Screen Dependency Disorder හි ගොදුරක් වෙන්න පෙර

Screen-Dependency-Disorder

අද කාලයේ හැම අම්මා තාත්තා කෙනක්ම බොහොම කාර්යබහුලයි. රැකියාව, නිවස සහ දරුවන් මුල් කර ගෙන තිබෙන මේ අරගලයේදී දරුවා පරක් කර ගැනීමටත් කුමන හෝ විකල්පයක් දෙමව්පියන්ටත් එපායැ… ඒ වෙනුවෙන් අද දෙමව්පියන්ට තිබෙන හොඳම උපාංගය බවට පත්ව තිබෙන්නේ විවිධ විද්‍යුත් මෙවලම්.

මේ මෙවලම් දරුවාගේ ලෝකයේ බොහොම හොඳ මිත්‍රයෝ.ඒ වගේම අම්මාටත් රැයක් එලි වෙන කම් හෝ දරුවා මේ උපාංග සමග තියන්න පුලුවනි. ඒ වුනාට මෙහි ප්‍රතිවිපාක පාරාවළල්ලක් විදිහට නැවත ඔවුන් කරාම පැමිනෙනවා. අදටත් හැම තැනින්ම මේ ගැන දෝෂාරෝපන නැගෙන බව ඔබත් දන්නවා ඒත් මුලින්ම දරුවාගේ අතට මේ මෙවලම් පත් කරන්නෙත් අම්මා තාත්තා බව කාලය සමග ඔවුන්ට අමතකයි.

මේ Screen Dependency Disorder සිදුවීම මුල් කරගෙන ආචාර්ය “ඇරික් සිග්මන්” විසින් අධ්‍යනයක් සිදු කළා. බාල කාලයේදී වීඩියෝ දර්ශනයක් වෙනුවෙන් ආකර්ශනය වීම පසුකාලයේදී නොදැනීම ඒ වෙනුවෙන් ඇබ්බැහියක් බවට පත් වෙලා. අම්මලාට මේ ගැන දැනෙන්නේ අන්තර්ජාලයට එහෙම නැත්නම් මුහුනුපොත සමග දරුවා දැඩි විදිහට ඇබ්බැහි වීමෙන් පසුවයි.

ඇබ්බැහි වීම ඇති වෙන්නේ කොහොමද….?

ඔබ සාමාන්‍යයෙන් මේ වර්ගයේ මෙවලම් හසුරුවන දරුවෙකුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂනය කරන්න. දරුවන් මේ මෙවලම්වල තිරයෙන් ඇහැ ඉවතට ගන්නේම නැහැ. මේ තත්වය විශේෂඥයින් විසින් Screen Dependency Disorder යනුවෙන් හඳුන්වා දී තිබෙනවා.

මේ තත්වය නිසා දරුවෙකුට ඇති වෙන අපහසුතාවයන් මොනවාද…?

  • නින්ද පිලිබඳ ගැටලු
  • කොන්ද සහ බෙල්ල කැක්කුම
  • ශරීර බර වැඩිවීම
  • එහෙම නැත්නම් නිසි විදිහට ආහාර නොගැනීමෙන් ඇති වෙන ශරීර බර අඩු වීම
  • ඇස් පෙනීමේ ගැටලු
  • හිසරදය

ඔය විදිහට දැක්වුයේ ශාරිරික ආබාධයි.. ඊට අමතරව ඇති වෙන තවත් ගැටලු කීපයක් තිබෙනවා..

මොනවද මේ සමාජ ගැටළු….

  • අනේ හැබෑටම අල්ලුපු ගෙදර දරුවාවත් හදුනන්නේ නැහැ
  • හීනමානය
  • මානසිකව තිබෙන හිස්බව
  • ආතතිය
  • මානසික වියවුල
ඇබ්බැහි වීමට කලින්

අද දෙමව්පියන්ගේ පොදු තේමාව බවට පත්ව තිබෙන්නේ “අනේ අපි නම් ඒ කාලයේ ඔහොම නැහැ…” යන්නයි. ඊටත් හේතුවක් තිබෙනවා. ඒ කාලයේ මේ වගේ වෛවාර්ණ දේ තිබුනේ නැහැ. ඒත් අද ලෝකයේ ඇස ගැටෙන මේ මෙවලම් වෙතින් දරුවන් මුදවා ගැනීම අද යුගයේ දැවැන්ත අවශ්‍යතාවයක්.

එහෙම නම් අපි කරන්නේ මොනවාද?…

අපි මොන විදිහට කිව්වත් දරුවන් බොහෝ  දේ ඉගෙනගන්නේ ආභාෂයෙන්. ඒ නිසා කුඩා කාලයේ පටන්ම මේ මෙවලමක් අතට දී ඔවුන් ප‍සකට නොකොට දරුවන් සමග සෙල්ලම් කරන්න. වැඩි කාලයක් ඔවුන් සමග ගත කරන්න. ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය වැනි රටවල බාල කාලයේදී දරුවන්ට මුලින් දැක්වෙන කිසිම මෙවලමක් ඇසුරු කිරීමට අවසර දෙන්නේ නැහැ. ඒත් දරුවන් වෙනුවෙන්ම වෙන් වුන වෙනත් ක්‍රිඩාවන් තිබෙනවා. ජිග්සෝ ප්‍රහෙලිකා. මනිපෝලි වැනි ක්‍රිඩාවන් මගින් දරුවන් තමන්ගේ වයසට ගැලපෙන සෙල්ලම් කිරීමට උනන්දු වෙනවා.

අන්තර්ජාලයටත් නිරාවරනය වෙන දවසක් එනවා

පුංචි කාලයේදී නම් විවිධ සීමාවන් සහ තහංචි මගින් දරුවා සයිබර් අවකාශයට නිරාවරනය වීම පාලනය කිරීම අපහසුයි. ඒත් මේ ආගන්තුක පරිසරය තුළ  අනිසි විදිහට දරුවා අන්තර්ජාලයට නිරාවරනය වීම පාලනය කර ගැනීම දෙමව්පියන්ගේ වගකීමක්.

  • ඔවුන්ට අන්තර්ජාලයේ සුදුසු දේ තෝරා දෙන්න
  • නිතරම පරිගණකයට හෝ ස්මාර්ට් දුරකථනයට මුරපදයක් දමා දරුවාට අවශ්‍ය විටෙක ඔබ විසින් එය විවෘත කරන්න
  • පොදු ස්ථානයක පරිගණකය තබන්න

මුල් කාලයේදී නම් දරුවාට ඔහු විසින් පරිශීලනය කළ ඉතිහාසය මකා දැමීමට අපහසු විය හැකියි. දෙමව්පියන් විදිහට දරුවාට නොදැනෙන සේ මේ ඉතිහාසයෙන් ඔහු නරඹන ලද දේ ගැන යම් වැටහීමක් ලබා ගැනීමට පුලුවනි. යම් දැනුම් තේරුම් ඇති වයසට එන තෙක් දරුවන් නොමග යෑමට ප්‍රවනතාවයක් තිබෙන නිසා මේ කුනාටු සමයේදී ඉතාම ප්‍රවේසමෙන් ඔවුන් සමග කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ නිසා ඔබේ දරුවා Screen Dependency Disorder තත්වයට පත් වීමට පෙරාතුව ඒ වෙනුවෙන් විසදුම් ‍සොයා ගැනීමෙන් මේ අවාසනාවන්ත තත්වයට දරුවා පත් නොවෙන තැනට කටයුතු සලසා ගැනීමට ඔබට හැකි වෙනු ඇති.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here