- Advertisement -

දරුවන් මුල් කර ගත් අපේ විශ්වාස…

-

බිලිඳු දරුවන් මුල් කර ගෙන ගොඩ නැගුන විශ්වාස අතීතයේදී අපේ වැඩිහිටියන් අතර බහුලව තිබුනා. මේ විශ්වාස අත්දැකීම් සමග තවත් ශක්තිමත් වුනා. නව ජන්ම දරුවෙකුගේ අතේ වදකහ කෑලි කපල වළල්ලක් වගේ නූල් පොටක අමුණලා දරුවාගේ අතේ ගැට ගහනවා. මේ කහ සුවඳට දරුවාට වැදුනාම බඩේ අජීර්ණ වගේම වෙනත් ආබාධ ඇති වෙන්නේ නැතැයි වූ විශ්වාසයක් අපේ අම්මලාගේ තිබුණා. තුනටිය ශක්තිමත් වීමට ඉන වටා කළු නූලක් හෝ පබළු වැලක් ගැට ගැහුවා.

දරුවෙක් බහ තෝරන කාලයේදී කොණ්ඩය කැපුවොත් කථා කිරීමේ අපහසුතාවයන් ඇති වෙනවාය යන විශ්වාසය තදින්ම තිබුණා. ඒ නිසාම උපන් මොහොතේම කෙස් ටිකක් කපා දැමුවා. යම් විදිහකින් එහෙම උපන් ගමන්ම කෙස් ටිකක් කපන්න බැරි වුනොත්  දරුවා හොදින් කථා කරන තෙක්ම කෙස් කැපුවේ නැහැ. ඒ නිසා සමහර පිරිමි දරුවන්ගේත් ගැහැනු දරුවන්ගේ වගේම කෙස් ගොතන තරම් දිගට වැවුනා. දහඩිය දාලා කැසීම්, උකුණෝ ඇති වුනත් බැරි වෙලාවත් මොන තරම් අපහසු වුනත් බැරි වෙලාවත් කෙස් නම් කැපුවේ නැහැ. ගැහැනු ළමයෙකුගේ උපත ලද හැටියේම කෙස් කැපුවොත් අක් බඹරු වගේ හොදින් වැඩෙන බවටත් විශ්වාසයක් තිබුණා.

- Advertisement -

බිළිදු දරුවන් නින්දේදී සමහර විට අඩනවා. ඒ වගේම හිනාවෙනවා. මේ හැම දෙයකටම පදනම් හේතු තිබුණා. ඒවා අම්මලා හොදින්ම දැනගෙනත් හිටියා. නින්දේ සිටින දරුවාට සුරංගනා‍වියෝ ඇවිත් මේ විදිහට කියනවාලු.

“අන්න…ඔබේ අම්මා පුංචි රන් කළයට රන්කිරි දොවාගෙන ගෙදර එනවා…” මේ විදිහට කිව්වාම පුංචි පැටියා හිනාවෙනවාලු..ඒ වගේම තවත් වේලාවකදී සුරංගනාවියෝ දරුවාට මේ විදිහට කියනවා.”අන්න ඔබේ අම්මා රන් කළයට කිරි දොවාගෙන එද්දී කිරි කොතලය ගගේ ගියා…” ඒ විදිහට කිව්වාම පුංචි දරුවා අඩන බවත් විශ්වාස කලා. පැටියා හිනාවෙන වේලාවට නම් අම්මත් බොහොම සතුටට පත් වෙනවා. ඒ වගේම දරුවා අඩනවාට අම්මා කැමැති නැහැනේ…ඉතින් හනිකට දරුවාට ලං වෙලා මෙහෙම කියනවා…”මගේ පුතුගේ අම්මා ළග ඉන්නවා…පුතුට දෙන්න කිරි මට තියෙනවා…” මේ විදිහට කිව්වාම දරුවාගේ ඇඩීම නවතිනවා. පුංචි පැටියාගේ සතුට අම්මාගේ සතුට බවට පත් වුණා වගේම දරුවාට හඩන්න ඉඩ දුන්නේ නැහැ.තවත් විශාවසයකට අනුව දරුවා හිනාවෙන්නේ පෙර ආත්මයේ තමා ඇසුරු කළ අය සිහිපත් වීම නිසා බවටත් විශ්වාසයක් තිබුණා.

දරුවාට ඉක්කා වැටුනාම කාටවත්ම නොකියා දරුවාගේ ඇඳුමෙන් නූල් පොටක් අරගෙන එය අම්මාගේ හෝ දරුවා සමග ඒ වේලාවට සිටින වැඩිහිටියාගේ කෙළ සමග මිශ්‍ර කරල දරුවාගේ නලලේ තියනවා.

දරුවාට මාස හතකට වගේ ආසන්න වෙද්දී පැටියා තමන්ගේම කකුල අරගෙන එහි මහපටැගිල්ල කටේ දමා උරනවා. අද නම් අම්මලා දරුවාගේ මේ පැවැත්මට බයයි. ඊට හේතුව ඇගිලි ඉරීමේ පුරුද්ද දරුවාට ඇති වෙන නිසයි. “අතේ මදිවට කකුලේ ඇඟිලිත් උරන්න පටන් අරගෙන…” අද අපේ අම්මලා කලබල වෙන්නේ එහෙමයි. ඒත් එදා අම්මලා දරුවා කකුලේ ඇගිලි උරද්දී හරිම සතුටින් මේ විදිහට කියනවා “දැන් අපේ දරුවාට කිරි කළ හත පෙවිලා…” අම්මලාගේ හිතේ සතුට ප්‍රකාශ වෙන්නේ ඒ විදිහටයි.

