පාසලත් නිවාඩු… සාමාන්‍ය පෙළ ලියපු දුව පුතාත් හෙට අනිද්දාට නිදහස් වෙනවා. ඒ වගේම නිතරම දුරකථනයට කෙටි පනිවිඩ ලැබෙනවා. වට්ටම් ගැන ආලවට්ටම් සහිත ආකර්ශණීය නිවාඩුවක් ගත කරන්න හෝටල්වලින් ලැබෙන අවස්ථාවන් ගැනයි ඒ හැම පනිවිඩයක්ම. ඉතින් දරුවන්ගෙත් දැන් හරිම උනන්දුව තිබෙන්නේ නිවාඩුව හෝටලයක ගත කරන්නයි. ඉතින් දැන් නම් හැම ගෙදරක්මත් හෝටලයකටම සමානයි. පහසුකම් බොහොම තිබෙනවා. ඉතින් ඒ නිසාම තවත් හෝටලයකට නොගිහින් මේ වගේ අදහසක් නරකද…?
අපි හැම දෙනෙක්ම දැන් ගත කරන්නේ බොහොම අවිවේකී එකාකාර රටාවක්. ඒ නිසා මනසටත් පුංචි හෝ වෙනසක්, විවේකයක්, විනෝදයක් අවශ්‍ය වෙනවාමයි. ඒ වෙනුවෙන් ඉස්සර කාලයේ නෑගම් ගියත් දැන් දවස් ගණනක් හැම දෙනාටම වාහන පහසුකම් තිබෙන නිසාත්, මාර්ග දියුණු නිසාත් පැය ගණනකින් ගිහින් එන්න මිසක නවාතැන් ගැනීමට අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වුනත් හෝටලයක ගෙවන දින ගණනට වඩා ගමක, දවසක් දෙකක් ගත කලොත් වාසි බොහොමයක් ලබා ගන්න පුලුවනි.
අපේ රට පුංචි වුනත් තවමත් මේ රටේ අපි නොදුටු නොගිය තැන් හුගක් තිබෙනවා. හෝටලයේ කෘතිම පරිසරයට වඩා මේ ස්වභාවික වටපිටාවකින් අපිට රසවත් අත්දැකිම් ලබා ගන්න පුලුවනි. අඩුම ගනනේ පිරිසුදු සුළං පොදක්වත් ලැබෙනවානේ. හෝටලයක කොන්ක්‍රීට් බිත්ති අතර සිරවෙනවාට වඩා ගස් අතු පතර දැවටෙන සීතල සුලං පොදකින් ඇගට වගේම මනසටත් දැනෙන අපුරු සිහිලස නගරයේ හෝටලයකින් මිළ ගෙවලා වත් ලබා ගන්න බැහැ.
නගරයේ ජීවත්වෙන දරුවන්ට නම් නගරයෙන් මිදුන පරිසරයක අත්දැකීම් ලබා දුන්නොත් එය ඔවුන්ට බොහෝ සෙයින් වටින්න පුලුවනි. ගමක් කියන , හේන, කමත කියන්නේ මොන විදිහකින් ගොඩ නැගුන සංස්කෘතියක්ද යනන් පහසුවෙන්ම වටහා ගන්න පුලුවනි. ඒ නිසා අම්මලා, තාත්තලා ගම අමතක නොකර තමන්ගේ නෑ හිතවතුන් සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගෙන දරුවන් සමග නිවාඩුව ගත කරන්න දැන් අදහස් ගොඩ නගා ගන්න කාලය ඇවිත්.
අද දරුවන්ට නැගෙන බරපතල චෝදනාවක් තිබෙනවා. කිසිම ක්‍රියාශීලිත්වයක් නැහැ. වයසටත් කලින් තරබාරු වෙලා. මේ හැම දෙයටම මුල දුව පැන සෙල්ලම් කරන පරිසරයෙන් දරුවන් ඇත් වීමයි. ඒ නිසා මේ නිවාඩුවේ අත පය දිග හැරලා දුවන්න, පනින්න, පුලුවන් වටපිටාවකට යොමු කලොත් ඔවුන්ට එය අපූරු අත්දැකීමක් වෙන්න පුලුවනි.
