනි.

සෙල්ලමත් සමග දරුවාට ලැබෙන තවත් දායාදයක් විදිහට ආත්ම විශ්වාසය පෙන්වා දෙන්න පුළුවනි. තමාට යම් යම් හැකියාවක් තිබෙන බව ඔවුන් විසින්ම තේරුම් ගන්නේ එවිටයි. ඔට්ටු සෙල්ලමින් නිතරම ජය ලබන දරුවා තමාගේ දිවීමේ හැකියාව වගේම උපායශීලීත්වය තේරුම් ගන්නවා. ඒ තත්වය තුලින් ඔවුන්ට අනාගත ජීවිතයේ බොහෝ දේ ජයගන්න පුලුවනි.

භාෂා කුසලතාවයන් දියුණු වෙනවා. අද දරුවන් අතර සන්නිවේදන හැකියාවන් බොහොම දුර්වලයි. ඊට හේතුව ඔවුන්ට කටේ හිරි ඇරෙන්න කතා බහට සහ අදහස් හුවමාරු කර ගැනීමට පරිසරයක් නැහැ. ඒත් සෙල්ලමින් දවස ගෙවන විට පොල්කිච්චෝ වගේ කෑගහන, ප්‍රිතිඝෝෂා කරන දරුවන් ගැන මතක ඔබේ බාල කාලයේ ඇති. ඒත් අද නිවසක කාමරයට කොටුව සිටින දරුවන්ට ඒ වාසනාව අහිමි වීම නිසාම ඔවුන්ගේ භාෂා සහ සන්නිවේදන කුසලතාවයන් නොදැනීම අහිමි වෙනවා.

දරුවන් සෙල්ලම් කොටස් දෙකක්ට බෙදන්න පුලුවනි…

දරුවන් විසින් කරන සෙල්ලම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුලුවනි.

  • සැලසුම් සහගත ක්‍රිඩා
  • සැලසුම් සහගත නොවන ක්‍රිඩා
මොනවද මේ සැලසුම් සහගත ක්‍රිඩා…

සැලසුම් සහගත ක්‍රිඩාවන් විදිහට අපි හඳුන්වන්නේ සරල නීති රීති පද්ධතියක් තුළ සිදු වෙන ක්‍රිඩාවන්ටයි. මේ ගණයට පිහිනීම,බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් වැනි ක්‍රිඩාවන් ඇතුලත්. මේ ක්‍රිඩාවන්හිදී දරුවා යම් විනයක් ගැන දැණුවත් වෙනවා. ක්‍රිඩාවේ නීති රීති වලට ගරු කිරීම වගේම ජය සහ පරාජය දෙකම ලැබෙන බවත්, ක්‍රිඩාවේ ජයග්‍රහනය වෙනුවෙන් කණ්ඩායම් හැඟීම වගේම ඉවසීම අවශ්‍ය බව ප්‍රායෝගිකව දරුවා ඉගෙන ගන්නේ ඉහත දැක්වෙන සැලසුම් සහගත ක්‍රිඩාවන්වලදියි. “පුතේ…ඉවසීම පුරුදු වෙන්න….” කියනවාට වඩා සෙල්ලම සමග විරුද්ධ මත ඉවසා ගැනීමට දරුවාට සිදු වෙන නිසා ඔවුන් එහි වටිනාකම තේරුම් ගන්නවා. ඒ නිසා අපෝ සෙල්ලම්වලට ගියොත් ඉගෙනගෙන ඉවරයි… කියන මතයේ රැඳීමේ තිබෙන මිථ්‍යාව දැන් ඔබට වැටහෙනවා ඇති.

සැලසුම් සහගත නොවන ක්‍රිඩා…

සැලසුම් සහගත නොවන ක්‍රිඩාවන් කියන්නේ ක්‍රිඩා උපකරණ භාවිතයක් නැතුව,අවස්ථාවේදී ලැබෙන සහ දරුවා විසින්ම තෝරා ගත් ක්‍රිඩාවන්ටයි. උදාහරණ විදිහට පුංචි දුවක් අම්මාගේ සාරියක් ඇඳ සෙල්ලම් ගෙදර අම්මා වුනොත්…එහෙම නැත්නම් පුංචි පුතා සෙල්ලම් කඩයක් දැම්මොත් ඒවා සැලසුම් නොවන ක්‍රිඩාවන්ට ඇතුලත්.

අද දවසේ දෙමව්පියන්ගේ මේ වගේ ආකල්පත් තිබෙනවා. පිහිණීම, ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන් වැනි ක්‍රිඩාවන්ට දරුවන් යොමු කරන රටාවක් තිබුනත් මුලින් දැක්වූ බෝනික්කන් නැලවීම, සෙල්ලම්කඩ දැමීමට නම් කොහෙත්ම එකඟ නැහැ. ඔවුන් ඒවා දකින්නේ කාලය සහ නිවසේ ද්‍රව්‍ය නාස්තියක් විදිහටයි.

ඒත් මේවායින් දරුවන්ට ලැබෙන දායාද බොහොමයි…

මේ වගේ සැලසුම් නොකල ක්‍රිඩාවන්හි යෙදෙන විට දරුවාගේ නිර්මාණශීලීත්වය වර්ධනය වෙනවා. පරිකල්පනය ඇති වෙනවා. ඒ නිසා දරුවන්‍ගේ සැලසුම් සහගත නොවන ක්‍රිඩාවන් වෙනුවෙන් කිසිම විටෙක තරහ ගැනීම නම් නොකල යුතුයි.

සෙල්ලමට සමාජයක් කෝ…

අද කාලයේ පවුල්වල දරුවන් සංඛ්‍යාව සීමිතයි. සමහර විට එක් දරුවෙක් පමණයි. දෙ‍න්නෙක් හිටියත් ඔවුන් අතර වයස පරාසය දුරස්. පවුලේ සහලේ ඥාතීන්ගේ දරුවන් වුනත් ජීවත් වෙන්නේ බොහාම ඈත පරිසරයකයි. අසල්වැසියන් අතරත් සම්බන්ධතාවයන් නැති නිසා දරුවන්ට සෙල්ලමට සමාජයක් නැහැ. එහෙම වුනොත් අම්මා , තාත්තා හෝ වේවා දරුවාගේ සෙල්ලමට සම්මාදම් වීම ඉතාම වැදගත්.

ඒ නිසා සෙල්ලමේදී දෙමව්පියන් හෝ වේවා දරුවාට සම්බන්ධ වෙන්න. සැලසුම් සහගත නොවන ක්‍රිඩාවකදී වුනත් දරුවාට ඒ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න. මේ අන්දමින් සහයෝගය ලැබෙන විට ඔවුන්ගේ ස්නායු පණිවිඩ වේගවත්ව මොළයේ පරිපථවල ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවා. එය දරුවාගේ බුද්ධි වර්ධනයට ඉතාම වැදගත්.

එහෙම නම් දරුවන් සෙල්ලමට ඇරයුමක් නොකලත්… ඔබ විසින්ම ඒ වෙනුවෙන් දායකත්වයක් ලබා දීම මොනතරම් අගනේදැයි දැන් ඔබටම ඒත්තු යනු ඇති.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here