- Advertisement -

ආයුර්වේද ප්‍රතිකාර එක්ක හැමදාටම හැඩට ඉන්න ඔබත් කැමතිද?

-

අපි හැමෝම කැමතියි අපේ රූපය ලස්සනට පවත්වාගෙන යන්න. ඒ වෙනුවෙන් අද නොකරන දෙයක් නැති තරම්. ඈත අතීතයේ පටන් විශේෂයෙන් කාන්තා පාර්ශ්වය බාහිර අලංකරණය සඳහා විවිධ ක‍්‍රමෝපායන් භාවිත කර තිබෙනවා. උදාහරණයක් ලෙස කුංකුම, චන්දන ආදී ඖෂධ ද්‍රව්‍ය ඇඟ ගැල්වීම, ධූම වර්ග භාවිතය, ඖෂධීය ජල ස්නානය, වර්ණකාරක ලේප ආලේප යනාදිය ඒ අතරට අයත් වෙනවා. ඒත් අද වන විට බාහිර අලංකරණය වැඩි දියුණු කිරීමට ශරීරයට හානිකර වූ කෘතිම රසායනික ද්‍රව්‍ය අඩංගු ක‍්‍රම භාවිතයට යොමු වීම නම් කණගාටුවට කරුණක්. එය තමන්ගේ ස්වභාවික අලංකාරයට හානි කරනවා විතරක් නෙවෙයි වෙනත් භයානක රෝග තත්ත්වවලටත් අත වැනීමක්. ඒ නිසා නිවැරදි ආයුර්වේද රූපලාවන්‍ය ක‍්‍රම තුළින් ස්වභාවික අලංකාරය ඔප්නැංවීට හැකි කෙසේද යන්න ගැන පැහැදිලි කිරීම අද වන විට අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වෙලා.

වර්තමානයේ බහුලව පවතින රූපලාවන්‍ය ගැටලු

  • සම දුර්වර්ණ වීම
  • ඇස් යට කළු වීම
  • කුරුලෑ / ඇතිවීම
  • ලප කැලල්
  • සම රැලි වැටීම
  • අකලට හිසකෙස් ගැලවීම හා සුදුවීම
  • ඉන්නන්
මොකක්ද මේ ආයුර්වේද රූපලාවන්‍ය

ආයුර්වේද ශාස්ත‍්‍රය තුළ රූපලාවන්‍ය ප‍්‍රතිකාර ලෙස හඳුන්වන්නේ හුදෙක් ඖෂධ මිශ‍්‍රණයක් මුහුණේ හෝ ශරීරයේ ආලේප කිරීම පමණක් නොවේ. එය කායික, මානසික සමබරතාවය ඇති කරමින් සිදු කරනු ලබන ඉතා පුළුල් වූ චිකිත්සා ක‍්‍රමයක්. ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ගත කරුණුවලට අනුව පුද්ගල අලංකාරය වර්ධනය ප‍්‍රධාන කරුණු 03 ක් අරමුණු කරගෙන සිදු කරනවා.

- Advertisement -
  • රූපම් – පුද්ගල බාහිර අලංකරණය වර්ධනය කිරීම
  • ගුණම් – පුද්ගල අභ්‍යන්තර අලංකරණය වර්ධනය කිරීම
  • වයස්න්‍යාග – වයසට යෑම පාලනය කිරීම (රසායනය) වේ
රූපම් / බාහිර අලංකරණය වර්ධනය කිරීම

බාහිර අලංකරණය වර්ධනය සිදුවන්නේ මනා නිරෝගීතාවක් පවත්වා ගැනීම තුළිනුයි. ආයුර්වේද ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයක් වන සුශ‍්‍රැත සංහිතාවට අනුව සම ස්ථර 7 කින් සමන්විත වේ. අප ශරීර අභ්‍යන්තරයේ දෝෂ අසමතුලිත වීම මගින් එම ස්ථර 07 සමග විවිධ අයුරින් ප‍්‍රතික‍්‍රියා කරන අතර එය විවිධ සම ආශ‍්‍රිත ගැටලු ඇති කිරීමට හේතු වෙනවා. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේදී රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා හා ශුක‍්‍ර ලෙසට ධාතු 07 ක් පිළිබඳ කියවෙනවා. ස්ථර 07 කින් යුත් සම පෝෂණය ලබන්නේ මාංශ ධාතුවෙන් (Muscle Tissue), මාංශ ධාතුව පෝෂණය ලබන්නේ රක්ත ධාතුව මගින් ඒ කියන්නේ රුධිරයෙන්. රක්ත ධාතු පෝෂණය ලබන්නේ ඊට පෙර ධාතුව වන රස ධාතුව මගින් (Plasma Tissue). එම කරුණු සලකා බලන විට නිරෝගී දීප්තිමත් දිදුලන සමක් ලබාගැනීමට අවශ්‍ය වන්නේ බාහිරින් ආලේප කරන කෘතිම රසායනික ද්‍රව්‍ය අඩංගු ක‍්‍රීම් වර්ග භාවිතය නොවේ. අප කළ යුත්තේ හොඳ තත්ත්වයකින් යුත් රස හා රක්ත ධාතූන් පවත්වා ගැනීමයි.

