නවනාදන් රාමරාජ් යටිනුවර වීදියේ රන් ආලේප කර්මාන්තයක නියැලී සිටියේය. පවුලක් වුනොත් එක්ව ජීවත්වීම වඩාත් සැපතක් වුනත් ආර්ථික ප්‍රශ්න නිසා මහනුවර වැනි ප්‍රදේශයක මේ සියලු දෙනාට එකම වහලක් සොයා ගැනීමේ ගැටලු තිබුන නිසාවෙන් ඔවුන්ට මෙසේ විතැන්ව ජීවත්වීමට සිදු විය.
එහෙත්… කුඩා පුතුන් තිදෙනාත් තරුණ බිරිඳ රාදිකාත් දුර බැහැර සිටීම ඔහුගේ හිතේ කනස්සල්ලට හේතුව බව දැනගත් සේවය කළ ආයතනයේ අධිපතිතුමා සිවුමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක දරුවන් සමග ගත කිරීමට අවසර දුන්නෙන් නවනාදන් රාමරාජ් බෙහෙවින් සතුටට පත් වූයේය. මේ වෙන විට ලොකු පුතා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ අතර නවනාදන් මහනුවර විවේකානන්ද පාසලේ විදුහල්පතිතුමා මුණ ගැසී ලොකු පුතා එම පාසලට ඇතුලත් කිරීමට අවශ්‍ය විධිවිධාන පවා සලසා ගත්තේය.
සිද්ධිය වුන දිනට පෙරදා නවනාදන් ත්‍රිරෝද රථයෙන් බන්ඩාරවෙල බලා ගොස් පුතුගේ අස්වීමේ සහතිකයත් ලබා ගත්තේය. එතැනින් නැවත මහනුවර පැමිනියේ දරු තිදෙනා සහ බිරින්දෑත් සමගයි. මහනුවරට පැමිනෙන විට රාත්‍රි එක පමණ වී තිබුනි. දරුවන් තුන්දෙනාම නින්දේය. මේ වෙන විට අසල වූ “චම්පා ස්ටෝර්ස්” ආයතනයේ ආරක්ෂක නිළධාරී ( ඔහු අන්කල් යැයි අමතන ) හමු වී “අන්කල් පුතාලට නින්ද ගිහිං … මම හෙට උදෙන්ම අයින් කරනකම් වීල් එක මෙතැන පාක් කරන්නද…?” ඔහුට ඒ වෙනුවෙන් අවසර ලැබුණි.
රාජු සහ බිරිඳ දරුවන්ද වඩා ගෙන ඔවුන්ගේ නවාතැන පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයට යත්ම වීඩියෝ ආයතනයේ කුමාර අයියාද සුව නින්දේ සිටිනු වීදුරුවෙන් දුටුවේය. ඔහු අවදි කිරීමටත් අවශ්‍යතාවයක් නැති නිසා ඔවුන් නිවසන කාමරයට ගොස් දරුවන් ඇඳ තබා මේ දෙන්නා දෙමහල්ලන්ද නින්දට සූදානම් විය.
පසුවදා උදෙන්ම අවදි වී නවත්වා තිබූ වීල් රථය පාක් එකට දැමීමට යන විට මුලින් නිදා සිටි කුමාර අයියා අවදිව එම ගොඩනැගිල්ලෙන් පිටව යෑමට සූදානමින් සිටියේය.
“ආ..රාජු..කීයටද ආවේ… මේ ඔයාට ප්ලේට් කරන්න බඩු වගයක් ගෙනැත් දීලා ගියා..” නවනාදන්ට හැම දෙනාම ආමන්ත්‍රණය කළේ “රාජු” යන කෙටි නමින්ය. ඔහු ඒ බඩුත් රැගෙන වීල් එකත් අදාල තැන නවත්වා නැවත මහල් ගොඩනැගිල්ලට පැමිනෙන විට එහි වූ තවත් ආයතනයක යමෙක් සිටිනු දුටුවේය. කෙසේ හෝ මෙම පුද්ගලයාගේ යම් අමුත්තක් දුටු අතර ඔහු දන්නා හදුනන අයෙක්ද නොවීය.
උඩුමහලට ගිය නවනාදන් ආයතනයේ අයිතිකරුට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ ඔවුන්ගේ ආයතනයේ ආගන්තුකයෙක් සිටින බව දන්වා සිටීමටයි. ඒත් ප්‍රතිචාර ලැබුනේ නැත. ඔහු කුමාර අයියා යැයි ආමන්ත්‍රණය කරන පුද්ගලයා අමතා “කවුදෝ අපේ ගොඩනැගිල්ලේ බියුටි සැලුන් එක ඇතුලේ ඉන්නවා. කඩ ඇරලත් නැහැ. ඉක්මනට එන්න…” යැයි දන්වා සිටියේය. ගමන් මහන්සිය නිසාම නැවතත් ඇදේ ඇලවී බිරිඳ සමග කතා බහ කරමින් සිටියේ දරුවන්ගේ පාසල් ගමන ගැනයි. බිරිඳ උදේ ආහාර පිළියෙල කිරීමට අවදි වීමට සූදානම් වුනත් “ටිකක් ඉන්න ඔයාටත් මහන්සි ඇති.. පොඩි එවුනුත් තවම නිදි…අ පි හෙමින් මොනවා හරි හදමු..” යැයි කීවේය.
