වෙසක් වෙනුවෙන් අපි…

වෙසක් ගැන කතා කරද්දී පසුගිය දින කීපයේ ඇති වුණු කණගාටුදායක තත්ත්වය නිසා ඒ ගැන තිබුණු උනන්දුව නැති වුණා කිව්වත් ඇත්තටම වෙසක් ගැන අපි අපේ දරුවන්ට කියා දිය යුත්තේ මොනවාද…?

අද පුංචි දරුවෙක්ගෙන් පුතේ…”වෙසක් පොහොයට මොකද කළේ” කියා ඇසුවොත් ඔවුන් හැමදෙනාගේම පිළිතුර ”දන්සැල් ගියා..”. දෙමව්පියන් වුනත් කියන්නේ ”අපි වෙසක් පොහොයට ඉතින් පන්සල් ගිහින් දන්සැලුත් වැඳගෙනම එනවා..” කියන දේ මිස එයින් ඔබ්බට දෙයක් නැහැ. ඒ නිසා මේ වතාවේ වෙසක් පොහොය ගැන බොහෝ දෙනාගේ හිතේ කණගාටුව තියෙන්නේ වත් පිළිවෙත් ගැන නොව දන්සැල් සහ වෙනත් විනෝදවීමට තිබුණු අවස්ථාව අහිමි වීම ගැනයි.

පාස්කු ඉරිදා ජීවිතයෙන් වන්දි ගෙවූ සෑම දෙනාම ආගමික කටයුතු වෙනුවෙන් වූ භක්තිය සමග මෙලොව හැර ගිය අය වූහ. අපිට අදටත් මේ අහිමිවීම් ගැන සුළුවෙන් තැකිය නොහැක. දැන් සියල්ල අවසානයි…අළු ගසා නැගිට සිටීමට ෆීනික්ස් කුරුල්ලාට සේත් නොහැක.

එහෙත් අපිට කළ හැකි බොහෝ දේ තිබේ. ආමිෂ පූජාවන් වුනත් අපේ නිවසේ වපසරිය තුළ ඉටුකිරීමට  නොහැකියාවක් නොමැත. ”පිළිවෙතින් පෙල ගැසෙමු” කිව්වත් හය හතර නොදන්නා දරුවන්ට ඒ ගැන වැටහීමක් නොමැත. ඒ නිසා අඩුම වශයෙන් පහන් කූඩුවක් හෝ නිවසේ දැල්වීමෙන් පුංචි හිතේ බුද්ධාලම්මභන ප්‍රිතියක් ගොඩ නැගීමට කිසිම බාධාවක් නැත.

  • ඉතින් බට පතුරු නැහැ…

ඇත්ත. දැන් ඉතින් බට පතුරු සෙවීම නිකිනි සොයන්නා හා සමානයි. ඒත් මේ වෙනුවෙන් බොහෝ විකල්ප තිබේ. බුදුරැස් මාලාවේ ෂඩ්වර්ණයන්ට ගැලපෙන ”ඒ4” කඩදාසි යොදා ගෙන සකස් කරන අපූරු නිර්මාණයන් ඇත. බීම බට,පොල් මටලු වැනි පරිසරයේ විවිධ දෑ මේ වෙනුවෙන් උපයෝගී කර ගැනීමේ නිර්මාණශීලීත්වය දරුවන්ට කියා දීමට වැඩිහිටියන් තුළ උනන්දුවක් ඇති වීම ඉතාම වැදගත්.

ඒ වගේම සොළොස්මස්ථාන වන්දනා නොකළත් ගමේ පන්සලට ගොස් මලක්, පහනක් පූජා කිරීමට දරුවන් කැටුව යෑමට තවමත් නොහැකියාවක් නැත. ඒ වෙනුවෙන් පෙරටු විය යුත්තේ ඔබය. මහ කකුළුවා හරහට ගොසින් පැටවුන්ට කෙලින් යන්න කීවාට එහි ප්‍රතිඵල නැත. දරුවන් නිතර අනුගමනය කරන්නේ ඔබයි. ඒ නිසා ඔබ දරුවන්ට ඔවුන්ගේ මට්ටමින් යම් යම් පිංකම් වෙනුවෙන් උනන්දු කිරීම ඉතාම වැදගත්.

