- Advertisement -

සර්ප්‍රා……..යිස්… මෙය දරුවන් වෙනුවෙන් සුදුසු දෙයක්ද?

-

දෙමව්පියන් විදිහට අපි විවිධ අවස්ථාවලදී දරුවන්ට විවිධ පොරොන්දු ලබා දෙනවා. සමහර විට අවස්ථාවට අනුව දරුවාගෙන් යම් යම් කටයුතු ඉටු කර ගැනීමට දෙමව්පියන් මේ වගේ පොරොන්දු ලබා දීම සාධාරණයි. ඒ වගේම මේ පොරොන්දු ඉටු කිරීමටත් දෙමව්පියන් බැදී සිටින්නත් ඕන. එහෙම නැත්නම් දරුවා සහ දෙමව්පියන් අතර පවතින සම්බන්ධතාවය බිඳ වැටෙන්න පුළුවන්. ඒත් මේ වගේ දවස්වල නම් අපිට දරුවන් වෙනුවෙන් වුනත් යම් යම් පොරොන්දු ලබා දීම අපහසුයි. කාලයේ තාලයට අනුවත් අපි හැඩගැසෙන්න ඕන. ඒත් දරුවන්ගේ මානසිකත්වය ගැනත් හිතන්න අවශ්‍ය කාලයක් එහෙම නම් අපි මේ ගනුදෙනුව සාර්ථකව කර ගන්නේ කොහොමද..?

මේ අධ්‍යයනය සිදු කළේ නොටින්හැම්ෂයර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසිනුයි. ඔවුන් සඳහන් කරන අන්දමට දරුවන්ට විතරක් නොවෙයි, අපි කාටත් හදිසියේ කොටින්ම කිව්වොත් සර්ප්‍රයිස් වෙන විදිහේ සතුටුදායක කටයුතු සිදු වෙනවා නම් එය ශාරිරික වගේම මානසික නිරෝගීතාවයට හේතු වෙන බවයි. උදාහරණයක් විදිහට අපි මෙහෙම කියමු. හදිසියේම විනෝද චාරිකාවක් සංවිධානය වුනොත්…? එයින් ඇති වෙන්නේ සතුටක්. කාලයක් පුරා දින ගනිමින් සිටියාට වඩා ”අපි අද හවස ට්‍රිප් එකක් යමු…” කියන යෝජනාව දරුවන්ට බොහොම සතුටුදායක පණිවිඩයක්. ”සති අන්තයට පාර්ක් යමු” කියන සිටිනවාට වඩා ”පුතා…ලෑස්ති වෙන්න අපි පාර්ක් යමු” කිව්වාම දරුවාගේ ඉහේ මලක් පිපෙනවා. ඒ විතරක් නොවෙයි, මේ වේලාවේ දරුවාගේ සතුටට හේතු කරක හෝමෝන ශ්‍රාවය වෙන නිසා ඔහුගේ ශාරීරික නිරෝගීතාවයටත් එය හේතු වෙනවා.

- Advertisement -

ඉතින් ඒ එක් පැත්තක්…තවත් අතකින් මේ හදිසියේ ලබා දෙන අවස්ථාවන් දෙමව්පියන්ටත් වාසිදායකයි. ඒ ඇයි කිව්වොත් අපි කල් තබා දෙයක් සැලසුම් කළත් හදිසියේම අපේ රාජකාරි ජීවිතය වගේම වෙනත් පුද්ගලික හේතු හින්දා වෙනස් කරන්න වුනොත් එයින් බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. මුලින්ම දරුවන්. වැඩිහිටියන්ට නම් මේ හේතු කාරනාවන් සාධාරණීය කර ගැනීමට පුළුවන් වුනත් දරුවන්ට ඒ විදිහට සාධාරණව හිතන්න අපහසුයි. ඔවුන් නිතරම හිතන්නේ තමන්ගේ පසුබිම මුල් කර ගෙනයි. ඒ නිසා ඔවුන් විසින් සිහින මවපු අවස්ථාවන් අහිමි වීමේ පසුතැවිල්ල හිතේ ගොඩ නැගනෙ නිසා එය දරුවාගේ මානසිකත්වයට එතරම් ගැලපෙන දෙයක් නොවෙයි.

