- Advertisement -

ඔබේ ආදරණීය වැඩිහිටියා වැටීම්වලින් සුරක්ෂිත කරගන්න

-

අප ලාබාල වියේදී දෙඇස මෙන් අපව රැකගත් ඔවුන් අද වන විට වැඩිහිටි වියට එළැඹ අපේ ආරක්ෂාව රැකවරණය අවැසි තත්ත්වයට පත්ව සිටී. අපි අපේ දරුවන් රැකගන්නවා සේම අපේ දෙමාපියන්ද දරුවන් මෙන් රැකගත යුතු කාලය එළැඹ ඇත. ඒ වගකීමෙන් මිදෙන්නට හෝ පැහැර හරින්නට ශ්‍රී ලංකේය දූ පුතුන් වන අපිට නම් කිසිසේත්ම නොහැක. අපිද ඔවුන්ව දෙඇස මෙන් රැක ගත යුතුමය. වයස්ගත මා පියන්ගේ ආරක්ෂාව පිළිබඳව කතා කිරීමේදී වාරු නැතිකෑම නිසා හෝ ලිස්ස යමක් නිසා හෝ වෙනත් හේතුවක් මට ඇති වන ”වැටීම්” ඔවුන්ට ගෙන එන්නේ අමිහිරි වේදනාත්මක අත්දැකීමකි. ඒ නිසාම ඔබේ නිවස තුළ ඔබේ ආදරණිය වැඩිහිටියා සුරක්ෂිතද යන්න පිළිබඳව ඔබම සොයා බලන්න.

වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු කර ඇති අන්දමට වැඩිහිටියන්ගේ අස්ථි බිඳීම් සහ හිස් කබලේ ඇතිවන මරණීය තුවාල සිදුවීමට ප්‍රධාන හේතුව ලෙස වැටීම් හඳුනා ගෙන ඇත. වැටීම් මරණය සහ තුවාල පමණක් නොව වැඩිහිටියාගේ ක්‍රියාකාරකම් සීමා වීමට ද හේතුවක් වේ. වැටීම නිසා ඇති වූ වේදනාකාරී අත්දැකීම් හේතුවෙන් වැඩිහිටියා තම ක්‍රියාශීලී ජීවන රටාව වෙනස් කරයි.  ඔහුගේ සමාජ සම්බන්ධතා සීමා වීම නිසා ඔහු හුදකලා පුද්ගලයෙක් බවට පත්වේ. මෙය ඔහුගේ කායික සහ මානසික සෞඛ්‍ය අංශ දෙකටම ඍණාත්මක බලපෑම් ඇති කරයි. වැටීමක් හේතුවෙන් ආබාධයකට පත්වූ වැඩිහිටියකුට බාහිර පුද්ගලයකුගේ උදව් අවශ්‍ය වේ. එසේම එවන් වැඩිහිටියෙක් රැක බලා ගැනීම සඳහා විශේෂ වෙහෙසක් දැරිය යුතු වන අතර ඒ සඳහාම පුද්ගලයෙකු යෙදවීමට සිදුවනු ඇත.

- Advertisement -

වැඩිහිටියන් ඇඳ වැටීම්වලට ලක් වීමට සෞඛ්‍යමය හේතු සාධක ඇත. මෙම හේතු බොහෝ විට පුද්ගලානුබද්ධ වේ. විවිධ රෝගාබාධ, ශරීර සමතුලිතතාවය අහිමි වීම, ඖෂධවල අතුරු ආබාධ, අස්ථි සහ මස්පිඞු දුර්වල වීම, පෙනීම අඩු වීම හෝ අන්ධ බව  සහ ශරීර සංවේදීතාවය අඩු වීම මෙම හේතු අතරින් ප්‍රධාන වේ. දෛනිකව ව්‍යායාමවල යෙදීමෙන් ශරීර සමතුලිතතාව ආරක්ෂා ‍වන බැවින් වැඩිහිටියා ක්‍රියාශීලී අයෙක් බවට පත්වේ. එසේම ක්‍රමවත්ව අක්ෂි පරීක්ෂාව සිදුකර නියමිත පරිදි ඇස් කණ්ණාඩි පාවිච්චි කිරීමට වැඩිහිටියා යොමු කළ යුතුය. ඖෂධ භාවිතයෙන් ඇති වන ක්ලාන්ත ගතිය නිසා ඇති වන වැටීම් වලක්වා ගැනීම සඳහා ඇ‍ඳෙන් හෝ පුටුවෙන්  ඉතා සෙමින් නැගී සිටීමට වැඩිහිටියා හුරු කරවන්න. අවශ්‍ය අවස්ථාවල ඇවිදීමේ ආධාරක භාවිත කිරීමට උපදෙස් දෙන්න.