අපේ සංස්කෘතිය එදා සම්බන්ධව තිබුනේ කෘෂිකර්මාන්තය සමගයි. පුතෙක් කියන්නේ අනාගතයේ පියා සමග හරි හරියට කුඹුරු ගොවිතැන්වලට සහයෝගය දක්වන චරිතයක් වුනා. ඒ නිසාම මුලින්ම කුඹුර කෙටූ දිනයට, නගුලෙන් හෑවාම, වඩු කර්මාන්තයේ යෙදුනාම, මුලින්ම යම් භාණ්ඩයක් හැදුවාම වගේම වන්දනා ගමනක ගිහින් නිවසට පැමිණි විට අම්මා විසින් කැවුම් හදා ඒ උණු කැවුම්වලින් දරුවාගේ අතුල්, පතුල්, පිටි අතුල් සහ පිටි පතුල් තවනවා. අලුතින් යම් කාර්යක් කලාම එය කොඩුකාර වැඩක් විදිහට සලකනවා. මේ සමනල සිරිපා සමයේදි ඔබට කෝඩුකාරයා කියන සංකල්පය හොදින් පුරුදු ඇති. සිරිපාදේ මුලින්ම යන තැනැත්තා හැදින්වෙන්නේ “කෝඩුකාරයා” විදිහටයි.

ඉස්සර කාලයේ අම්මලා දරුවන්ගේ ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්වූවා. ඔවුන් පමනට වඩා දරුවන් ආහාර ගන්නවාට කැමැති වුනේ නැහැ. නිතරම දරුවන්ට උපදෙස් දුන්නේ “ජුජක බමුණා වගේ හිස්මුදුනින් කටක් මවා ගෙන කන්න එපා…” කියලයි. වතුර බොන්නත් බඩෙන් කොටසක් ඉතිරි කර ගන්න කියල ඔවුන් උපදෙස් දුන්නා. දරුවා බාල කාලයේ පටන්ම අම්මලා ඔවුන්ගේ ආහාරයට යම් පාලනයක් පනවා ගන්න කටයුතු කළා. ඒ නිසා සිහින් නූලක් අරගෙන බඩේ බදිනවා. දරුවාට බත් කවන අතරවාරයේ නුල කැඩුනොත් දැන් දරුවාට බඩ පිරිලා කියන විශ්වාසය අම්මලාගේ හිතේ ඇති වෙනවා.

පිරිමි දරුවන්ට බත් පිසින වළදේ ඉතිරි වෙන දංකුඩ ආහාරයට ගැනීමට අවසර දුන්නේ නැහැ. දංකුඩ කැවොත් රැවුල එන්නේ නැතැයි වූ පිලිගැනීම තදින්ම පැවැති අතර රැවුල පිරිමි පෞරසයේ වැදගත් සංකෙත්යක් වුනා. පිරිමි දරුවාගේ මුලින්ම එන රැවුල “දැලි රැවුල” යනුවෙන් හැඳින්වුනා. පිරිමි දරුවන්ට වංගෙඩියේ වාඩි වීමට අවසර නුදුන්නේ වංගෙඩියේ වාඩි වුනොත් ඔවුන්ගේ වෘෂණ කෝෂ විශාල වෙන බවට තිබුන විශ්වාසය නිසයි. ඒ වගේම දරුවා නාවා අවසානයේදී නාවන තැනැත්තිය විසින් ගම්මිරිස් අට දෙක තුනක් විකා හිස්මුදුන,පෙකනිය, කම්මුල දෙපැත්ත,පියයුරු සහ පිරිමි දරුවන්ගේ ශිෂ්ණයට ගම්මිරිස් සැර තුන්වතාවක් පිඹිනවා.

දරුවන් වාඩිවෙන, දණගාන සහ හිටවැටෙද්දී වාරු නැතුව වැටෙන්න පුලුවනි. ඒ වුනාට මේ වැටීමෙන් ඔවුන්ට අනතුරක් නොවෙන බවට එදා තදින්ම විශ්වාසයක් තිබුණා. විද්‍යාත්මකව නම් මේ ගැන තියෙන අදහස වෙනස්. පුංචි දරුවන්ගේ අස්ථි මාංශපේශි මොලොක් නිසා වැටීමකදී අනතුරක් වීමට වගේම හදිසියේවත් අනතුරක් වුනත් නැවත යථා තත්වයට පත් කර ගැනීම පහසු බවයි. ඒ වුනාට අතීතයේදී නම් මේ සිදුවීමත් දෙවියන්ට බාර කලා. දරුවා වැටෙන විට දෙවියන් අත පාල වේගය බාල කරන බවට පිලිගැනීමක් තිබුනා.

(මේ තොරතුරු ඇසු සහ දුටු දේ ඇසුරින් සකසන ලදී.)

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article