ඒ සඳහා,

  • නිවැරදි ආහාර රටාවක් පවත්වා ගැනීම
  • ශරීරයේ අග්නිය නිවැරදිව පවත්වා ගැනීම තුළින් ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය නිවැරදිව පවත්වා ගැනීම
  • පුද්ගල ජීවන රටාව නිවැරදිව පවත්වා ගැනීම

නිවැරදි ආහාර රටාවක් පවත්වා ගැනීමෙන් එම ආහාර හොඳින් ජීර්ණය කර පෝෂ්‍ය කොටස් හොඳින් අවශෝෂණය කර පරිතාන වන රස හා රක්ත ධාතු මගින් සම පෝෂණය කර නිරෝගීව දිදුලන සමක් ලබාගත හැකිවනවා. වර්තමානයේ බොහෝමයක් අපේ ආහාර වර්ග සෝඩා, විනාකිරි, චට්නි, ආදිය දැමූ ආහාර ලබාගැනීම වැඩි නැඹුරුයක් පවතින බැවින් අනෙක් රෝග මෙන්ම සම ආශ‍්‍රිත රෝගද බහුලව පවතිනවා.

ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත රූපලාවන්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණුන විටදී ප‍්‍රධානව ආහාර රටාව පිළිබඳ මෙන්ම රෝගියාගේ අග්නිය හෙවත් ආහාර ජීර්ණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. මෙහිදී එය වර්ධනය කිරීම සඳහා අභ්‍යන්තර චිකිත්සා පද්ධතියක් යෙදීමට සිදුවනවා. එමෙන්ම ආහාර ගත් විගස ශීත ජල පානය, ශීත අතුරු පස ආහාරයට ගැනීම නොකළ යුතු වන්නේ එමගින් ආහාර ජීර්ණය අඩු වන නිසයි.

පුද්ගල ජීවන රටාව සැලකිල්ලට ගත් විට වර්තමානය වන විට ඉතාමත් කාර්යබහුල සමාජයක් තමයි අපට තියෙන්නේ. නිසිලෙස ආහාර ගැනීමටවත් කාලයක් නොමැති තරම්. මේ හේතුවෙන් කුපිත වන දෝෂ හේතුවෙන් චර්මාශ්‍රිත ගැටලු ඇති වේ. ඒ සඳහා පහත උපදෙස් වැදගත් වේ යැයි සිතනවා.

උපදෙස් :

  • ප‍්‍රධාන ආහාර වේල් සඳහා මනා පෝෂණ ගුණයෙන් සපිරි ආහාර ලබාගැනීම
  • රාත‍්‍රී ආහාරය රාත‍්‍රී නින්දට පැය 2-3 කට පෙර ගැනීම හා ඉතා සැහැල්ලු ආහාරයක් ලබාගැනීම
  • රාත‍්‍රී නින්දට පෙර උණුසුම් වතුරෙන් ඇඟ සේදීම
  • ඉරමුසු, බෙලිමල් වැනි ඖෂධීය පානයක් පානය කර නින්දට යාම
  • නිදන කාමරය සුවදායක, මානසික විවේකය ඇති කරන තැනක් ලෙස පිළිසකර කිරීම
  • හැකි සෑම දිනම උදේ ශරීරයේ තල තෙල් අඟනාග කර පැය 2 පමණ සිට ශරීරය සේදීම
  • තෙල්, මිරිස් අධික ලෙස ආහාරයට නොගැනීම
  • උෂ්ණ ආහාර, අච්චාරු, සෝස් වර්ග ආදිය නිතර ආහාරයට නොගැනීම
  • මාස 3 කට වරක් හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවී විරේක ඖෂධ ලබාගැනීම
  • හොඳින් ජල පානය (සෑම ආහාර වේලකටම පසු උණු වතුර ස්වල්පයක් පානය)
රූපලාවන්‍ය ගැටලුවලදී ආයුර්වේද චිකිත්සාව සිදුකරන අයුරු

