- Advertisement -

පරාජයට ඉඩ දෙන්න

-

දරුවන් මනා පෞරුෂයකින් හෙබි පුද්ගලයන් කරන්නට නම් ”ජය පරාජය සමසිතින් විඳගන්න හුරු කරන්න ”

”පරාජයට ඉඩ දෙන්න” ලිපියේ මාතෘකාව දකිද්දීම මේ මොකද්ද මේ කියන්නේ කියන සිතුවිල්ල එක්වරම ඔබේ හිතට ඇතුළු වුණා නේද? ඔව්.. ”ජය හා පරාජය” තුළින් දරුවෙකුගේ පෞරුෂත්වය ගොඩ නංවන ආකාරය ගැනයි මේ ලිපිය.

- Advertisement -

පෞරුෂත්වය කියන්නේ මොකක්ද?

යම් පුද්ගලයෙක් තමා සහ ලෝකය දකින විදිය මෙන්ම තමා සහ ලෝකය සමග ගනුදෙනු කරන ආකාරය  පෞරුෂත්වය ලෙස සරලව හැඳින්විය හැකියි.

ඔබ තුළ මෙන්ම ඔබේ දරුවා තුළත් මනා පෞරුෂත්වයක් ගොඩ නගා ගන්නේ කෙසේද?

සමාජයේ බොහෝ දෙනෙක් සිතන්නේ මනා පෙනුම එනම් උසට සරිලන මහතින් යුතු පෞරුෂවත් පෙනුම, නායකත්ව හැකියාව,හොඳින් කතා කිරීමේ හැකියාව ඇති අයෙක්   හොඳ පෞරුෂයක් ඇති අයෙකු ලෙසයි. ඒත් හොඳ පෞරුෂත්වයක ලක්‍ෂණ මොනවාද, ඔබ තුළ හොඳ පෞරුෂත්වයක් වර්ධනය කරන්නේ කොහොමද, ඔබගේ දරුවා තුළ හොඳ පෞරුෂත්වයක් වර්ධනය කරවන්න දිරිගන්වන්නේ කොහොමද කියලා දැනුවත් වීම බොහොම වැදගත් වනවා. මොකද විශේෂයෙන්ම හොඳ පෞරුෂත්වයක් ඇති පුද්ගලයෙක් ලෝකයා සහ තමා සමග ගනුදෙනු කරන විදිය ඉතාම ධනාත්මක වගේම සුබවාදිව සිදු වෙන්නක්. එවැනි පුද්ගලයෙක් හරහා අන්තර් පුද්ගල සබඳතා හොඳින් සිදු වෙනවා වගේම හොඳ පෞරුෂත්වයක් මිනිසුන් සතු වූ විට සමාජය තුළ සිටින අනෙක් පුද්ගලයන්ගේ අයිතීන්වලට සිදුවන හානියත් අවමයි. ඒ නිසාම ජීවිතය සරලයි

හොඳ පෞරුෂත්වයක ප‍්‍රධාන ලක්‍ෂණයක් විදියට,යම්කිසි පුද්ගලයෙක්ට  විවිධ මානසික තත්ත්ව ඒ කියන්නේ විවිධ හැඟීම්   (Emotions)  යටතේ සාර්ථකව ක්‍රියාත්මක විය හැකි නම් ඒ පුද්ගලයාට හොඳ පෞරුෂත්වයක් ඇති බව කියවෙනවා. ඒ කියන්නේ දුකේදී හා සතුටේදී යන දෙකේදීම නිවැරදි තීරණ ගැනීමේ හැකියාවයි.

