පාසල පටන් ගත්තාම අම්මලා තාත්තලාගේ කට පරිස්සම් කරගන්න…

වෙනදාට අවුරුදු පාසල් නිවාඩුවෙන් පසුව රසවත් අත්දැකීම් සමග පාසල් ගිය දරුවන් මේ වතාවේ යන්නේ වෙනස්ම මානසික තත්වයකින්. සාමාන්‍ය වයසක සිටින ඉහළ පංතිවල දරුවන්ට නම් ඔවුන්ගේ බාලකාලයේදී ලත් අත්දැකීම් නිසා යාන්තමින් හෝ මතකයක් තිබුනත් පහළ ශ්‍රෙණ්වල ඉගෙනුම ලබන දරුවන්ට නම් මේ අලුත්ම සහ තේරුම් ගැනීමට බැරි අසහනකාරී වටපිටාවක්.

ඒත් දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගෙන අවධානයෙන් සිටිය යුතු කාලයක් වුනත් පමණ ඉක්මවා දරුවන්ගේ හිත් භීතියට පත් කිරීමෙන් ඔවුන් මානසික ගැටලුවක් එහෙම නැතිනම් පශ්චාත් ක්ලමතය (Post-traumatic stress disorder), විෂාදය (Depression), කනස්සල්ල වැනි තත්ත්වයන් ට පත් වෙන්න පුලුවනි.

ඒ නිසා දෙමව්පියන් විදිහට වැඩිහිටියන් විහේෂයෙන් මේ ගැන වැඩි අවධානයක් දැක්වීම අවශයයි. සමහර දෙමව්පියන් දරුවන් ඉදිරියේ කතා කරන්නේ හෙටක් ගැන කිසිම විශ්වාසයක් නැති විදිහටයි. කන්තෝරු ගිහින් ගෙදර එන එකත් විශ්වාස නැති විදිහට ඔවුන් කතා කරද්දී දරුවන්ගේ හිතේ තමා අනාරක්ෂිතය යන සාංකාව ගොඩ නැගෙනවා. පාස්කු ප්‍රහාරයෙන් දරුවන් 40 කටත් අධික පිරිසක් මිය ගොස් තිබෙනවා. ඒ ගැන අපි සුලුවෙන් සලකන්න බැහැ.ඒ වගේම දැනට ජීවත්වෙන දරුවන් නොමැරී මැරෙමින් ජීවත්වෙන තත්වයක් ඇති වුනොත් එයින් ඇති වෙන මානසික තුවාලය සුවපත් කිරීමත් පහසුවක් නොවෙයි.

හයක් හතරක් නොතේරෙන දරුවන්ට මේ ගැන ගැඹුරු දැනුමක් නැහැ.ඔවුන් සාමාන්‍ය විදිහට කාලය ගෙවන නිසා අනවශ්‍ය විදිහට මේ කම්පාවන් ඔවුන්ගේ මනසට ඇතුළු කිරීම එතරම් සුදුසු නැහැ. විශේෂයෙන් දෙමව්පියන් විසින් දක්වන කලබලය සහ නොසන්සුන්බව නිසා ඔවුන්ගේ හිතටත් කුමන හෝ විපතක පෙර නිමිති ඇතැයි යන මානසිකත්වය ගොඩ නැගෙන්න පුලුවනි.

  • පුවත්වලට නිරාවරනය කරන්න එපා…

අද දෙමව්පියන්ගේ වැදග්තම කටයුත්ත මේ සිදුවීම් නැරඹීම වුනත් දරුවන් ඉදිරියේ මේ ප්‍රචන්ඩත්වය දැක්වෙන සිදුවීම් නිරාවරණය නොවනවා නම් වඩාත් අගෙයි. විශේෂයෙන් පූර්ව ළමා වියේ සිටින දරුවන්ට මේ සිදුවීමේ අගක් මුලක් නැති නිසා ඔවුන් දකින්නේ මිනිසුන්ගේ අදෝනාවන් පමණි. එයින් ඇති වෙන කම්පනය ඔවුන්ගේ මනසේ පැලපදියම් වෙන අතර එතැන් පටන් මේ පුංචි දරුවන්ද ජීවත් වෙන්නේ කම්පනයෙන් යුක්ත මානසිකත්වයකින්ය.