සෑම පුද්ගලයකුටම එකම චිකිත්සා ක‍්‍රමයක් යෙදීම සුදුසු නොවේ. මෙහිදී රෝගී තත්ත්වයට අනුව රෝගී පුද්ගලයාට අනුව චිකිත්සාව පෙළ ගැස්විය යුතුය.

  • රෝගියා පරීක්‍ෂා කර බලා ශරීර අභ්‍යන්තරයට ඖෂධ යෙදීම
  • රක්තය පිරිසිදු කිරීමට
  • අග්නිය වර්ධනයට
  • රෝගී තත්ත්වය අදාල රෝග කාරක ඉවත් කිරීමට
  • බාහිර හානිකර ලෙස රෝගයට හා රෝගියාට අනුව
  • ඖෂධ ආලේපන වර්ග යෙදීම
  • ධූම වර්ග යෙදීම
  • අවගාහ
  • පරිශේක (ඖෂධීය ක්‍ෂාය වර්ග මුහුණට ඉසීම)
  • අවශ්‍ය විට නස්න කර්ම හා රක්ත මෝක්‍ෂණ , අග්නිකර්ම වැනි ප‍්‍රතිකාර යෙදීම

Ayurveda-treatment

ගුණම් /පුද්ගල අභ්‍යන්තර අලංකරණය වර්ධනය

නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ රූපලාවන්‍ය සායනය වෙත යොමුවන රෝගීන් පිළිබඳ අවධානය යොමු කළ විට පෙනී ගිය කරුණක් වන්නේ බාහිර අලංකරණය කොපමණ වර්ධනය කළද එම පුද්ගලයා මානසික ආතතිය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි ගති ලක්‍ෂණවලින් යුක්ත නම් ප‍්‍රතිකාරවලින් රෝගය සුවපත් වුවද නැවත ඇති විය හැකි බවයි. එබැවින් සාර්ථක ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා කායිකව පමණක් නොව මානසිකවද නිරෝගී විය යුතු වේ.

ඒ සඳහා,

  • භාවනා ක‍්‍රමවල යෙදීම
  • මනෝ උපදේශන
  • ශිරෝ පිචු ශිරෝ අභ්‍යන්ග , ශිරෝ ධාරා වැනි ප‍්‍රතිකාර ක‍්‍රමද වැදගත් වේ
වයස්ථාපනම් – වයසට යෑම පාලනය කිරීම

වයසට යෑම පාලනය කිරීම සඳහා ආයුර්වේද ශාස්ත‍්‍රය තුළ අඩංගු වූ වෙනම චිකිත්සා ක‍්‍රමවේදයක් තමයි රසායන චිකිත්සා සායනයට යොමුවන රෝගීන් අතර වර්තමානයේ තරුණ පරපුරේද සම රැලි වැටීම, වියළි යාම, වියපත් ලක්‍ෂණ බහුලව දක්නට ලැබේ. ඒ සඳහා චිකිත්සක පද්ධතියක් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ලබාගත යුතු වෙනවා. මෙබදු වූ ඉතා පුළුල් චිකිත්සා ක‍්‍රමයක් තමයි රූපලාවන්‍ය චිකිත්සාව කියන්නේ. එය ආයුර්වේද යම් නම් දැරූ ඖෂධීය චූර්ණ ඇඳ ගැල්වීමක් මගින් පමණක් හෝ ක‍්‍රීම් වර්ග ආලේපය පමණක් මගින් රූපලාවන්‍ය ගැටලුවලට විසදුම් සෙවීම සුදුසු වන්නේ නෑ. ඊට වඩාත්ම සුදුසු වන්නේ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමු වී අවශ්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර ලබාගැනීමයි.

 

Dr. Hansani

ආයුර්වේද වෛද්‍ය හංසනී සෝමවීර
බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනය,
නාවින්න

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article