- Advertisement -

ඔබත් කැමතිද මේ පුංචි බලු සුරතලා ගැන දැනගන්න

-

අද වෙනකොට හැම ගෙදරකම පාහේ සුරතලෙක් ඇති කරනවා. ඒ හුරතලේට, ආරක්ෂාවට, උදව්වට වගේම ඉව ප‍්‍රයෝජනයට වගේ විවිධ හේතු නිසා. ඒ වගේම සුනඛ වර්ග අතර ඉහත එක් එක් හේතුවලටම ගැලපෙන සුනඛ විශේෂත් ලෝකයේ හඳුනාගන්න පුළුවන්. කොහොම වුණත් සුරතලේට ඇති කරන සුනඛයා ආරක්‍ෂාව වෙනුවෙන් සුදුසු නොවෙනන්නත් පුළුවන්. සමහර විට ඒ දෙකටම ගැලපෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසාම අවශ්‍යතාවය මත කැමති සුනඛයෙක් තෝරාගන්න කොයි කාටත් අවස්ථාව තියෙනවා.

ඔන්න ඉතිං අපි මේ කියන්න යන්නේ හුරතලේට ඇති කරන්න පුළුවන් පග් කියන සුනඛ වර්ගය ගැන.

- Advertisement -

pug_dog

පග් (PUG) කියන්නේ රැලි වැටුණු පුංචි හොම්බක් තියෙන, පලල් මුහුණකින් යුතු හොම්බ මුහුණට තැලී ගොස් ඇති ලෙසින් දිස්වෙන පුංචි ඇඟක් තියෙන දැක්කම හුරතල් පාට, ඇත්තටම හුරතල් සුනඛයෙක්. ඒ වගේම මෙයාලා හරිම ආඩම්බර පාටයි. ඒ පග් සුනඛ වර්ගය රාජකීය පවුල් එක්ක හැදී වැඩුණු සුනඛ වර්ගයක් නිසා වෙන්නත් පුළුවන්.

 

පග් සුනඛ වර්ගයේ අතීතය…

පග් කියන මේ හුරබුහුටි හුරතල් සුනඛ වර්ගයේ මුතුන් මිත්තෝ, දහසය වෙනි සියවසට පෙර සහ දහසය වන සියවසේ දි චීනයේ රාජකීය පවුල්වල සුරතලුන් විදියට ඉඳලා තියෙනවා. චීනයේ මින්ග් රාජවංශය කාලයේ තමයි පග් සුනඛ වර්ගය වැඩි වශයෙන් ඇති කළා කියලා සඳහන් වෙන්නේත්. ඉතින් රජ පවුලේ අය විශේෂ අවස්ථාවන්වලදි විශේෂ අයට මේ පග් සුනඛයන්ව තෑගි දුන්නා කියල ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා ඒ කාලේ විදිහට පග් සුනඛයෙක් තෑගි ලැබෙන එක ඉතාමත් විශේෂ දෙයක් විදිහට චීන සමාජයේ අය සළකලා තියෙනවා.

මෙයාට පග් කියන නමට අමතරව තවත් නම් කිහිපයක්ම තියෙනවා. චීන පග් (Chinese pug) ලන්දේසි බුල්ඩෝග් (Dutch bulldog) ලන්දේසි මස්ටීෆ් (Dutch mastiff) මිනි මස්ටිෆ් (Mini mastiff) සහ මොප්ස් (Mops) කියලත් මෙයාලව හදුන්වනවා. එහෙම එක එක නම්වලින් හඳුන්වන මෙයා ටිබෙටියන් මස්ටිෆ් (Tibetan Mastiff) කියන සුනඛ විශේෂයෙන් පැවත එනවා කියලත් කියනවා. ඒ වගේම මේ වගේ හොම්බ තැලුණු පුංචි සුනඛ වර්ග තුනක එකතුවක් කියලත් සමහරු කියනවා.

ඒ වංශ තුන විදිහටත් විවිධ වූ සුනඛ වර්ග සඳහන් කරනවා. ඒ අතර ටිබෙටියන් මස්ටිෆ් (Tibetan Mastiff) එල්. ඕ.සී (LOSZE) සහ පෙකින්ගීස් (Pekingese) කියන වර්ගය අනෙක් අතින් සිංහ බල්ලන් එහෙමත් නැත්නම් චොව් චොව් (Chow Chow) කියන සුනඛ වර්ගය සහ පෙකින්ගීස් (Pekingese) වර්ගයත් එල් ඕ සී (LOSZE) කියන සුනඛ වර්ගයත් සමග මුහුන් කරල පග් සුනඛයන් බිහිවුණා කියලත් කියවෙනවා.

චීනේ රජ පවුල්වල ඉඳන් මෙයා කෙමි කෙමින් ටිබෙට් බෞද්ධ පුජකවරුන් එහෙමත් නැත්නම් ටිබෙට් සංඝයා වහන්සේ අතර හැදී වැඩුණු බවත් සඳහන් වෙන්වා. ඊට පස්සේ දහසය දහහත ශතවර්ශවල තැඹිලි පාට නෙදර්ලන්ත පාලන සමයේ ඉදන් ස්පාඥය සහ ප‍්‍රංශයෙත් පග්ලා ඇති කළ බවයි කියවෙන්නේ.

