ඔබේ දරුවා තරබාරු කරන්නේ ඔබමද කියා මේ ලිපියෙන් දැනගන්න

එදා දරුවන්ට එළිමහනේ හොදින් දුව පැන ඇවිදින්න වගේම ගස් නගින්න, පීනන්න වැනි ක්‍රියාශීලී ජීවිතයක් වෙනුවෙන් ඉඩ හසර ඔවුන්වත් නොදැනීම ගොඩ නැගී තිබුණා. ඒ වගේම දෙමව්පියන්ගෙන් වුනත් දරුවන්ගේ මේ ක්‍රියාශීලී ජීවිතයට තහංචි තිබුනේ නැහැ. මේ විදිහට බොහොම ක්‍රියාශීලී ජීවිතයක් ඔවුන්ට නොදැනීම ලැබී තිබුන නිසා දරුවන්ගේ තරබාරුව වගේම අනවශ්‍ය විදිහට තෙල්, මේද ගබඩා වුනේ නැහැ. ඒත් අද මේ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් …..

‘‘ජර්නල් ඔෆ් පෙඩියට්‍රික්ස් “ වෛද්‍ය සඟරාවේ දැක්වෙන අන්දමට මේ වෙනුවෙන් සෘජු චෝදනාව එල්ල වෙන්නේ දෙමව්පියන්ටයි. ඒ ඇයි කිව්වොත් දරුවාගේ ගුණාත්මක ආහාරවේලක් ගැන දෙමව්පියන්ගේ උනන්දුව නොදැනීම හීන වෙලා. ”අනේ…අපි හැදුවාට කන්නේ නැහැ…” කියනවා මිසක දරුවාට ගුණයක් ලැබෙන විදිහට ආහාරපාන ලබා දීමට දැන් දෙමව්පියන්ගේ උනන්දුවක් නැහැ.

ඒ වගේම විද්‍යුත් උපාංග නිසා දරුවන්ගේ ක්‍රියාශීලී ජීවිතය නොදැනීම අහෝසි වෙන වාතාවරණයක් තිබෙන බව මොනතරම් කිව්වත් දෙමව්පියන් විසින්ම දරුවන්ට ලබා දෙන විද්‍යුත් මෙවලම් නිසා ඔවුන්ට වෙනත් වටපිටාවක් නැහැ.

අනිත් අතට…අම්මා, තාත්තා හැන්දෑවට නිවසට ආ තැන පටන් සමාගම් පවත්වන්නේ රූපවාහිනිය සහ සමාජ ජාලා සමග නිසා දරුවන්ට අවවාද කරන්නේ කොහොමද…? අවවාද දුන්නොත් එය මහ කකුලුවා ඇදයට ගිහං පොඩි එවුන්ට කෙලින් යන්න කියනවා වගේ වේවි…

ඒත් මේ ගැන නොසලකා ඉන්න එපා…

අලුත්ම හඳුනාගැනීම්වලට අනුව වයස අවුරුදු හතක් වැනි බාල වයසේ දරුවන්ගේ පවා ක්‍රියාකාරී ජීවන රටාව ඔවවුන්ගේ අනාගත සෞඛ්‍යයට එක එල්ලේම බලපානවා. මේ කාලයේදී අක්‍රියව සහ අලසව ජීවත්වෙන දරුවන්ට යාන්තම් වයස අවුරුදු දහ හතර පහලොව වෙද්දී කොලස්ට්‍රෝල්, රුධිරගත සීනි මට්ටම ඉහළ යෑම වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට පත් වෙන්නත් ඉඩ තිබෙනවා

ලෙඩ්ඩුන්ගේ ලෝකයක් වුනොත්..?

එහෙම වෙන්න හොඳටම ඉඩ තිබෙනවා. උතුරු කැරොලයිනා සරසවියේ සිදු කරන ලද අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන අන්දමට 2030 වසර වෙන විට එක්සත් රාජධාණීයේ දරුවන්ගෙන් හතරෙන් එකක් පමණ තරබාරු ප්‍රතිශතයට ඇතුළත් වීමේ අවදානම ඉතාම ඉහළින් තිබෙනවා. ඒ අනුව මේ පර්යේෂකයින් කියා සිටින්නේ අනාගත වැඩිහිටියන් අතරින් නිරෝගී ශරීර බරකට උරුමකමක් කියන්නේ පිරිමින්ගෙන් 10 % ක් සහ කාන්තාවන්ගෙන් 15 % ක් පමණයි.

