පුතුගේ ජයග්‍රහණයට අම්මාගෙන් ලැබුන දායකත්වය අගෙයි

උදේ පටන් කන්තෝරුවේ රාජකාරි සමග ගැටිල , හැන්දෑවට වෙහෙස මහන්සියෙන් ගෙදරට ඇවිත් ඔබ රාත්‍රියට ආහාර පිලියෙල කරද්දී පුංචි දරුවා බිත්තියේ කුරුටු බලි ඇන්දොත් ඇත්තටම ඔබට කේන්ති යනවා නේද…? දරුවාගේ මේ සිරිත ඔබේ පැත්තෙන් සාධාරණ කළත් එහි පසුවිපාක ගැන ඔබ සමහර විට නොදන්නවා වෙන්න පුලුවනි. බත්තරමුල්ල ප්‍රෙද්ශයේ පදිංචි සිටින දිනුග මෙම චිත්‍ර තරගයට ඉදිරිපත් වූයේ, පෙර පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදීය

 

“අවුරුද්දයි මාස දෙකේ විතර ඉඳල පුතා ඩේ කෙයා එකක හිටියෙ, අපි දෙන්න ම ඔෆිස් යන හින්දා. ඊට පස්සේ ඩේ කෙයා එකේ ඉඳන් ඇවිල්ලා මං හවස උයනකොට එයාට වෙන වැඩක් කෙරෙන්නේ නෑනේ. මට බලන්න වෙන්නෙත් නෑ. බිම, බිත්තිවල ඒ ඔක්කොගේ ම කුරුටු ගානවා. ඊට පස්සේ පොත්වල. සමහර දවස්වලට එක දවසට මුළු පොතක ම කුරුටු අඳිනවා,” චමිලා එදිරිසූරිය සඳහන් කළා..

 

චමිලා එදිරිසූරිය නැමැති මේ අම්මාගේ වැඩිමහල් පුතා දිනුග ද සිල්වාගේ වයස අවුරුදු පහයි.හැබැයි තම පුතු බිත්තියේ කුරුටු බලි ඇන්දාට මේ අම්මා පුතුට ඒ ගැන තහනම් නියෝග පැනවුයේ නැහැ. ඒ නිසාම දරුවා අත දිග ඇරලා හිතේ හැටියට බිත්තියේ සිතුවම් ඇන්දා. ළමා මනෝ වෛද්‍ය විද්‍යාව අනුව ද දරුවන් බිත්තිවල කුරුටු ගෑම ආදී ක්‍රියාකාරකම් නතර කිරීමට උත්සහ කිරීම ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට බාධාවක් වන බව හඳුනාගෙන තියෙනවා..

ඒ වගේම පුතාගේ චිත්‍රවලත් යම් වටිනාකමක් තියෙන බව අම්මාටත් තේරුම් ගිහින් තිබුනා. දරුවාගේ හැකියාවන් ගැන සියුම් විදිහට හඳුනන ඥානය අම්මාට තිබුන නිසාම දෝ අද දිනුග ද සිල්වා ජාත්‍යන්තර තලයේ චිත්‍ර ශිල්පියෙක් විදිහට සම්මාන ලබා තිබුනා.

ඒ වගේම චමිලා පුතුගේ හැකියාවන් ඉදිරියට ගෙන යෑමට ලබා දුන් සහයෝගයත් ඉතාම ප්‍රශංසනීයයි. කැලේ පිපුන මල් කැලේම පරවෙනවා වගේ තම පුතුගේ හැකියාවන් උපන් ගෙයිම නැති කිරීමට ඉඩ දිය යුතු නැහැ. ඒවා  ආරක්ෂා කර ගැනීමට අම්මාගෙන් ලැබුන දායකත්වය පුංචි පැටියාගේ වාසනාවක්…

එක් දවසක් චමිලා කන්තෝරුවේ රාජකාරි කටයුතුවල අවශ්‍යතාවයකට අන්තර්ජාලයට සම්බන්ධ වෙද්දී  කවුදෝ කෙනෙක් FAO Poster contest වෙබ් අඩවියට ගොස් තිබුණා.පුතාගේ හැකියාවත් දන්න නිසා අම්මා නිකමට වගේ මේ වෙබ් අඩවිය ගවේශනය කලා. එහි තිබුනේ වයස අවුරරුදු 5 සිට 8 අතර දරුවන් සඳහා පෝස්ටර් චිත්‍ර තරඟයක්. ඇයට තම පුතු සිහියට ආවා. චිත්‍ර මාතෘකාව විදිහට “Our Actions are Our Future. A Zero Hunger World by 2030 is possible,” යන තේමාව ලබා දී තිබුණා.

