අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුනා. දැන් ඉතින් දරුවන්ටයි දෙමව්පියන්ටයි බොහොම තීරනාත්මක කාලයක්. උසස් ලෙස සමත් වුන දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන සහතික වෙද්දී තවත් පිරිසක් බොහොම දෝලනාත්මක තත්වයට පත් වෙලා. තමන් ලබා ඇති ප්‍රමුඛතාවය අනුව අනාගතයේදී විහ්ව විද්‍යාල වරම තමන්ට ලැබෙයිද…? නොලැබෙයිද….? යන සැකයෙන් පීඩාවට පත්ව සිටිනවා.
ඒ වගේම යම් හෙයකින් මේ පිරිසට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබුනා කියමුකෝ…. ඒත් ඔවුන් අදක්ෂයින් නම් නොවෙයි.
විභාගයක පැය තුනක හෝ නියම කරන ලද කාලසීමාවකදී ඔවුන්ගේ දැණුම ආවර්ජනයෙන් ලබා දෙන මෙම ඇගයීම නිසා දරුවන්ගේ බුද්ධිය තීරණය වෙනවායැයි කියන්න බැහැ. දරුවා මේ සීමිත කාල සීමාවේදී හැසිරෙන සහ ඔවුන්ගේ ආවර්ජන හැකියාව මත ප්‍රතිපල රැදී තිබෙනවා.කොහොම වුනත් ශ්‍රී ලංකාවේ පළමු වසරට ඇතුළත් වන දරුවන්ගෙන් විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලබන්නේ, 14% ක් තරම් සුළු ප්‍රතිශතයකි.
උදාහරණයක් ලෙස ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2001 වසර සම්බන්ධයෙන් දක්වා ඇති දත්ත අනුව එම වසරේදී පළමු වසර සඳහා දරුවන් 330,385 දෙනෙකු ඇතුළත් කර ඇති අතර එම වසරේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ දරුවන් සංඛ්‍යාව 48061 කි.
එසේ නම්, විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන ඉතිරි 86% ක ප්‍රතිශතයක් නියෝජනය කරන දරුවන් බුද්ධිමත් නොවේද?
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ බී.බී.සී පුවත් සේවයට අදහස් ඉදිරිපත් කරමින් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ළමා මනෝ විද්‍යා විශේෂඥ ස්වර්ණා විජේතුංග මහත්මිය සඳහන් කරන අන්දමට මොළය හෙවත් බුද්ධිය මැනීම සඳහා බොහෝ විට සිදු කරනුයේ, විභාග පැවැත්වීමයි. ලෝකයේ සෑම රටක ම විභාග පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය යන කඩඉම් විභාග සෑම වසරක ම පවත්වයි.මෙවැනි විභාගවලින් ජය ගැනීමට අපොහොසත් වන දරුවන් මානසික අවපීඩනයන්ට ලක්ව අධ්‍යාපනයෙන් පළා යන බව අධ්‍යාපනඥයින්ගේ අදහසයි. විශේෂ ආබාධයක් නොමැති නම් බුද්ධියක් නොමැති කිසිදු දරුවෙකු ලෝකයේ හෝ ශ්‍රී ලංකාවේ නොමැති බව ළමා මනෝ වෛද්‍යවරු පෙන්වා දෙති. ඒ නිසා විභාගයකින් මනින්නේ දරුවාගේ බුද්ධිය නොව ආවර්ජනයේ ඇති හැකියාව බැව් ඇය සඳහන් කරනවා.
හැම දරුවෙක්ම බුද්ධිමත්. ඔවුන්ගේ බුද්ධිය ප්‍රදර්ශනය වීමේදී යම් යම් වෙනස්කම් තිබෙනවා. දරුවන් අතර මේ තත්වය ඉතාම සුලබයි. සමහර දරුවන්ගේ බාල කාලයේදී පටන් පෙනෙන විශේෂ බුද්ධිමත් හැසිරීම් තිබෙනවා. ඒ නිසා අපිම වෙලාවකට මෙහෙම කියනවා.