එංගලන්ත වික්ටෝරියා රැජින පග් සුනඛයින් කිහිප දෙනෙක්ම ඇති කළ බවත් කෙනල් ක්ලබ් නම් සුනඛයින් මුහුන් කිරීමේ සහ සංදර්ශන පැවැත්වීමේ සංවිධානය බිහිකරන්න රැජිනගේ මේ ප‍්‍රියතාවය මුල් වුණ බවත් කියවෙනවා.

වික්ටෝරියා රැජිනගෙන් පසු පග් සුනඛයින් පස්වන ජොර්ජ් රජුත්, පේ‍්‍රමය නිසා රජකම අත්හල අට වෙනි එඩ්වර්ඩ් රජු දක්වා එංගලන්ත රාජකීයන් සමග හැදී වැඞී තියෙනවා. කොහොම හරි ඔහොම ඔහොම ගිහින් පග් ඇමරිකාවට යන්නේ දහ නව වන ශතවර්ශයේදී.

ඇමරිකානු බලු කූඩු සංගමය එහෙමත් නැත්නම් ඇමරිකානු කෙනෙල් ක්ලබ් එකෙන් පග්ලව හඳුන ගන්නේ එක්දහස් අටසීය අසූ පහේදි. එක්දහස් නවසීය තිස් එකේදීත් පග් ඩෝග් ක්ල්බ් නමින් පග් සුනඛයින් සඳහාම සංගමයක් පිහිටවනවා ඇමරිකාවේ. ඊට පස්සේ ගොඩක් අය පග් සුනඛයන්ව හඳුනගත්තේ ඇමරිකානු සුනඛ විශේෂයක් විදිහට.

1981 වර්ෂයේදි වෙස්ට් මිනිස්ටර්, කෙනල් සංගමය මගින් පවත්වපු සුනඛ සංදර්ශනයෙන් පග් කෙනෙක් ජයග‍්‍රහණය කරලා තියෙනවා. ඊට අමතරව ලෝක ශූරතා සුනඛ සංදර්ශනයට පග් සුනඛයන් ඉදිරිපත් වෙන්නේ 1877 සිට වුණත් ලොව හොඳම සුනඛයා හැටියට පග් සුනඛයෙක් තේරිලා තියෙන්නේ 2004 වර්ෂයේදි බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වුණු ලෝක සුනඛ සංදර්ශනයේදි පමණයි.

පග් සුනඛයෙක් ඔබේ සුරතලා ලෙස තෝරාගන්නේ නම්…

ඉතිහාසය එහෙම වෙද්දි පග් බල්ලන් පෙර කියූ පරිදිම සෙල්ලක්කාර හුරතල් සුනඛ විශේෂයක් කියන තැන ඉඳන් ආයෙමත් වර්තමානයට ආවහම පග් සුනඛයෙක් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඇති කළොත් අවුරුදු 12 ත් පහලොවත් අතර කාලයක් ජීවත් වෙන සුනඛ වර්ගයක් කියලා සඳහන් කළ යුතුමයි.

පොඩි කාලේ ඉඳන්ම සෙල්ලම් කරන්න ආස පවුලේ අය එක්ක හුරතල් වෙන්න ප‍්‍රිය කරන සුනඛ විශේෂයක් නිසා මුලින්ම නැත්නම් හාහාපුරා කියලා බල්ලෙක් ඇති කරන්න හිතන් ඉන්න කෙනෙක්ට ඔන්න බය නැතුව ඇති කරන්න කියලා නිර්දේශ කරන්න පුළුවන් බල්ලෙක් තමයි පග් කියන්නේ.

යුරෝපීය රටවල නම් දරුවෙක් ඉපදෙන කොට පග් සුනඛයෙක්වත් අරන් හදාගෙන පුංචි දරුවත් එක්කම පග්ව ලොකු මහත් කරන්න සමහරු පුරුදු වෙලා ඉන්නවා. ඒ පග් බල්ලන් පුංචි දරුවන්ට තියෙන දැඩි කැමැත්ත නිසා.

පග්ලා කුඩා දරුවන්ට ඉතාමත් ප‍්‍රිය කරන නිසාම තමයි යුරෝපා රටවල කුඩා දරුවන් සිටින නිවෙස්වල සුරතලා හැටියට පග් සුනඛයා තෝරා ගැනීම ඉතාමත් ඉහළ ගොස් තිබෙන්නේ.