  • මතවාද ගොඩ නගන්න එපා…

අද පවතින රටේ තත්වය ගැන දරුවන් කතා කරනවා නම් ඒ වෙනුවෙන් ඉඩ දෙන්න. ඒත් මේ ගැන ඔබේ අදහස්ද ඉදිරිපත් කරමින් සංවාදය දිගින් දිග ගෙන යනවාට වඩා අසන දෙයට දරුවා සෑහීමට පත් වෙන පිලිතුරක් ලබා දෙන්න. ඔවුන් කියන දෙයට හොදින් ඇහුම්කන් දෙන්න. හැබැයි අම්මා , තාත්තා වගේම වටපිටාවත් සුරක්ෂිතයි යන ශක්තිය දරුවාගේ හිතට දෙන්න.ඒ වගේම යම් වැටහීමක් ඇති දරුවන්ට නම් ආත්මාරක්ෂාව වෙනුවෙන් හැසිරෙන අන්දම කියා දෙන්න. සමාජාජාල ඔස්සේ වෛරය වගා කරන පෝස්ටර් නිදහස් කිරීම සහ හුවමාරුව මේ අවස්ථාවේදී විසඳුමක් නොව බැව් කියා දෙන්න.

  • සුහදත්වය

අනේ දැන් ඉතින් අපේ අනාගතයම ඉවරයි. අපිට ඉතින් සතුටක් සැනසිල්ලක් නැහැ යන මානසිකත්වය මත ඔබ කටයුතු කරන බව ඇත්ත. එය සාධාරණ සිතිවිල්ලක් වුනත් දරුවා සමග පෙර සුහදත්වයෙන්ම සිටින්න.වෙනදා වූ ගමන්බිමන් දැන් තාවකාලිකව සීමා වෙන්න පුලුවනි.ඒත් දරුවා සමග පවතින සුහදත්වය අඩු කරන්න එපා.

  • දරුවාගේ හැසිරීම් වෙනස් වෙන්න පුලුවනි.

ඔබ දරුවා අනවශ්‍ය විදිහට බියට පත් කළොත් එවුන්ගෙන් පෙරා දා නැති ලක්ෂණ පහල වෙනන් පටන් ගන්නවා. ඔබ සමග පුවත් බලන දරුවා රාත්‍රි නින්දෙන් බයවීමට පටන් ගන්නවා. වෙනදා වගේ සුවසේ නිදා ගැනීමක් නැහැ. තිගැස්සී ඇහැරේවි.

ඒ වගේම වෙනදාට ඉතා සතුටින් ඔබට කන්තෝරු යන්න සමු දී හැන්දෑවට අවශ්‍ය දේ ලැයිස්තුවක් කියන දරුවා දැන් ඔබට යන්න එපා කියමින් අඬන්න පටන් ගනීවි.එවිට ඔබ තේරුම් ගත යුත්තේ මේ වටපිටාව දරුවාගේ මනසට මොනතරම් දරුනු අන්දමින් කම්පාවට පත්ව තිබෙනවාද යන බවයි.

  • ජාතිවාදීත්වය එපා..

මිශ්‍ර පාසල්වල ඉගෙනුම ලබන මුස්ලිම් දරුවන් මුල් කර ගෙන දරුවාගේ හිතේ විරෝධාකල්ප ගොඩ නැගීමත් මේ අවස්ථාවේ නොවිය යුතු සිදුවීමකි

ඒ වගේම දෙමව්පියන් විසින් දැන් පුවත් මවන්න පටන් ගන්නවා. පාසල් ගේට්ටුව අසල වගේම කන්තෝරුවෙන් පුවත් මල්ලක් ගෙදරට අරගෙන එනවා. රටේ සිදු වෙන සිදුවීම්වලටත් වඩා ඒ තත්වය ඉතාම භයානකයි.

  • ඒ නිසා අම්මලාත් මේ ගැන දැන ගෙන හිටියොත්..

ඔබට බොහෝ පුවත් ඇසෙනු ඇති. ඒත් මේවා ලැබෙන මුලාශ්‍රය ගැන නොදැන ඒවා තවත් අය සමග බෙදා ගන්න එපා.

සමාජාල ඔස්සේ ලැබෙන පුවත් මේ වෙන විටත් කල් ඉකුත්ව තිබෙන්න පුලුවනි. ඒ නිසා ඒවායේ කාලය ගැන නොසලකා බෙදා ගැනීම වගේම කටින් කට ප්‍රචාරයත් එතරම් සුදුසු නැහැ.

සමහර විට සමාජාල ඔස්සේ ලැබෙන පුවත් බොරු සහ විහිලු වීමට පුළුවන්. ඒ ගැනත් වගකීමෙන් කටයුතු කරන්න.

ඒ වගේම පාසලේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට යම් වගකීමක් පවරනු ලැබුවොත් ඒ වගකීම පැහැර හරින නිදහසට කරුණු ගොණු කරනු වෙනුවට අපේ දරුවන් අපි ආරක්ෂා කර ගත යුතුය යන සිතිවිල්ලෙන් කටයුතු කරන්න.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here