චූටි බබාලට වගේම ලොකු පොඩ්ඩන්ටත් දිය යුතුම, බතල….
පුංචි බබාලගේ කෑම ආරම්භය ගැන කතා කරනකොට දෙන මූලික ආහාර වර්ගයක් විදියට බතල හරි ප්‍රසිද්ධයි. ගොඩක් අම්මලා කහ බතල තම දරුවන්ට ලබා දෙන්න උත්සහ කරනවා. නමුත් දරුවන් ටික ටික ලොකු වෙනකොට බතල වලට තියෙන ඉල්ලුම සැලකිල්ල චුට්ටක් අඩු වෙන බවක් අපිට පේනවා. දරුවන් විතරක් නෙමෙයි අම්මලා තාත්තලත් බතල කන්න මැලි වෙනවා. ඒ බතල පිළිඹඳ අපිට තියෙන්නේ අඩු දැනුමක් නිසා. ඒ නිසා අපි අද ලිපියෙන් බතල ගැන ටිකක් කතා කරමු. මම සොයාගත් තොරතුරු සංක්ශිප්ත ලෙස මේ ලිපියේ සඳහන් කරන්න මම බලාපොරොත්තු වෙන අතරම බබාලට බතල වලින් හදා ගන්න පුලුවන් කෑම පිළිඹඳ අදහස් ටිකකුත් කියන්නම්.
බතල කියන්නේ පිශ්ඨය එහෙමත් නැත්නම් කාබෝහයිඩ්රේට් බහුල ආහාරයක්. එනිසා දරුවන් ගේ ශරීරයට හොඳින් ශක්තිය සපයන ආහාරයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. ඒ වගේම බීටා කැරොටින්, විටමින් A, C හා E, පොටෑසියම්, කැල්සියම්, යකඩ වැනි තවත් පෝශ්‍ය කොටස් බහුල ආහාරයක් තමයි බතල. තවත් විශේෂ දෙයක් තමයි බතල කියන්නේ අනෙක් අල වර්ග වලට වඩා තන්තුමය ගතිය වැඩි ආහාරයක්. ඉතින් ඔයාලට පේනවනේ, බතල කියන්නේ ලොකු පොඩි කාටත් ඉතා ගුණදායක දෙයක්.
අපි ගොඩක් අය දන්නේ රතු පොත්ත සහිත සුදු පාට මදය සහිත බතල වර්ගය සහ සුදු පොත්ත සහිත කහ පාට මදය සහිත බතල වර්ගය විතරයි. නමුත් ඕගොල්ලෝ දන්නවද, නිර්දේශිත බතල වර්ග 10ක් පමණ වෙළඳ පොලේ ඇති බව? ඒවායේ මදය සහ පොත්ත පාටවල් වල වෙනස්කම් තියෙනවා. කොහොම නමුත් මේ ඕනෑම බතල වර්ගයක් ගුණදායකයි.
නිර්දේශිත බතල ප්‍රභේද…
නිර්දේශිත ප්‍රභේද | අලයේ පිට පොත්ත හා මදයේ පැහැය |
වාරියපොල රතු | රතට හුරු දම් පාට පිට පොත්ත හා මදය සුදු පැහැති |
වාරියපොල සුදු | සුදු පාට පිට පොත්ත හා මදය සුදුපාටය |
රණ බිම (HORDI.P.2) | ලා රෝස පාට පිට පොත්ත, මදය ලා කහ පාටය |
ශාන්ති (B.W 08) | ක්‍රීම් පාට පිට පොත්ත, මදය සුදු පාටය |
චිත්‍රා (B.W 21) | ක්‍රීම් පාට පිට පොත්ත, මදය සුදු පාටය |
CARI 426 | රතට හුරු දම්පාට පිට පොත්ත, ඇතුලත තැබිලි පාට |
CARI 9 | රතට හුරු දම්පාට පිට පොත්ත, ඇතුලත ලා කහ පාට |
CARI 273 | රතට හුරු දම්පාට පිට පොත්ත, ඇතුලත ලා කහ පාට |
ධවල | සුදු පාට පිට පොත්ත, ඇතුලත කහ පාට වේ |
අමා | අලවල පොත්ත රෝස පැහැය වන අතර ඇතුලත තැබිලි පාට වේ |
(උපුටා ගත්තේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නෝරුව web පිටුවෙන්)
ඔන්න අපේ අම්මලටත් හොඳ ආරංචියක් කියන්නම්. ඔයාලා කැරට් ජූස් එහෙම බොනව නේද සම පැහැපත් වෙන්න? ඔයාලා දන්නවද, බතල වල කැරට් වලට වඩා බීටා කැරටින් තියෙන බව, කහ බතල වල ඒවා ගොඩක් වැඩියි. බතල වලිනුත් ජූස් හදාගෙන අම්මලාට බොන්න පුලුවන්. මම අන්තර්ජාලයේ සැරිසරද්දී දැක්කේ මේ තොරතුර බතල,කැරට්, ඇපල්, ඉඟුරු චුට්ටක් එක්ක එකට බ්ලෙන්ඩ් කරලා ජූස් හදලා බොන්න පුලුවන් පැහැපත් වෙන්න.