දරුවා සහ දෙමව්පියන් අතර විශ්වාසය බිඳ වැටෙනවා…

දරුවාගේ බලාපොරොත්තු අනපේක්ෂිත අන්දමින් බිද වැටුනාම දෙමව්පියන් මුල් කර ගෙන එතරම් සුබවාදී සංකල්පයන් ඇති වෙන්නේ නැහැ. ”අම්මා…තාත්තා හැමදාම කියන්නේ බොරු…අපිව රවටනවා” වගේ සිතුවිලි දරුවාගේ හිතේ ගොඩ නැගෙන නිසා එය මව්පිය දූ දරු සම්බන්ධතාවය වෙනුවෙන් ඒ තරම් ගැලපෙන දෙයක් නොවෙයි.

හැබැයි සර්ප්‍රයිස් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නත් එපා..

ඔබ පවුල මුල් කර ගෙන මේ විදිහට හදිසියේ යම් යම් අවස්ථාවන් ගොඩ නඟා ගත්තත් ඒ වෙනුවෙන් පූර්ව සැලසුම් ගොඩ නඟා ගැනීම අවශ්‍යයි. විනෝද චාරිකාවක් හදිසියේ සංවිධානය කළත් ඒ වෙනුවෙන් හොඳ සැලසුමක් අවශ්‍ය වෙනවා. රෑ බෝවී වී පාරට බහින්න…රාත්‍රියේදී නවතින්න ආරක්ෂිත තැනක්…ආහාරපාන… මේ සියල්ල සමග වූ පූර්ව සැලසුමක් සමග සර්ප්‍රයිස් අවස්ථාවක් ගොඩ නඟා ගැනීම සිදු වෙන්නම ඕන. එහෙම නැතුව දරු මල්ලන් සමග කිසිම සැලසුමක් නැතුව පාරට බැසීමත් එතරම් සුදුසු දෙයක් නොවෙයි.

අනිත් අය අපහසුතාවයට පත් කරන්නත් එපා..

ඇතැම් අවස්ථාවන්හිදී ඔබ නිවසකට යනවා නම් යාන්තමින් හෝ ඔවුන් දැනුවත් කරන්න. එසේ නැතුව හදිසියේ ඔබ එම නිවසට යෑමෙන් දෙපාර්ශවයටම අපහසුතාවයන් ඇති වෙන්න පුළුවනි. සර්ප්‍රයිස් කිරීමට ඔබ හදිසියේ යන විට ඔවුන් නිවසේ නොසිටියොත්…ඒ වගේම ඔබ වෙනුවෙන් කිසියම් සංග්‍රහයක් කිරීමට මේ ගැලපෙන අවස්ථාවක් නොවුනොත් ඔබේ සමීපතයින් එයින් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා යාන්තමින් හෝ ඉගියකින් ඒ බැව් විමසා දැන ගැනීම වැදගත්.

”අපි මේ දුර ගමනක් යන්නයි ඉන්නේ…අද හවසට අපි යනවා…” දැන් ඔබට එතැනින් නැවතිය හැක. එසේ නොමැතිව ”අපි ගෙදර ඉන්නේ කොහෙවත් යන්න නම් තවම අදහසක් නැහැ” කී විට ඔබට තීරණයකට පැමිනිම එතරම් අපහසුවක් නැත.

එහෙම නම්…විශේෂයෙන් දරුවන් මුල් කර ගෙන යම් යම් විශේෂ දෙයක් සංවිධානය කරනවා නම් එය හදිසියේ කිරීම ඉතා වැදගත්. එසේ නොවුනහොත් ඔවුන්ගේ හදවතට බලාපොරොත්තු දී දරුවන් ඒ ඔස්සේ විවිධ සිහින මවන අවස්ථාවකදී ඔබට යම් වෙනසක් කිරීමට සිදු වුනොත් එයින් දරුවා මහත් සේ පීඩනයට පත් වෙනු ඇත. ඒ නිසා නිතරම දරුවන්ට යම් දෙයක් ලබා දෙන විට එය අපූර්වත්වයකින් ලබා දීම නිසා ඇති වෙන සතුටින් ඔවුන් මානසිකව ප්‍රබෝධයට පත්වෙන අතර ඒ තත්ත්වයම ශාරිරික නිරෝගිතාවයටත් හේතු වෙනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article