සමහර විට ඔබට නොහැකි වුනත් ඔබේ දෙමව්පියන් එසේත් නැත්නම් පවුලේ සමීපතයින් මෙදිනට සිල් සමාදම් වෙනු ඇත. ඒ අය වෙනුවෙන් දානයක්, ගිලන්පසක් පිරිනැමීමට දරුවන්ද සම්බන්ධ කිරීම ඉතාම වැදගත්. අතීතයේ බොහෝ දරුවන් බාල කාලයේ පටන් අත්තම්මා, සීයා සමග පන්සලට ගොස් සිල්සමාදම් වූහ. ”පුංචි උපාසක අම්මා…පුංචි උපාසක ඇත්තා” ලෙසින් වැඩිහිටියන් පවා මේ කෝඩුකාර දරුවන්ට ඇගයීම් ලබා දුන්හ. ඔවුන් සිල් ගැනීම ආරම්භ කරනු ලැබුවේද වෙසක් පොහොය දින මුල් කර ගෙනයි. එතැන් පටන් වැදගත් පොහොය දිනයන්හිදී අත්තම්මා හෝ සීයා සමග ශිල සමාදාන වැඩසටහන් වෙනුවෙන් සම්බන්ධ වූහ. ඒ නිසාම බාලකාලයේ පටන්ම කුඩා දරුවන්ටත් ශික්ෂණය පිළිබඳ පාඩම නිවසේ අයගෙන්ම ඉගෙන ගැනීමට කිසිම බාධාවක් වූයේ නැත.

මේ වසරේ වෙසක් උත්සවයේදී අපිට මෙවැනි පිංකම් වෙනුවෙන් කිසිම බාධාවක් පැනවී නැත. සිත් නිරායුධකරණයට කවදත් බාධා නැත. ඇති එකම බාධාව ඒ වෙනුවෙන් පවතින උදාසීනතාවයයි.

නිවි දැල්වෙන විදුලි බුබුළු වෙනුවට සිත් පහන් කරන පිංකම් ඹ්නෑතරම් ඇත. දානය දිය යුතු පුද්ගලයින් බොහෝ සේ සිටිති. අපි ඔවුන් හදුනා ගැනීමටවත් උනන්දු නොවෙති. බෞද්ධ කොඩි වනමින්, ආහාර නාස්ති කරමින් කටයුතු කරනවාට වඩා ඔබේ දරුවාගේ පංතියේ උදව් කළ හැකි දරුවෙක් සිටී නම් ඒ වෙනුවෙන් යමක් කිරීම ද දානයකි. අද නිතර ඇසෙන පිළිකා රෝගීන් අතර ඔබේ දැන හඳුනන අය ඕනෑ තරම් සිටිති. උදව් අවශ්‍ය වැඩිහිටියන් නිවස අසල පවා සිටින්නට පුළුවන්. එවන් තැනැත්තන් වෙනුවෙන් කාරුණික සිතින් ආහාරපාන හෝ ඖෂධ වර්ග ඔවුන් වෙතට ගොස් පිරිනැමීමට අවස්ථාව ඇත. ඇතැම් උදවිය කොතරම් නැති බැරිකම් තිබුණත් ඒ බැව් ප්‍රසිද්ධියේ කියන්නේ නැත. ඒ සියල්ල සඟවාගෙන සිටිති. එහෙත් අඟහිඟකම් බොහෝය. මේ අන්දමේ පුද්ගලයින් සොයා යෑමෙන් ඔවුන්ට උපකාරයක් වගේම ඔබේ දරුවන්ටත් ආදර්ශයක් ලැබෙනු ඇත.

එසේ නම් වෙසක් පුර පසළොස්වක වෙනුවෙන් අපේ දරුවන්ට ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට අපිට හැකි අයුරින් මග පෙන්වනු විනා ”අනේ..මෙදාපාර වෙසක් කෝ…” කියමින් ලතැවිල්ල ඵලක් නැත.

පුන්‍යා චාන්දනී ද සිල්වා

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here