- Advertisement -

ලෝකය පවතින්නේ හිරුගේ රැස්වලින් සහ අම්මාගේ කිරි වලින්ය

-

මව්ගුණ පිළිබඳව සම්භාවනාව වෙනුවෙන් අවුරුද්දේ එක් දිනක් වෙන් කිරීම සහේතුක යැයි කිසිම කෙනෙකුට කිව නොහැකියි. ඒත් නිම්මා නොවන මේ ගුණ ගැන එසේ හෝ තක්සේරුවක් ලැබීම ගැන අපි එක්තරා ආකාරයකින් සතුටු විය යුතු නොවේද…?

අම්මාවරුන්ගේ දිනය පටන්ගත්තේ මෙහෙමයි..ලෝක මව්වරුන්ගේ දිනය ආරම්භ වුණේ බ්‍රිතාන්‍යයේය. කිතුණු බැතිමතුන් අළු බදාදා සිට පාස්කු ඉරිදා දක්වා දින හතළිහක කාලය මරියතුමියට ගෞරව දැක්වීම වෙනුවෙන් යොදා ගෙන තිබුණි. මේ නිසා ඉරිදා දිනය ”මාතෘ දිනය” විදිහට තමන්ගේ මව්වරුන් සමග ගත කිරීමට නිදහස ලබා දුන්නා.

- Advertisement -

මේ කාලයේදී ධනවත් වංශාධිපතිවරුන්ගේ නිවෙස්වල සේවය කළ උදවියට තම තමන්ගේ නිවෙස්වලට ගොස් මව සමග දවස ගත කිරීමට අවසර ලැබුන අතර එදිනට අම්මා බැලීමට රැගෙන යන කේක්ගෙඩිය වංශාධිපතිවරුන් විසින් ඔවුන්ගේ නිවසේදී සාදා මේ සේවකයන්ට දුන්නා.

කිතු දහම ව්‍යාප්ත වීමත් සමග ආධ්‍යාත්මික බලය ලබා දුන් මාතෘ පල්ලි වෙනුවෙනුත් ගරු බුහුමන් දක්වන්න පටන් ගත්තා. අම්මාට වගේම ඔවුන් දේවස්ථානයටත් විශේෂ ගරුත්වයක් දැක්වූවා. බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකාව යටත් කර ගෙන ජනාවාස ගොඩ නගා ගැනීමත් සමග මෙම සංකල්පය ඔවුන්ගෙන් ඈත් වුනා.

1872 වසරේදී ”ජුලියා වෝර්ට් හොව්” විසින් නැවතත් මව්වරුන්ගේ දිනය ආරම්භ කළා. 1907 වසරේදී ”ඇනා මාරියා රිච්ස් ජාර්විස්” විසින් ඇමරිකාවේ මෙම සංකල්පය ආරම්භ කරනු ලැබූ අතර ඇගේ මව මියගිය දෙවැනි වසරේදී මව වෙනුවෙන් පවත්වන ලද දේව මෙහෙයේ පටන් මැයි මාසයේ දෙවැනි සතිය ”මව්වරුන්ගේ දිනය” ලෙස සමරන්න පටන් ගත්තා.

රාජ්‍ය මට්ටමින් මව්වරුන්ගේ දිනය ස්ථාපිත කිරීම වෙනුවෙන් දරන ලද උත්සාහයන් විටින් විට බි‍ඳ වැටුණා. 1914 වසරේ ”වුඩරෝ විල්සන්” ජනාධිපතිවරයා විසින් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් තැන පටන් ලෝකයේ බොහෝ රටවල්ද මව්වරුන්ගේ දිනයට විශේෂ අනුග්‍රහයන් දක්වන්න පටන් ගත්තා. අද වෙන විට ඉතාලිය, තුර්කිය, ඩෙන්මාර්කය, පින්ලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් මව්වරුන්ගේ දිනය උත්කර්ෂවත් අන්දමින් සමරනවා.

  • අම්මත් අහස වගේ..