මෙම තත්ත්වයන් වැලැක්වීමට අපහසු වන්නේ බොහෝ විට ඒවා වියපත් වීමේ ක්‍රියාවලියේ ඇතිවන ස්වභාවික විපර්යාසයන් වීම නිසාය . එබැවින් අප අවධානය යොමු කළ යුත්තේ මෙම දුර්වලතාවයන් හේතුවෙන් සිදුවන වැටීම්වල අවදානම අඩු කිරීම සඳහා නිවසේ පරිසරය සකස් කිරීමයි. නිවසේ සෑම අයෙකුටම මේ සඳහා පොදු වගකීමක් පවතින අතර වැඩිහිටි නිවාසයක නම් එය ඉදි කරන අවස්ථාවේ සිටම අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැක. නිවසක වෙනස් කම් සිදුකළ යුතු අයුරු පහත පරිදි හඳුනා ගැනීමට පුළුවන.

ගෘහ භාණ්ඩ තැබීම

අනවශ්‍ය පරිදි නිවස තුළ රඳවා තබා ගෙන ඇති ගෘහ භාණ්ඩ හේතුවෙන් පහසුවෙන් එහා මෙහා යාමට වැඩිහිටියාට නොහැකි වනවා පමණක් නොව කොරිඩෝ වැනි නිතර ගමන් කරන මාර්ගවල ගෘහ භාණ්ඩ තබා ඇතිනම් ඔවුන්ගේ පය පැකිලී වැටීමට ඉඩ ඇත. සෑම විටම ඔවුන්ට නාන කාමරයට, කුස්සියට සහ එළිමහනට ප්‍රවේශ වීමට ඇති මාර්ග අවහිර නොවනසේ ගෙතුළ ගෘහ භාණ්ඩ තබන්න. එසේම වැඩිහිටියන් භාවිත කරන ඇඳ, පුටු, කබඩ් වැනි දෑවල ආරක්ෂාකාරී බව පිළිබඳව සැලකිලිමත් වන්න . නිවසේ සෑම ස්ථානයකටම ප්‍රමාණවත් පරිදි ආලෝකයක් ලැබෙන බව තහවුරු කරගත යුතු‍ වේ.

බිම

නිවසේ විදුලි භාණ්ඩ සඳහා භාවිත කරන වයර් කෝඩ් වැනි දෑ නිසා බිම අවහිර වී තිබෙන අවස්ථාවල වැඩිහිටියන් ඒවායේ පැටලීමට ඉඩ ඇති බැවින් ඒවා රෝල් කර හෝ බිමට තදින් සවිකර තබන්න.  නිවසේ ඇති පාපිසි  නොලිස්සන සුලු ඒවා විය යුතු අතර එහි අග දාර ඉර‍, නූල් ඉහිරෙන තත්ත්වයට පත්වී ඇත්නම් ඒවා ඉවත් කිරීම හෝ පිළිසකර කිරීමට අවධානය යොමු කරන්න. අලංකාරය පිණිස යොදා ගන්නා බුමුතුරුණු හේතුවෙන් බොහෝ වැඩිහිටියන්ගේ සැරමිටි හෝ වෙනත් ඇවිදිම සඳහා යොදාගන්නා ආධාරක පැටලෙන අවස්ථා බහුල වේ. පාපිසි හෝ බුමුතුරුණු භාවිතය අවම කළ යුතු අතර අත්‍යවශය තැන්වල ඒවා පොලවට ඉතා හොඳින් අලවා හෝ සවිකර තබන්න.

තරප්පු පෙළ

  • වැඩිහිටියන්ට භාවිත කිරීමට සිදුවන පඩිපෙලෙහි කිසිදු සෙල්ලම් බඩුවක්,පොත්, පත්තර හෝ මල් පෝච්චි වැනි දෑ  නොතබන්න.
  • පඩි කැඩී ඇත්නම් හෝ දාරයට ගසා ඇති පටි, ඇණ බුරුල් වි ඇත්නම් හෝ පඩි පෙළෙහි ආධාරකය ආරක්ෂිත නොවේ නම් ඒවා පිරියම් කරන්න.
  • පඩිපෙළහි කාපට් අතුරා ඇත්නම් එය බිමට හොඳින් සවිකර තබන්න.
  • පඩි පෙළට හොඳින් ආලෝකය ලැබෙන පරිදි ප්‍රමාණවත් ධාරිතාවයකින් යුතු බල්බයක් දැමිය යුතු අතර එය දැල්වීම සඳහා පඩිපෙළේ ඉහල සහ පහළ තැන් දෙකෙහිම ස්විච් යොදන්න
  • වැඩිහිටියාගේ පහසුව සඳහා රාත්‍රියට දිලිසෙන ස්විච් මේ සඳහා යොදා ගන්න. නැතහොත් දිලිසෙන ස්ටිකර් වැනි යමක් මතුපිට අලවන්න.