ඉස්සර කාලයේ ඇලේ දොලේ පැනල කරනම් ගහල එගොඩ මෙගොඩ පීනා ගිය දරුවන්ට අද ඒ පරිසරය නැහැ. ඒත් තවමත් නගරයෙන් ඈත ගම්මානවල ආරක්ෂිත දිය පාරවල් තිබෙනවා. හැබැයි නගරයේ දරුවන්ට දැන් පීනුම් තටාකයේ පීනන්න පුලුවන් නිසා මේ ගලන දොලකත් පිහිනා යෑම තරම් අපහසුවක් වෙන එකක් නැහැ. කොහොම වුනත් දියේ නෑමේදී නම් වැඩිහිටියන්ගේ ආරක්ෂාව වගේම නෑමට සුදුසුම ස්ථානයක මිසක නොදන්නා තැනක නම් දිය නෑමට දරුවන්ට අවසර දෙන්න එපා.
ගම්මානයකට ගියාම දරුවන් විවිධ සතුන් අදුනා ගන්නවා. අද ඔවුන් මේ බොහෝ සතුන් දන්නේ නම් වලින් විතරයි. කුරුල්ලන් ගැන වුනත් එහෙමයි. එදා දරුවන්ට පිහාටුවක් දුටු සැනින් වගේම කුරුලු නාදයක් ඇහුන විට අහවල් කුරුල්ලා කියල දැන හදුනා ගැනීමේ හැකියාව තිබුනා. ඒත් අද දරුවන්ට ඒ දැනීම නොලැබෙන්නේ ඔවුන්ට මේ සුන්දර පරිසරයට නිරාවරනය වෙන අවස්ථාවන් නැති නිසයි. ඒත් නිවාඩුවක් වෙනුවෙන් ගමක් වෙත ගියොත් මේ අත්දැකීම් දරුවන්ට ලබා අනිවාර්යෙන්ම අත් විදින්න පුලුවනි.
“කෝච්චියෙන් ගමට යනවා… කිරියි පැණියි කාල එනවා…” එදා නිවාඩු කාලයෙට ගමට ගියාම කිරි , පැණි වගේම මාලු ඇඹුල් තියල් වැරදුනේ නැහැ. ගාලු මාතර පලාත්වලට කිරි, පැණි, මාළු ඇඹුල් තියල් වගේමඋඩරට, සබරගමුව සහ වයඹ වැනි පලාත්වලටත් ආවේණික කැවිලි වර්ග තිබෙනවා. උදුවැල්, වැලිතලප වැනි කැවිලි වර්ග රස නොබලපු දරුවන් ඉන්නවා. ඒක දරුවන්ගේ වැරැද්දක් නොවෙයි. ඉස්සර කාලයේ අපේ අපේ අම්මලා ඉඩ ලැබුන අවස්ථාවල නෑගම් යන්න අමතක කළේ නැහැ. ඒ නිසාම නැදෑයින් අතරත් හොඳ සම්බන්ධතාවයන් ගොඩ නැගුනා.
ඒ නිසා අපි නිවාඩුවක් ගෙවන්න නගරයේ කලබලයෙන් මිදිලා නිස්කලංක පරිසරයකට ගියොත් ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා. මුලින්ම හෝටලයක නවාතැන් ගත්තා වගේ ලොකු මුදලක් ගෙවන්න වෙන්නෙත් නැහැ. ඒ එක ආර්ථික වාසියක්.
තවත් පැත්තකින් පිරිසිදු වාතය සහ අලංකාර නිසා අපේ මනස සන්සුන් වෙනවා, වස විස නැති ගෙවත්තකින් එහෙම නැත්නම් පුංචි ඉඩමකින් නෙලා ගත්තු එළවලු , පළතුරු ආහාරයට ගන්නත් ලැබෙනවා. නෑ හිතවතුන් අතර සම්බන්ධතාවය තහවුරු වෙනවා වගේම අලුත් හිතවතුන් පිරිසක් දැන හදුනා ගන්නත් ලැබෙනවා. මේ කිසිම දෙයක් මුදලින් තක්සේරු කරන්න කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ අත්දැකීමකට දරුවන් නිරාවරනය වුනොත් එහි ප්‍රතිඵල ඔබට දිගුකාලීනව ලබා ගන්න පුලුවන්.