උසස් පාසලකට ගියත්, උසස්ම විදිහට විභාග සමත් වුනත් ඇතැම් දරුවන් සම්මුඛ පරීක්ෂණවලදී ඉතාම අසාර්ථක බව බ්‍රිතාන්‍යෙය් වාණිජ මණ්ඩලය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙනවා. එරට පුද්ගලික සමාගම් ආශ්‍රය කර ගත් මෙම අධ්‍යනය සඳහන් කරන්නේ ඔවුන්ගේ ආයතනයන්හි රැකියා වෙනුවෙන් ඉදිරිපත් වුන අපේක්ෂකයින්ගෙන් 78% ක්ම සම්මුඛ පරීක්ෂණයන්හිදී බෙහෙවින් අසාර්ථක ප්‍රතිචාර දක්වා ඇති බවයි. ඉල්ලුම් කරන සුදුසුකම් උපරිමයටත් ඉහලින් සසපුරා තිබුනත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ඉදිරියේ මෙම තරුණ කණ්ඩායම් සතුටුදායක ප්‍රතිචාර නොදක්වන බව අධ්‍යනයේ ප්‍රධාණී ‘‘ ජෝන් ලෝන්ඩර්න් “ සඳහන් කරනවා. තරුණ වයසේ සිටින මෙම දරුවන්ට සම්මුඛ පරීක්ෂණයන් වෙත සාර්ථකව මුහුණ දීමට නොහැකි වීමට බලපාන හේතු කීපයක් ඇති අතර ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේ යොමු කිරීම බාලේ පටන්ම අවශ්‍ය බැව් අමතක නොකල යුතුයි.
දරුවන්ගේ හුදෙකලා ජීවිතය
ඉස්සර කාලයේ දරුවන් හැදුනේ වැඩුනේ ලොකු සමාගමකයි. අම්මා , තාත්තා වගේම නැන්දා , මාමා , පුංචි අම්මා, බාප්පා සමගයි. ඒ නිසා ඔවුන්ට ලොකු කණ්ඩායමක් සිටියා. ඒත් අද මේ පවුල විතැන් වෙලා. ඒ නිසා දරුවන්ගේ සාජයත් බොහොම සීමිතයි. ඔවුන්ගේ ලෝකයේ සිටින්නේ බොහොම සීමිත පිරිසක්. මේ හුදෙකලා මානසිකත්වය නිසා ඇති වෙන පෞරෂ දුර්වලතාවය සමාජයේ වෙනත් පිරිසක් ඉදිරියේද මුහුණ දීමට නොහැකි දුර්වලතාවයන් ගොඩ නගනවා.
සෙල්ලමක් ඇත්තේම නැහැ
පොතේපතේ වැඩකට කාලය ගෙවනවා මිසක සෙල්ලම ජීවිතයට අවශබ දෙයක් නොවේය කියන මග පෙන්වීම නිසා අද දරුවන්ගේ ජීවිත ඉතාම යාන්ත්‍රිකයි. පාසලෙන් අමතර පංතියට, අමතර පංතියෙන් නිවසට යන රටාව හැර වෙනත් රටාවක් ඇත්තේම නැහැ. නමුත් දරුවන් එලිමහනේ සෙලල්මේ යෙදෙන විට අදහස් ඉතාම හොදින් සන්නිවේදනය වෙනවා.එලිමහනේදී ඔවුන්ට කටේ හිරි ඇරලා කතා කරන්න පුලුවනි. නමුත් සිරවී ජීවත්වෙන දරුවාට ඒ හැකියාව නොමැති නිසා ඔවුන්ගේ සන්නිවේදන දුර්වලතාවයන් ඉතා පැහැදිලි විදිහට කැපී පෙනෙනවා.
නිර්මානශීලී නැහැ
අද වගේ වෙවර්ණ සෙලල්ම්බඩු නොතිබුන යුගයක දරුවන් ඉතාම නිර්මානශීලි වුනා. ඔවුන් කාටුන් ලෝකයක අතරමං වුනේ නැහැ.පොල්පිත්තකින් ගොනෙක් කපා ගන්න,පැපොල් බටයකින් නලාවක් හදා ගන්න වගේ තැනට ඔබින විදිහට ඔවුන් සෙල්ලම් බඩු සාදා ගත්තා. අද බොහෝ කළමනාකරුවන් තමාගේ ආයතනයට සම්බන්ධ කර ග්නනා නවකයන්ගෙන් නිර්මාශීලීත්වයක් අපේක්ෂා කළත් ඔවුන් වෙතින් මේ හැකියාවන් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන් වෙනුවෙන් තමන්ගේ ආයතනයේ තැනැක් ලබා දීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.කඩදාසියෙන් සුදුසුකම් පෙන්වා සිටියත් මේ තරුණ කණ්ඩායම් වෙතින් නිර්මානශීලී අදහස් පිලිඹිමු නොවන බව වාණිජ මණ්ඩලය පෙන්වා දනවා.
දරුවන් ස්වාධීන නැහැ
අපි අපේ දරුවන්ට උපරිම විදිහට සලකනවා යන සංකල්පයෙන් බොහොම දෙමව්පියන් තෘප්තිමත්. ඔවුන් කවා, පොවා පොත පතේ වැඩටත් මග පෙන්වලා දරුවන් ලොකු මහත් කරන බව හැබෑවක්. ඒත් මේ පිටුපසින් දිවෙන අහිතකර තත්වයක්ද තිබෙනවා. අම්මා , තාත්තා දරුවන් වෙනුවෙන් හැම දෙයක්ම ඉටු කිරීම නිසා දරුවන්ගේ පාර්ශවයෙන් ඔවුන් දුර්වලයින් බවට පත් වෙනවා.ස්වාදීනව කටයුතු කිරීමට නොහැකි නිසා මේ දුරවලතාවයන් සම්මුඛ පරීක්ෂන මණ්ඩල ඉදිරියේදී පැහැදිලිව පෙනෙන නිසා ඔවුන් තමන්ගේ ආයතනයට ගැලපෙන චරිත විදිහට සලකන්නේ නැහැ.මේ විදිහට දරුවාගේ චරිතයටම සම්බන්ධව තිබෙන විවිධ අඩු පාඩු මග හැරෙන විදිහට කටයුතු කළොත් අනාගතයේදී ඔවුන්ට තරගකාරී අවස්ථාවකදී කිසිම ගැටළුවක් නැතුව ඉදිරියෙන්ම සිටීම පහසුයි.