ඉගෙන ගනිමින් වැඩ කරමු

classroom

දරුවෙක් පාසලට ඇතුලු කිරීමෙන් දෙමව්පියන් බලාපොරොත්තු වන්නේ පොත පත දැනුම ලබා දීම පමණයි. ඒත් පාසලෙන් මග දකින හොඳම දරුවා බවට ඔබේ දරුවා පත් කිරීමට අපේක්ෂාවක් තිබෙනවා නම් පංති මට්ටමින් සිදු වෙන මෙවැනි කටයුතු වෙනුවෙන් ඔබේ දරුවාගේ සම්බන්ධ වීමට නොපැකිලව ඉඩ දෙන්න. ඒත් අද දෙමව්පියන් බාහිර ක්‍රියාකාරකම් සහ පාසලෙන් සිදු වෙන ව්‍යාප්ත සේවාවන්ට දරුවන් සම්බන්ධ කිරීමට දක්වන්නේ පුදුමාකාර මැලි කමක්. ඒත් අධ්‍යාපනයේ පවතින “ඉගෙන ගනිමින් වැඩ කිරීම” සංකල්පයට අනුව දරුවා පහත දක්වන කටයුතු වෙනුවෙන් සම්බන්ධ කිරීම ඉතාම වැදගත්. ඒ වගේම මෙවැනි කටයුතු වලින් දරුවාගේ පෞරෂය වැඩි දියුණු වෙන නිසා ඔහු කවදා හෝ දිනක “පාසලෙන් මග දකින හොඳම දරුවා” බවට කිසිම අපහසුවක් නැතුව පත් වේවි.

පිළිවෙල

දැන් ඔන්න අලුත් පංතියක්. අලුත් පංතිය ලස්සනට තබා ගැනීමට පංති භාර ගුරුතුමිය දරුවන්ට වගකීම පැවරුවාම එය ඔවුන් ඉතාම සතුටින් භාර ගනීවි. මේ සඳහා එක් එක් දරුවාට යම් යම් වගකීම් පැවැරෙන්න පුලුවනි. ඒ නිසා ඔබේ දරුවාට සමහර විට කාලසටහනක් පිළියෙල කරන්න, පංතියේ අතුගාන ලැයිස්තුව නිර්මානශීලීව  සකස් කරන්න, එහෙමත්  නැත්නම් ගුරු මේසයට මල් ටිකක් අරගෙන එන්න පුංචි වැඩ කොටසක් පැවරේවි. එක් පංතියක දැරියක් මල් පෝච්චියට මල් අරගෙන එන වගකීමෙන් මිදී ඒ වෙනුවෙන් නිදහසට කරුණු කිව්වේ මෙහෙමයි.

“අපේ අම්මා කිව්වා අපේ ගෙදර මල් නැහැ කියන්න කියලා…” ඒ සමග තවත් දැරියක් නැගිට කිව්වේ “ටීචර් මෙයා කියන්නේ බොරු…. එයාලගේ ගෙදර මල් ගොඩාක් තිබෙනවා…” දැරිය නිරුත්තර වුනා. ඒත් අම්මාට මල් මිටක් එවන්න බැරි කමක් තිබුනේ නැහැ. මේ වගේ දරුවන්ට පවරන වගකීම් දෙමව්පියන් මැදිහත් වෙලා ඒවා කඩා විසුරුවා දැමීම එතරම් සුදුසු දෙයක් නම් නොවෙයි.

චාරිකා

පංතියෙන් යම් තැනක චාරිකාවක් යන විට ඇතැම් දෙමව්පියන් ඒවා වලක්වන්නේ “අපි ගෙදර අයත් එක්ක යමු…” යන තීරණය අනුවයි. ඒත් නිවසේ අය සමග චාරිකා යනවාට වඩා පංතියේ සම වයස් කන්ඩායම් සමග යන විට ඇති වෙන වටිනාකම් වෙනස්. යම් තැනක ඓතිහාසික වටිනාකම් ගැන පා‍සලක අධ්‍යාපන චාරිකාවකින් වැඩි ප්‍රයෝජනය ලබා ගත හැකි අන්දමට ඒවා සැලසුම් වෙනවා. මේ වෙනුවෙන් දෙපාර්තමේන්තු මට්ටටමින් ගොඩ නගා ගන්නා සම්බන්ධතාවයන් මත එම ස්ථානයන්හි තොරතුරු දරුවන්ට දැන ගැනීමට ලැබෙනවා. ඒ වගේම නටමින්, ගයමින් යන චාරිකාව බොහොම විනෝදජනකයි. මේ අත්දැකීම් දෙමව්පියන් සමග ගිය විට දරුවන්ට ලබා ගැනීමට කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. අද මුහුණුපොත ඔස්සේ පවා හුවමාරු වෙන කලු සුදු වුනත් 1980 වැනි දශකයේ දරුවන් ( අද වැඩිහිටියන් බවට පත්ව සිටියත් ) ඒවායින් ලබන්නේ අපූරු වින්දනයක්.

සම්මන්ත්‍රණ

අද දරුවන්ගේ ධනාත්මක සිතුවිලි , ඵලදායීතාවය වැඩි දියුණු කිරීම සහ මනෝවිදයාත්මක සංවර්ධනය වෙනුවෙන් විවිධ සම්මන්ත්‍රණ පවත්වනවා. ඒත් දෙමව්පියන්ගේ උනන්දුව තිබෙන්නේ හිස්‍යත්ව හෝ වෙනත් විභාග මුල් කර ගත් උපකාර සම්මන්ත්‍රණ ගැන පමණයි. මේ ආකල්පයෙන් දෙමව්පියන් වන ඔබ මිදීම අත්‍යවශයයි. මෙවැනි සම්මන්ත්‍රණ වෙනුවෙන් පාසලෙන් සහභාගීත්වය ලබා දෙන්නේ ඒ වෙනුවෙන් වූ වටිනාකමක් තිබෙන නිසයි. නමුත් ඔබ එදාට දරුවා නිවසේ රඳවා ගැනීමෙන් ආකල්ප සංවර්ධනය වෙනුවෙන් වටිනා උපදෙස් ලබා ගැනීමට ඇති අවස්ථාව දරුවාට ගිලිහෙන බව දෙමව්පියන් ලෙස ඔබ නොදන්නවා ඇති.

ප්‍රදර්ශන

පාසලේ පවත්වන ප්‍රදර්ශනයක් වැනි කටයුතු වලදී දරුවාගේ නිර්මාණශීලීත්වය අවදි වෙන බව අමතක කරන්න එපා. මේ වෙනුවෙන් යම් උපකරණ ස්වශක්තියෙන් දරුවාගේ ස්වශක්තියෙන් තැනීමට අවස්ථාව ලබා දෙන්න. යම් කෙනෙකුගේ නිර්මාණයක් එහෙම නැත්නම් මුදලට ගත් යමක් ප්‍රදර්ශනය තැබීමට උපදෙස් දීම කිසිදු විටක නොකල යුතු දෙයක්. ඒ වගේම ප්‍රදර්ශනය වෙනුවෙන් ඉවත යන සහ අඩුම මිළකින් නිර්මාණ තැනීම වැදගත් බැව් ඔවුන්ට කියා දෙන්න.

සමාජ කටයුතු

පාසල් මටට්මින් විවිධ සමාජ කටයුතු සහ ආගමික වැඩසටහන් පැවැත්වීම ආකල්ප සංවර්ධනය වෙනුවෙන් වගේම ඉගෙන ගනිමින් වඩ කරන සංකල්පය නොදැනීම ගොඩ නැගෙනු ඇත. පාසලේ ශිල සමාදාන වැඩසටහනක්, දන්සැලක් එසේත් නැත්නම් ශ්‍රමදානයක් තිබෙන දිනක දරුවා නිවසේ රඳවා ගැනීම එතරම් සුදුසු නැහැ.

පුස්තකාල

පාසල් පද්ධතියේදී දරුවන් අඩුවෙන්ම පාවිච්චි කරන්නේ පුස්තකාලයයි. ඒත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී පුස්තකාලය තරම් සමීප සම්පත් මධ්‍යස්ථානයක් තවත් නැහැ. ඒ නිසා දෙමව්පියන් විදිහට පුස්තාකලය පොත් පත් කියවීමෙන් ලැබෙන දැණුම, තොරතුරු සොයා ගෙන ස්වයං ඉගෙනුමට ලැබෙන පිටුවහල ගැන දරුවන් දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඒ නිසා නිතරම ස්වයං ඉගෙනුම වෙනුවෙන් පුස්තකාලය සමග සම්බන්ධ වීමට දරුවා උනන්දු කරන්න.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here