බතල කොහොමද අපි අපේ පැටියන්ට දෙන්නේ..? පුංචි බබාලට ආහාර ආරම්භ කරන මුල් කාලයේ සිටම බතල කවන්න පුලුවන්. බතල පොත්තේ ගුණය ඉතාමත් වැඩි යි. ඒ කියන්නේ අපි මේ ලිපියේ මුලින් කතා කල පෝශ්‍ය කොටස් වැඩි ප්‍රමාණයක් බතල පොත්තේ අඩංගු වෙනවා. ඒ නිසා බතල හොඳට සෝදා, පිරිසිදු කරගෙන පොත්ත සම්ඟ කෑමට ගන්නවනම් අපි හැමෝටම හොඳයි. කාබනික බතල ඔබට හොයාගන්න තියෙනවනම් වඩාත් හොඳයි. අද කාලයේ කොයි දේටත් රසායනික පොහොර භාවිත කරන නිසා, අපිට අකමැත්තෙන් උනත් පොත්ත ඉවත් කරන්න වෙනවා.. අම්මලා මොකද ඒක ගැන හිතන්නේ? ඔයාලගේ අදහසුත් අපිට කියන්න. කොහොම වුනත් බතල පොතු ඇරලා, පොඩියට කපලා ජල වාශ්පයෙන් තම්බා ගන්න පුලුවන් ඉක්මනින්ම. මම මගේ පැටියට බතල ලේසියෙන් හදා ගත්තේ ඒ විදියටයි.
බතල වලින් හදා ගන්න පුලුවන් කෑම වර්ග සඳහා අදහස් කීපයක් මම ඉදිරිපත් කරන්නම්. ඔයාලත් හදලා බලන්නකෝ…
- බතල තලපය – බතල තම් බා පොඩි කර වතුර හෝ කිරි සමග මිශ්‍ර කර තලපයක් ආකාරයෙන් බබාට දෙන්න පුලුවන්.
- බතල සමඟ එළවලු එකක් හෝ කිහිපයක් – වට්ටක්කා, කැරට් වගේ කහ පාට එළවලු විතරක් නෙමෙයි රාබු, අල, කෝලිෆ්ලවර් වගේ ඕනැම එලවලුවක් හෝ කීපයක් එකට තම්බාගෙන කවන්න පුලුවන්
- සත්වමය ආහාරයක් සමග බතල – මස්, මාලු, බිත්තර සමග බතල තම්බා කවන්න පුලුවන්
- බතල සමග පළතුරු – මිදි, ඇපල්, පෙයාස් වැනි ඕනෑම පළතුරක් හෝ ඒවාහි යුෂ සම්ඟ බතල කවන්න පුලුවන්
- පළා වර්ගයක් සමග බතල – බතල සමග නිවිති, ගොටුකොල වැනි පළා එකතු කර ගන්න පුලුවන්
- බත් සමග බතල – ඔයාලා බබාලාට හදන බත් එකට බතල එලවලුවක් විදියට එකතු කර ගන්න පුලුවන්
- බතල වලින් පෑන් කේක් – බිත්තර, කිරි, පාන්පිටි සමගම තම්බා පොඩි කරගත් බතල ද යොදා ගෙන රසවත් පෑන් කේක් සාදා ගත හැකියි.
- බතල කූරු – බතල තීරු ලෙස කපා කහ ලුනු අතගා ගැඹුරු තෙලේ බැදලා ලොකු පොඩ්ඩන්ට දෙන්න පුලුවන්.
- බතල බයිට්ස් – තම්බාගත් බතල පොඩිකරගෙන, එයට තමුන් කැමති ධාන්‍ය කුඩු, ත්‍රිපෝශ වැනි දෙයක් එකතු කර, තෙල් සහ වතුරෙන් ඝන මිශ්‍රණයක් ලැබෙන තෙක් අනා ගන්න. පසුව ඒවායින් බෝල සාදා ගැඹුරු තෙලේ බැදගන්න පුලුවන්.
- බතල සුප් – කුකුල් මස් වතුර , එළවලු සමඟ සුප් ආකාරයෙන් සකසා ගන්න පුලුවන්.
- බතල සමඟ යෝගට් / මී කිරි
තවත් ඔබ දන්නා රෙසිපි තිබේනම් කමෙන්ට් කරන්න.
මම මේ ලිපියෙන් කිව යුතු සියල්ල හැකි පමණීන් ආවරණය කරන්න උත්සාහ ගත්තා. ඔබට නැගෙන ගැටලු කමෙන්ට් කිරීමෙන් අපට දන්වන්න. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.
කතුවරිය ගැන
උමන්දා මුතුකුඩආරච්චි මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .