මට මල්ලියෙක් නැත්තම් නංගියෙක්..

expecting-a-second-baby

පුංචි පවුල රත්තරන් යන සංකල්පයේ පිහිටා දරුවන් පිලිබඳව සීමාවන් පනවා ගැනීමේ ප්‍රවනතාවය ගොඩ නැගුනේ 1970 වැනි යුගයකදී. චීනය විසින් මේ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නත් දැන් ඔවුන්ද එහි ආදීනව තේරුම් ගෙන එක්දරු ප්‍රතිපත්තියෙන් ඉවත්ව සිටිනවා.

සමහර අවස්ථාවලදී මට නංඟියෙක් හෝ මල්ලියෙක් ගෙනත් දෙන්න කියන අදහස දරුවාගෙන්ම ඉදිරිපත් වෙනවා. එයින් පෙනෙන්නේ සහෝදර සමාගමක තිබෙන අවශ්‍යතාවයයි. තනි දරුවා ‍ලසින් හැදෙන වැඩෙන එක් කුඩා එනම් වයස අවුරුදු හතක පමණ පුංචි දියණියක් තමන්ගේ මවට දෝෂාරෝපණය කරමින් කියා සිටියේ “පංතියේ හැමෝටම ගෙදර සෙල්ලම් කරන්න නංගිකේ, මල්ලියෙක් හරි අක්කෙක් අයියෙක් ඉන්නවා. මට කවුරුත් නැහැ. ඔයාට එහෙම බැරි නම් මට බල්ලකේ පූසෙක්වත් ගෙනත් දෙන්න…” දරුවාගේ හිතේ තිබුන ආත්මීය හෝකය එයින් අපිට පෙනෙනවා නේද…?

ඉස්සර දරුවන් සම්පතක්…

අතීතයේදී සිංහල දෙමව්පියන් දරුවන් ගැන සිතුවේ සම්පතක් විදිහටයි. නිතරම ඔවුන්ගේ මුවින් කියැවුනේ “වැලේ ගෙඩි වැලට බර නැහැ…” යන අදහසයි. කාලයාගේ ඇවැමෙන් සෑම පවුලකම දරුවන් ගණන දෙදෙනෙකුට සීමාවෙන ප්‍රවනතාවය ඉදිරියේ මේ ස්ථාවරය හැම පවුලකම ඇති වුනා. තුන්වැනියෙක් උපත ලැබුවා නම් ඒ අහඹු ලෙසයි.

දරුවන් සීමා වෙන්නත් හේතු තිබුණා…

දරුවන් සීමා කර ගැනීමටත් යම් යම් හේතු සාධකත් බලපෑවා. ආරක්‍ෂිත අපහසුතාවයන් එක් පැත්තකින්ද, දරුවන්ට අවශ්‍ය සැප සම්පත් දෙන්න නොහැකි නම් තවත් දරුවන් හදා ගැනීම ගැන දෙවරක් හිතන්න පටන් ගත්තා. ඒ වගේම පවුලේ ආර්ථීක බර වෙනුවෙන් සහයෝගයට වගේම කාන්තාවන් අධ්‍යාපනය ලැබීම නිසා අම්මා, තාත්තා රැකියාවට ගියාම දරුවන් රැකබලා ගැනීමේ ප්‍රශ්න ඇති වුණා. එදා වගේ න්‍යෂ්ටික පවුල් අද නැති නිසා දරැවන්ට රැකවරණය ලබා දීමත් විශාල ගැටළුවක් බවට පත් වුණා. දරුවන් තුන් හතර දෙනා තබා එකාවත් හදා වඩා ගැනීමේ දුෂ්කරතාවයන් ඉදිරියේ පවුලක දරුවන් ගණන වෙනුවෙන් ඉබේටම සීමාවන් පැනවුණා.

මේ සියල්ල ඇත්ත… ඒත් එකා යකා වුනොත්…

මේ සේරම දෙමව්පියන්ගේ පැත්තෙන් ඇත්ත. ඒ වුනාට තවත් පැතත්කින් එකා යකා යන සංකල්පය බිහි වුනොත්. අද මනෝවිද්‍යාඥයින් පවා සඳහන් කරන්නේ පවුලක දරුවන්ගේ සංඛ්‍යාව කීප දෙනෙකුට සීමා වීම වඩාත් සුදුසු බවයි. එය දරුවන්ගේ යහපත් මානසිකත්වය බලපාන කරුණක් බැව් ඔවුන්ගේ අදහසයි.