සුරතල් සතුන් ඇති කිරිම

වැඩිහිටියන් සම්බන්ධව අවධානය දැක්වීමේ දී ඔවුන් පය පැකිලී ඇද වැටීමට  තවත් එක් හේතුවක් ලෙස  නිවසේ ඇති කරන සුරතල් සතුන් පෙන්වා දිය හැක. බල්ලන් සහ පූසන් බොහෝ විට නිදා ගැනීමට තෝරා ගන්නේ තමා වැඩි වශයෙන් ප්‍රිය කරන පුද්ගලයාගේ දෙපා මුලය. අවධානය ලබා ගැනීම සඳහා සිරුරේ සහ ඇඳුම්වල එල්ලීමට ද ඔවුන් ප්‍රියය. එසේම එම සතුන්  කෑමට ලබා දෙන මස් කටු හෝ සෙල්ලම් බඩු තැන් තැන්වල විසි කිරීම ද සිරිතකි. මේ හේතූන් නිසා වැඩිහිටියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වුවද සුරතල් සතුන් ඇති කිරීම‍ට ඔවුන් අධෛර්යමත් කිරීම සුදුසු නොවේ. මක් නිසාද යත් සුරතල් සතුන් යනු ඉතා හොඳ සමාජ මිතුරන් වන බැවිනි. මෙහිදි කළ යුත්තේ,

  • වැඩිහිටියන් දෛනික ක්‍රියාකාරකම්වල යෙදෙන ක්‍රියාශීලි වේලාවන්හි සුරතල් සතුන් එක් ස්ථානයක රඳවා තැබීම
  • දිනපතා සතුන් ගැවසෙන ප්‍රදේශ පිරිසිදු කිරීම
  • සුරතල් සතුන් වැඩිහිටියන් සමඟ නිතර ගැවසේ නම් ඒ පිළිබඳව විශේෂ අවධානයකින් සිටිය යුතුය. එවිට සතෙකු ඇඟේ හැපීමට යන අවස්ථාවක් වේ නම් අනතුරු ඇඟවීමට පුළුවන.

නාන කාමරය

වැඩිහිටියන් පමණක් නොව අන් අයද වැඩි වශයෙන්ම නිවසේ දි ඇද වැටීමට ඉඩ ඇති ස්ථානය වන්නේ නාන කාමරයයි. වතුර , සබන් සහ සේදුම් කුඩු ආදිය නිසා එහි බිම නිතර ලෙස්සන සුළු ස්වභාවයක් ගනී. ආරක්ෂිත නාන කාමරයක් සකස් කර ගන්නේ,

  • නාන කාමරයේ බිම හොඳින් සෝදා හැකි තරම් වියළිව තබන්න. මේ සඳහා විදුලි වියලන යන්ත්‍රයක් සවි කිරීමට ද හැකිය
  • වතුර මල හෝ නාන බේසම අසල, වැසිකිලි පෝච්චිය අසල වැඩිහිටියාට අල්ලා ගැනීමට හැකි පරිදි ආධාරක සවි කරන්න.
  • වතුරට නොලිස්සන රබර් පා පිස්සක් එහි බිම රඳවන්න.
  • නාන බේසම අසල බිම හෝ වතුර මල යට බිමෙහි සිමෙන්ති ඉරි හෝ පිඟන් ගඩොලින් සකසා ඇති ඉරි අලවන්න
  • රාත්‍රියට නාන කාමරයේ විදුලි බුබුල දල්වා තබන්න නැතහොත් අඳුරට සංවේදී බල්බයක් ඒ සඳහා යොදන්න
  • පිටතින් සහ එළියෙන් විවෘත කිරීමට හැකි අගුළු සවි කරන්න. එහෙත් වැඩිහිටියාට නාන කාමරෙයේ සිටියදී දොර අගුළු නොදැමීමට උපදෙස් දිය යුතු අතර වැඩිහිටියා ඩිමෙන්ෂියා තත්ත්වයෙන් පෙලෙයි නම් දොර අගුළු ස්ථිරවම ඉවත්කර තබන්න.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය, රේණුකා තෙන්නකෝන් මහත්මියගේ ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article