එදා හවස චමිලා තම පුතුට මේ අදහස ගැන කිව්වා.මේ තරඟය පැවැත්වුයේ ලෝක ආහාර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි. දිනුගගේ පෝස්ටර් නිර්මාණයේ දැක්වෙන්නේ, ලෝකයට ආහාර සපයන පලතුරු සහ එළවළු බීජ ලෝකයේ ම සිටුවා කුසගින්න තුරන් කිරීමය. වළාකුළු අතරින් එළවලු සහ පළතුරු වැටෙන අන්දම ඉතා වර්ණවත්ව වගේම ගස්වැල්, සහ නිල්පාට දිය පිරුන තැනක සතුටින් සිටින පවුලකුත් මේ චිත්‍රෙය් ඉතා අපුරුවට සිතුවමට නගා තිබෙනවා.

මේ තරඟයට රටවල් 118 කින් චිත්‍ර අටදහසකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුනා. ඒ සියල්ලම අභිබවා ප්‍රථම ස්ථානයට පත් වීමට දිනුග පුංචි පුතා සමත් වුණා.

ඔහුගේ මේ ජයග්‍රහණය අපේ රටටත් අභිමානයක්. එහි පංගුකරුවන් විදිහට මේ දෙමව්පියන්ද දායකත්වයක් ලබා දුන්නා. අන්තර්ජාලය ඔස්සේ තිබූ මේ අවස්ථාවට පුතුගේ සහභාගීත්වය ලබා දීමට මවගෙන් ලැබුන උනන්දුව ඉතාම වැදගත්. ජයග්‍රහණය ගැන අපට සහතික වෙන්න බැරි වුනත් දරුවාට මෙවන් අවස්ථාවක් ලබා දීමට දෙමව්පියන්ගෙන් ලැබෙන දායකත්වය ඉතාම වැදගත් බොහෝ දෙමව්පියන් මෙවන් අවස්ථාවන් දුටුවත්

‘‘ අනේ අපේ ළමයින්ට ඔය තරඟත් එක්ක හැප්පෙන්න බැහැ….“ කියන ස්ථාවරය ඔවුන් විසින්ම සහතික කර ගන්නවා. සමහර වෙලාවට දරුවා උනන්දු වුනත් දෙමව්පියන්ගෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. නමුත් දිනුගට මේ හැකියාවෙන් උපරිම ප්‍රෙයා්ජන  ගැනීමට අවශ්‍ය මග අම්මාගෙන් ලැබුනා. මේ ගැන අදහස් දක්වන දිනුගගේ මව කියා සිටියේ..ඉතා කුඩා කාලයේදී ම සිය දරුවා තමන්ට ගෞරවයක් අත් කර දුන් බවය.

“හැම අම්මා කෙනෙකු ම හිතන්නේ තමන් ඉන්න තැනට චුට්ටක් හරි තමන්ගේ දරුවා උඩට ගෙනියන්න ඕන කියලා නේ. දැන් මට හිතෙනව මෙයා මං ඉන්න තැනට වඩා ආඩම්බරයක් එයා මට දීලා තියෙනවා, අවුරුදු පහේදී ම.”

ඉතින් දිනුග පුතාට වාසනාවන්ත අනාගතයකට සුබ පතන ගමන් අපේ අම්මලා , තාත්තලාටත් මේ ජයග්‍රහණය ඉතා වටිනා පසුබිමක් වේවි. ඔබේ දරුවාගේ හැකියාවන් තිබෙනවා නම් ඒ ගැන හඳුනා ගන්න. පොත් පත්, පාට පැන්සල් විනාශ කරනවා කියන චෝදනාව නගන්න එපා.

ඒ වගේම දරුවාගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට ඇති අවස්ථාවන් ඔහුට සොයා දෙන්න. ඒ වෙනුවෙන් දරුවාගේ සහභාගීත්වය අගය කරන්න. එවිට ඔබේ දරුවාගේ සැඟවී තිබෙන හැකියාවන් ඉස්මතු වෙනවා වගේම දැනට ඔබ හඳුනාගත් හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමටත් පුලුවනි.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here