කොහොම වුණත් සෙල්ලක්කාර නිසා පුංචි කාලේ ඉඳන්ම අනිත් බල්ලන්ට වඩා හපන්න, ගොරවන්න, පනින්න හොඳටම දඟ කරන්න බලනවා මේ පග්ලා. ඒ නිසා මෙයාලව හොඳට පුහුණු කරන්න ඕනේ. පග් පැටව් තමන් ආදරේ කරන කෙනා ලඟට වෙලා නිදාගන්න ඉතාමත් ප‍්‍රිය කරනවා. ඒ වගේම ඒ කාලේ මෙයාලගේ සෙල්ලම් දිහා බලන් හිටියොත් අනුන්ගේ බල්ලෙක් වුණත් අරන් ගිහින් ගෙදර තියන් හදන්න හිතෙන තරම් පග් පැටවු හරි හුරතල් වගේම දඟයි.

pug-sleeping

ටිකක් විතර ආරක්ෂාවට හොඳ වුණත් මෙයා හුරතල් බල්ලෙක් විදිහට තමයි ඉතාමත්ම හොඳ. නිවසට එන අමුත්තෙක්ට දකින මුල්වතාවේදි ටිකක් බිරුවත් ඕනම අමුත්තෙක් එක්ක ඉක්මනින්ම මිත‍්‍ර වෙන්න පග්ලට පුළුවන්. ඒ නිසා පග්ලව ආරක්ෂාවට නම් කිසිසේත් නොගැලපෙන සුනඛ විශේෂයක්.

පග්ලට දෙයක් එකපාර තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා මෙයාලව පුහුණු කරද්දි ටිකක් ඉවසීමෙන් පුහුණු කරන්න වෙනවා. ගැහැනු සහ පිරිමි සතුන් දෙගොල්ලොම කිලෝ දහයකට අඩු බරක් මිසක් බර වැඩි වෙන්නේ නෑ. ඒ නිසා මෙයාලව පුංචි දරුවෙක්ට පවා අත් දෙකෙන් වඩා ගන්න පුළුවන්.

පිරිමි සතෙක් අඟල් 12 ත් 14 ත් ප‍්‍රමාණයකට උස යනවා. ගැහැනු සතෙක් අඟල් 10 ත් 12 ත් අතර උසක් ගන්නවා. ක‍්‍රීම් පාටට හුරු ලා දුඹුරු පාටින් තමයි වැඩිපුරම පග්ලා දැකගන්න පුළුවන් වුණත් තනි කළු පග්ලත් ඉන්නවා. මෙයාලගේ හොම්බ නම් කොහොමත් කළු පාටයි. ඒ වගේම ක‍්‍රීම් පාට පග්ලගේ කන් දෙකේ අගිස්සත් කළුයි. කළු පාට පග්ගේ ඉතින් කොහොමත් හැමදේම කළුයි නේ.

පග් සුනඛයන්ගේ සෞඛ්‍ය….

ඒ තරම් ලෝම නැතිවුනත් මෙයා සීත දේශගුණයට තමයි වැඩියෙන්ම ඔරොත්තු දෙන්නේ. මේ පග් විශේෂයේ සුනඛයින්ට වැඩියෙන්ම හැදෙන ලෙඬේ තමයි හෙම්බිරිස්සාව. ඊට අමතරව විවිධ සමේ ආසාත්මිකතා ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

විශේෂයෙන්ම පග් සුනඛයින්ටම විශේෂිත මොළයේ රෝගයකුත් වැළදෙනවා. ඒ නිසා පග් සුනඛයෙක් හුරතලේට හදනවා නම් ඒ තත්ත්වයන් පිළිබඳව හොඳින් සැලකිලිමත් වෙන්න වෙනවා.

ඒ විතරක් නෙවෙයි, පග් සුනඛයෙක් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතු නම් ආහාර ගැන සැලකිලිමත් වෙන්නත් වෙනවා. ඒ වගේම පග් සුනඛයෙක්  ඕනවට වඩා මහතින් වැඩි වුණොත් සෞඛ්‍ය ගැටලු ඇති වීමේ ප‍්‍රවණතාවය වැඩියි.

පග් සුනඛයාගේ පැටවුන් බෝ කරනවා නම්…

පග් ගැහැනු සතුන්ට ස්භාවිකව පැටවුන් බිහිකිරීමට අපහසු අවස්ථා තමයි වැඩියෙන් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඒ හේතුවෙන් වැඩියෙන්ම පග් පැටවුන්ව සිසේරියන් සැත්කම් මගින් තමයි බිහිකරලා තියෙන්නේ. ඒ නිසා ඔබ පග් ගැහැනු සතෙකු ඇති කරන්න හිතනවා නම් ඇයගෙන් පැටවු ලබාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැනත් සැලකිල්ලෙන් සිටිය යුතු වෙනවා. එහෙම නැත්නම් අලුතින් පග් පැටවු කෙසේ වෙතත් ඔබට ඔබේ පග් සුරතලා ද නැතිව යන්න පුළුවන්.

හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පග් සුනඛයෙක් ඇති කරන්නේ නම් ඒ පග් සුනඛයා වසර 12 ත් පහළොවත් අතර කාලයක් ජීවත් වේවි. ඒ වගේම ඔබට ඉතාමත් හොඳ, කීකරු, සුන්දර, හුරතල්, දඟ ඔබත් ගොඩක් ආදරේ කරන ඔබටත් ගොඩක් ආදරේ ලැබෙන හුතරලෙක් ලැබේවි.

– සුනෙත් වෙඩිවර්ධන විසින් සකසන ලද ලිපියකි –

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article