අම්මත් අහස වගේ කියන්නා සේම දරුවන් මුල් කර ගෙන ගිහි ගෙයි ඇය විඳින දුක් සීමාවක් නැතත් මේ සියල්ල ඇය දරන්නේ බෙහෙවින් සතුටු සිතින්ය. වචනයටත් කියැවුණේ ”අම්මා අහස වගෙයි…” ඒත් අම්මා අහස වගේ කිව්වත් වරදක් නැත. වැස්සත්…අව්වත් …අපි දොස් නගන්නේ අම්මාටය. අම්මාගේ චරිතයත් ඒ හා සමානය. දරුවන් නොමග ගිය තැන දොස් අහන්නීත්..චෝදනා ලබන්නීත් අම්මාය…දරුවන්ගෙන් පවා ඇයට බොහෝ විට දොසක් මිස හොඳක් නැත. ඒත් ඇයට ඔවුන් දරුවන්ය.

දරුවන්ගේ කැත කුණු ඇයට කැත කුණු නොවන්නීය. දරුවා කුස හොත් දිනයේ පටන් ඇගේ බලාපොරොත්තුව තමාගේ දරුවා රජෙක් හෝ රැජිණක් කිරිමටය. පෙරදග ශිෂ්ටාචාරයේදීත් ”අම්මා” යන සංකල්පයට ප්‍රධානත්වය දුන්නේ වසරකට දිනයක් සීමා කරමින් නොවේ. බුදුරජාණන්වහන්සේ ”අම්මා” දෙවැනි බුදුන්, නිවසේ බුදුන් යන තනතුරෙහි ලා වදාල සේක

නිවසක ආලෝකය අම්මාය. ගමට කලින් මුළුතැන්ගෙට හිරු වඩින්නේද ඒ නිසාය. සතා සිවුපාවුන් අතර පවා මව්සෙනහසට සීමාවන් නැත. ඇත් පැටවෙක් බිහිවුන තැන ඇතිනි රැළටම කිරි එරෙන්නේ මේ හාස්කම නිසාය.

ඒත් අද බොහෝ දෙනෙක් අම්මා අර්ථකථනය කරන්නේ ජීව විද්‍යාත්මක සංසිද්ධියක් ලෙසින් වූ දරුවන් බිහිකිරීමේ යාන්ත්‍රණය මුල් කර ගෙන පමණි. මේ නිසාම අද මව්-පිය දූ දරු ගැටුම් සාමාන්‍යකරණය වී තිබේ. විද්‍යුත් මාධ්‍යන් වෙතින් පවා හුවා දක්වන්නේ මධ්‍යම පංතික පවුල් අරගලයන්ය. මේ සියල්ල තුළ අම්මා අසරණ වීම මිස ඇගේ ගුණ කදම්බයන් ඉස්මතු කිරීමක් නැත. ලොව පහළ වුන දිනයේ පටන් දරුවන් හදා උස් මහත් කරන්නේ අම්මාය. අම්මාගේ ලෝකය දරුවන්ය. අතීතයේ දරුවන් අම්මාට දක්වන ලද්දේ අප්‍රමාණ වූ සෙනහසකි. වෙනතක් තබා ඔවුන් අම්මා ආමන්ත්‍රණය කළේ ”අපෙ අම්මා” යන හෘදයංගම සිතින්ය. ඔවුන්ගේ පැතුම වූයේ ”අම්මා බුදුවේවා..” යන භක්තියයි. එය වචනයට සීමා වූයේ නැත. අම්මා මුල් කර ගත් සෙනෙහස දරුවන්ගේ ඇට, මස්, ලේ, නහරවැල් විනිවිදව පැතිරී තිබුණි.

”අම්මා මහමෙරක් වැනිය” කීමත් වරදක් නැත. ඇය අටලෝදහම ඉදිරියේ මහමෙරක් සේ නොසැලී සිටින්නීය. ඒ අතර අම්මාද මහමෙරක් වූවාය.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article