මේ අතර බිරිඳ එක් වරම “මේ ඔයාට සද්දයක් ඇහෙන්නේ නැද්ද….? හරි සද්ද කරන්න එපා… පොඩි අයත් බයවේවි…” ඔහු රාදිකාට කියා ගෙවුනේ සැනකි. විශාල දුමාරයකින් ගොඩනැගිල්ල පිරී ඇත. වහා පැන දරුවන්ද වඩා ගෙන පිටවෙන්නට උත්සාහ කළත් කිසිවක් පෙනේනේ නැත. මහල් නිවාසයෙන් පිටවීමට වෙන දොරටුවක්ද නැත.
දුමේ සැරට ජනේල පිපිරී යද්දී ඔහු දරුවන්ද වඩා ගෙන පාරේ සිටි මිනිසුන්ට ආයාචනා කළේ “අනේ මේ දරුවන් බේරා ගන්න…” යනුවෙනුයි.
එහෙත් ගින්න සමග කිසිවෙකුට ගනුදෙණු කිරීමට නොහැකිය. බලා සිටීමට සහ ජංගම දුරකථනයෙන් විඩියෝ කිරීම වෙනුවට හැම දෙනාම ජාති, කුල ආගම් භේද නොසලකා සැදී පැහැදී සිටියහ. රාජු මෙට්ටය බිමට වීසි කලේ දරුවන් ඒ මතට වීසි කිරීමටයි. ඒත් මෙට්ටය මත අතරමග රැඳී උත්සාහය නිරර්ථක විය. ඔහු වෙනත් රෙදි පෙරදි බිමට දැම්මේය. මේ රෙදි දැලක් සේ එලා දරුවන් ඒ මතට විසි කිරීම ඔහුගේ උත්සාහය විය.
“අනේ තාත්තේ මට බයයි… විසි කරන්න එපා…” දරුවන්ගේ ආයාචනය එයයි. “පුතේ මෙතැන හිටියොත් අපි ඔක්කොම පිච්චලා මැරෙනවා… අතක් කකුලක් කැඩිලා හෝ ඔයාලා ජීවත්වෙන්න ඕන…” මේ අතර බිම සිටින පිරිසෙන් කොටසක් “දරුවන් දාන්න…” යැයි හඩ නගන අතර තවත් අය “එපා… දරුවන් බිමට දාන්න එපා” යැයි හඩ නගන්න වුහ. එහෙත් ගින්නට අනුකම්පාවක් නැත. දුමාරයෙන් පිරී ගොස් දැන් හුස්ම ගැනීමටත් අපහසුය.
ඔහු දෙවැනි දරුවා ගෙන බිමට වීසි කරත්ම ඔහු ඉලක්කයටට නොව එතැන සිටි තරුණයෙක් කෙසේ හෝ රඳවා ගැනීමට තරම් දරුවාගේ ජීවත්වීමේ වාසනාව ඉදිරියට පැමිණ ඇත. දැන් ඉතිරි දරුවන්ද විසි කලේ කිසිම තුවාලයක් හෝ සිදු නොවන තරම් ආශිර්වාදයෙන්ය. එක් දරුවෙක්ගේ පමණක් ඇස ළග පුංචි තුවාලයක් සිදු විය.
හාස්කමක මහිමයෙන් දරුවන් තුන්දෙනාම දැන් බේරී සිටිති. “රාදිකා අපි දැන් මැරැණත් කමක් නැහැ. දරුවන් ජීවත්වේවි…”
“එතකොට මේ අස්විමේ ලිපි ලේඛන…” රාදිකාගේ ගැටළුව එයයි. සියල්ල දැවී යද්දී තමන්ගේ ජීවිතය කොයි මොහොතකදීත් නොදැන තිබියදී ඇයට මේ ලිපිලේඛන සිහියට නැගුනේ ඔවුන් දරුවන් මුල් කර ගෙන මොනතරම් බලාපොරොත්තු තබා සිටියේද යන වග ඔබට සිතාගැනීමට පුලුවනි.
රාජු වීදුරුවක් කඩා තුන්වැනි මහලට ඇතුලු විය. “මම පනින්නද…?” රාදිකා අසත්ම “එපා…ටිකක් ඉවසන්න.. දැන් කකුල ඉස්සර වෙලා දාන්න…” රාජු තුන්වැනි මහලේ බාල්කයක එල්ලී රාදිකා අල්ලා ගත්තේය. මේ වෙන විට ඔහුගේ අත වීදුරුවට කැපී ලේ ගලන තුවාලයකි. රාදිකා අල්ලා ගෙන සිටියත් බර සහ තුවාලයේ වේදනාව නිසා ඇය අත හැරී ගොස් කෙසේ හෝ පහළ සිටි පිරිස විසින් රැක ගෙන ඇත.
දැන් රාජු පමනක් මහල් නිවාසයේ ඉතිරිව සිටී. ඔහු කෙසේ හෝ මහලින් මහල වීදුරු කඩා ගෙන බිමිට පැමිණ ඇතැත් ඒ ගැන පැහැදිලි මතකයක් ඔහුට නැත.
තවත් වාසනාවන්ත කරුණක් ඇත. පුංචි දරුවන්ටවත්, බිරිඳට හෝ කිසිදු පසු කම්පනයක් නැත.
“මහනුවර ඉන්නේ ඇත්තටම දෙවිවරු… මගේ පවුල ආරක්ෂා කර ගත්තා…මට එකක් සහතිකයි. අපි නැතැත් අපේ දරුපැටවුන්ට මහනුවර හැම දෙනාම දෙමව්පියෝ…” ඉවසීම, තැනට ගැලපෙන නුවණ සහ පවුලට තිබුන බැඳීමෙන් රාජු පමණක් නොව පවුලම නැවත එක් තැනක ජීවත්වීමට වාසනාව ලබා ඇත.