මේක අපේ ලංකාව..

ඔය වාර්තාව ඉතින් එංගලන්තයේනේ…අපිට අදාල නැහැ කියල නිශ්ශබ්ද වෙන්න දැන් ඔබට බැහැ. අපේ ජන ජීවිත රටාව තුළ තිබුන බොහෝ ක්‍රියාකාරකම් අපේ පැවැත්මට ඉතාම හිතකර විදිහට සැකසී තිබුණත් අපිත් ගෝලීයකරණය සමග නව ජීවන රටාවට බොහොම සතුටින් අනුගත වුනා වගේම තවමත් එයින් මිදෙන්න බැරි තැනක සිටිනවා. ඉතිං ඒ නිසා ඔබේ දරුවාත් ඉහත ප්‍රතිශතයට ඇතුළත් වීමට ඕනෑ තරම් සුදුසුකම් දැනටමත් ලබා ඇති.

හදවත් රෝග නිසා මියයන පිරිස මිලියන 2. 6 ක් පමණ වෙනවා. මේ ගැන සිදු කරන ලද අධ්‍යයනයකදී වයස අවුරුදු 7 සහ 10 අතර දරුවන් පිරිසක් තෝරා ගෙන ඔවුන් ගැන නැවතත් වයස අවුරුදු 14 සහ 17 පමණ වෙන විට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කරනු ලැබුවා. එහිදී පෙනී ගියේ මේ දරුවන්ගෙන් හරි අඩක් පමණ දෙනා ”පරිවෘත්තික සහසාධක (Metabolic syndrome)”රෝග තත්ත්වයට පත්ව සිටි බවයි. ඒ අනුව මේ ගැටවර පිරිස තුළ රුධිරගත මේද මටට්මේ අහිතකර තත්ත්වයන්, ඉන්සියුලින් ගැටලු, අහිතකර කොලස්ට්‍රෝල් වැනි තත්ත්වයන් නිසා ඔවුන් නොදැනීම හදවත් රෝග සහ දියවැඩියාවේ ගොදුරු බවට පත් වීමේ ඉරණමට පත්ව සිටියා. මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් මහාචාර්ය ”රොබට් මැක්මුරේ” සඳහන් කරන්නේ ළමා අවධියේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩිහිටි වියට සම්බන්ධ වෙන අන්දම මුල් කර ගෙන සිදු වුන මුල්ම අධ්‍යයනය මෙයයි. ළමා කාලයේ ගෙවන අක්‍රිය ජීවිතය වැඩිහිටි වියේ නිරෝගීතාවයට බලපාන අන්දම ගැන දැන් ඉතින් දෙමව්පියන්ගේ අවධානය දැක්විය යුතුයි..

ඒ වගේම තරබාරු දරුවන්ට වැඩියෙන් කේන්ති යන බවටත් පර්යේෂකයින් හඳුනා ගෙන තිබෙනවා. ඒ වෙනුවෙනුත් චෝදනාව එල්ල වෙන්නේ දෙමව්පියන්ටයි. සමහර දෙමව්පියන් දරුවන්ගේ කෝපය පාලනය කිරීමට ඉතාම ඉක්මනින් ඔවුන්ට රසකැවිලි ලබා දෙනවා. මේ නිසා දරුවාත් එය ආයුධය කර ගෙන තමාට අවශ්‍ය අන්දමින් කිසිදු පාලනයක් නොමැතිව රසකැවිලි ආහාරයට ගැනීම නිසා ඔවුන් තරබාරුවේ ගොදුරක් බවට නොදැනම පත් වෙනවා.

එහෙනම්…දරුවාට ක්‍රියාශීලීව නිදහස් ජීවිතයක් ගෙවන්න දෙමව්පියන් විදිහිට අද ඔබෙන් ලැබෙන සහයෝගය නිසා ඔවුන් හෙට දවසේ නිරෝගී පිරිසක් විදිහට සමාජගත වෙනු ඇති. ඒ නිසා දුවන්න, පනින්න, දඟලන්න ඔවුන්ට ඉඩ දෙන්න. කිසිම විටෙක ඒ වෙනුවෙන් තහංචි පනවන්න එපා. ඔබේ තහංචි නිසා අලස බවට පත් වෙන දරුවා අනාගතයේදී බොහොම ඉක්මනින් අහිතකර රෝගීන්ගේ ලැයිස්තුවට එක් වෙන්න පුලුවනි.

ටෙලිග්‍රාෆ් පුවත් ඇසුරිනි

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here