මානසික හිස්කමට…

තනි දරුවා බොහෝ විට හැදෙන්නේ හුදෙකලා පරිසරයක. ඒ නිසා ඔවුන්ට නිතරම ඇත්තේ හිතේ තනිකමක්. ආර්ථික අතින් ලැබෙන සැප සම්පත් තිබුනාට මේ තනිය ආවරණය කරන්න බැහැ. ඒ නිසා දරුවන් කීප දෙනෙකුගේ පරිසරයේ හැදෙන දරුවන්ට වඩා පවුලක තනි දරුවාගේ මානසික හුදෙකලා බව වැඩියෙන් පවතින බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ නිසාම ඔවුන් අසාමාන්‍ය ගති පැවැතුම්වලින් යුක්ත වීමත් තවත් හේතුවක්.

ආත්මාර්ථකාමියිද….?

තනි දරුවා බොහෝ විට ආත්මාර්ථකාමී බැව් බොහෝ දෙනාගේ අදහසයි. පවුලේ එකම දරුවා වූ විට දෙමව්පියන්ගේ ආදරය, ආරක්ෂාව, සෙනෙහස උපරිමයෙන් ලැබෙනවා. ඔවුන්ට දරුවා ඇහැක් වගෙයි. ඒ නිසාම දරුවා තරම් සම්පතක් නොවන තැන අම්මා තාත්තාගේ තත්වය දරුවාත් තේරුම් ගන්නවා. ඒ නිසාම තමාගේ අවශ්‍යතාවයන් කෙසේ හෝ ඉටු කර ගැනීමේ දැඩි ආත්මාර්ථකාමීත්යක්ද සමහර විට ගොඩ නැගෙන්න පුලුවනි.

සහජිවනය

තනි දරුවා නිතරම තනියෙන්ම හැදෙන්න වැනේන ඉඩ දිය යුතු නැහැ. අසල්වැසි, නෑ හිතවතුන්ගේ හෝ දරුවන් සමග ඇසුරට ඉඩ දිය යුතුයි. එසේ නොමැති වුනොත් බෙදා හදා ගැනීමේ සහජීවන ගති පැවැතුම් ඇති වෙන්නේ නැහැ. අක්කා, මල්ලී, නංගී සමග වෙරලු ගෙඩිය බෙදා ගත්තාට තනි දරුවාට ඒ පරිසරය නැතැත් දෙමව්පියන් විදිහට ඒ ගති පැවැතුම් ගොඩ නැගීම වැදගත්.

අත්දැකීම්

පවුලක දරුවන් කීප දෙනෙක් සිටින විට ඔවුන් අතර අත්දැකීම් හුවමාරු වෙනවා. ඒත් තනි දරුවෙකුට මේ පරිසරය නැහැ. බාලකාලයේදී රණ්ඩු වුනත් ගහ මරා ගත්තත් පසුකාලයකදී ඒවා ඔවුන්ගේ ජීවිතයේ රසවත් අත්දැකීම් විදිහට කතා කරන්න මාතෘකාවක්. මේ නිසා තනි දරුවාට සමාජය සමග ගණුදෙණු කිරීම එතරම් පහසු නැහැ. ඒ වගේම තනි දරුවෙකුට සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමත් එතරම් පහසු නැහැ. තවත් අවස්තාවලදී බාහිර සමාජය සමග ගණුදෙණු කිරීමේ ඇති වෙන ගැටුම් නිසා ඉතාම ඉක්මනින් කනස්සල්ල, පසුගාමීබව ඇති වෙන අවස්තාවනුත් සුලබයි.

ශක්තිය…

පවුලක දරුවන් සංඛයාව වැඩි වෙන විට ඇති වෙන ශක්තිය බොහොම ප්‍රබලයි. ඇතැම් පවුල්වල අය මේ විදිහට කියනු ඔබ අසා ඇති. “පවුලේ සහෝදර සහෝදරියො, ඒ අයගේ පවුල්වල අයයි එකතුවුනාම හොදටෝම ඇති…” ඒක ඇත්ත… ඒත් සමහර පවුල්වල මරණයක් වුනාම මෘතදේහයේ හතර කොණට කර ගහන්නවත් පිරිසක් නැති අවස්ථා තිබෙනවා.

නිර්මාණශිලියි …    

පවුලේ දරුවන් ගණන වැඩි වෙන විට නිර්මාණශීලීත්වයට විහාල බලපෑමක් ඇති වෙනවා. ඔවුන් අක්කලා අයියලාගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒ වගේම බාල දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩිමහල් සහෝදර පිරිස් විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසාම කාලයත් සමග යම් යම් කටයුතු ස්වාධීනව කර කියා ගැනීමේ හැකියාව මේ දරුවන්ට ඇති වෙනවා.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here