පුංචි කාලේ ඉදලාම පුදුම මොළයක් තිබුනේ…
ඒත් සමහර දරුවන්ගේ බාල කාලයේදී නම් ඒ විදිහට විශිෂ්ට හැසිරීම් නොතිබුනත් කාලයත් සමග ඔවුන්ගෙනුත් යම් යම් විශේෂ හැසිරීම් ප්‍රදර්ශනය වෙනවා. මෙන්න මේ කාලය ඉතාම වැදගත්. ඒ අන්දමින් විශේෂ හැකියාවන් ප්‍රදර්ශනය කරද්දී අපෙනුත් දරුවන්ට යම් අභිප්‍රේරණයක් ලබා දීම වැදගත් එවිට ඔවුන්ගේ හැකියාවන් තව තවත් ඉස්මතු වෙන්න පුලුවනි. ඒ වගේම පුංචි කාලයේ විශිෂ්ට හැකියාවන් තිබුනත් දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ ප්‍රතිචාර ඉදිරියේ මේ තත්වය වෙනස් වීමටත් ඉඩ තිබෙනවා. ළමා මනෝ විද්‍යා විශේෂඥ ස්වර්ණා විජේතුංග මහත්මිය සඳහන් කරන අන්දමට සමහර දරුවන් කුඩා කල සිට ම විශේෂ දක්ෂතා දක්වනවා. ඒ දරුවන්ට දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් නිසි උත්තේජනයක් නොලැබුණොත් එම දක්ෂතා විනාශ වෙනවා.
ඒ නිසා කිසිම දවසක පංතියේ ලකුනු අඩු වුනොත් “මේ ළමයා නම් උපන්ගෙයි මෝඩයෙක්…” කියල ලේබල් කරන්න එපා. “අනේ අපේ සල්ලි…” යැයි පසුතැවිලි වෙන්නත් එපා.පුංචි කාලයේදී නොපෙන්වූ හැකියාවන් කාලයත් සමග දරුවා හැදෙන වැඩෙන පරිසරයෙන් ලැබෙන උත්තේජන මගින් වැඩි දියුනු කර ගැනීමට පුලුවනි. උසස් පෙළ කඩඉමත් ඒ විදිහටම විසදා ගන්න පුලුවනි. අපේක්ෂිත ප්‍රතිඵලය තුන්වැනි වතාවටත් නොලැබුනොත් එතැනින් ජීවිතය පටන් ගත යුතුයි.
බොහෝ දෙමව්පියන් සහ දරුවන් මානසික බිඳ වැටිල මෙතැනින් ඔබ්බට ජීවිතයක් නැතැයි යන තරම් සංකුලතාවයන්ට පත් වෙනවා. ඒත් අපි නැවත මෙතැනින්ම නැගී සිටිය යුතුය යන සිතුවිල්ල ඇති කර ගැනීමට වෙහෙසෙන්නෙත් නැහැ. ඒත් එය ඉතාම වැරැදි සහ අනුවණ ක්‍රියාවක්.
ඒ නිසා උසස් පෙළ කඩඉමේදී යම් පසුබෑමක් තිබුනොත් එතැනින් සියල්ල අවසාන නැහැ. දරුවන්ට ඔවුන්ගේ කැමැත්තට අනුව වෙනත් විකල්පයක් වෙත යොමු වෙන්න පුලුවනි. නොලැබුන දෙය හොඳම දෙය යැයි නොසිතා ජීවිතය ජය ගැනීමට හැකියාව ඇති මාර්ගයක් වෙත යොමු වීම වඩාත් සුදුසුයි. සෝද සෝද මඩේ දානවා වගේ පෙර වැරැදි දැන් අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය වෙන්නේ විශ්ව විද්‍යාලයට තේරීමේදී දැනෙන අවදානමක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් යොමු විය යුතු මගක් තෝරා ගෙන ඒ අනුව කටයුතු කිරීම මිස තව තවත් ලතැවෙමින් කාලය ගෙවීම නොවේ.