අපි සතුටින් සිටින අවස්ථාවක ධනාත්මක තීරණ ගැනීම හා ධනාත්මක ලෙස සම්බන්ධතා පවත්වා ගැනීම එතරම් අමාරු දෙයක් නොවෙයි. ඒත් ප්‍රශ්නේ එන්නේ අපේ මානසික තත්ත්වය අපිට තේරෙන සරල විදියට කිව්වොත් අපේ මූඩ් එක හොඳ නැති තත්ත්වයක පවතින විටයි. පෞරුෂ ආබාධ සහිත පුද්ගලයන් Compromised Empathy කියන ලක්‍ෂණය පෙන්නු කරනවා.  Compromised Empathy ලෙස හඳුන්වන්නේ මේ පුද්ගලයාට තමා සිටින මානසික තත්ත්වය අනුව තවත් අයෙකු දෙස දකින ස්වභාවය වෙනස් වීම ලෙස කිව හැකියි. එනම් එම පුද්ගලයා හොඳ මානසිකත්වයක සිටිය විට අනෙක් පුද්ගලයා හොඳ වන අතරම ඔහුගේ නරක මානසිකත්වය හමුවේ ඒ පුද්ගලයා නරක් වීමයි. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ සිතට දුක් සහගත සිතුවිලි පැමිණි විට කෙනෙක් පිළිබඳව ධනාත්මකව සිතීමේ හැකියාව ඔහුගෙන් ගිලිහෙනවා. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය තියෙනවා. ඕනෑම මානසික තත්ත්වයක් දරාගෙන ලෝකය දිහා කරුණාව සහ ධනාත්මක සහිත බව ඇතිව දකින්න හැකි නම් එම පුද්ගලයා සතුව හොඳ පෞරුෂයක් ඇති බව කිව හැකියි. මේ තත්ත්වයට Emotion diversity කියලත් හඳුන්වනවා.

ඕනෑම මානසික තත්ත්වයක් හමුවේ ධනාත්මකව සිතීමේ හැකියාව ඔබේ දරුවා තුළ වර්ධනය කරන්නේ කොහොමද?

අපේ සමාජයේ අනවශ්‍ය ලෙස  මුල් තැන දෙන්නේ ධනාත්මක හැඟීම්වලට. ඒක ලොකු දුර්වලතාවයක්. ඒ තුළින්  සෘණාත්මක හැඟීම් නවත්වන්න, යටපත් කරන්න උත්සාහ දරනවා. එයට හේතුව සෘණාත්මක හැඟීම් නුසුදුසුයි කියන සිතිවිල්ල. ඒත් සෘණාත්මක හැඟීම් කියන්නේ ඒ විදියට ඉවත් කළයුතු නරක සිතුවිලි ධාරාවක් නොවෙයි.   සෘණාත්මක හැඟීම් හරහා අපට උගන්වන දේ බොහෝයි.

බාහිර ලෝකයේ සිදුවන දෙය ඔබ තුළින් බලාපොරොත්තු වන දෙයට වඩා වෙනස් වූ විට ඔබ තුළ ඇති වෙන ප‍්‍රතිචාරය හැඟීම්ක් විදියට හඳුන්වනවා. බාහිර ලෝකයේ තියෙන දේ ඔබ බලාපොරොත්තු වන දෙය නොවේ නම් ඊට තරමක් අඩු දෙයක් නම් ඔබට තරමක දුකක් ඇති වෙනවා. ඔබට තරහව හරි දුක හරි පාඩමක් කියලා දෙන්න හදනවා. සමාජයේ ගොඩක් වෙලාවට දරුවන් තුළ මේ සෘණාත්මක හැඟීම්ක් නතර කරන්න දෙමාපිය වැඩිහිටියන් ලොකු උත්සාහයක් දරනවා.

උදා :  කෑගහන්න එපා, තරහගන්න එපා, ඉරිසියා කරන්න එපා

මේ ආකාරයේ සෘණාත්මක හැඟීම් නරක දෙයක් විදියට නම් කරලා යටපත් කරන්න උත්සාහ කිරීම නම් භයානක තත්ත්වයක්. මේ විදියට දරුවෙක් වර්ධනය වෙද්දී ඒ දරුවාට විවිධ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව සහ විවිධ මානසික තත්ත්වයන් යටතේ වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා. මොකද ඒ දරුවට ඒ හුරුව නැහැ. එවිට ඒ දරුවාට විවධ මානසික තත්ත්වයන් යටතේ හැඩගැහීමේ හැකියාව නැතිව යනවා. ඉතින් මේ දරුවා එයාගේ  හැඟීම් යටපත් කරගන්න, සඟවා ගන්න උත්සාහ කරනවා.

මෙයට හේතුව ලෙස මා දකින්නේ අපේ හැඟීම් තෝරාගෙන යටපත් කරන්න ඇති නොහැකියාවයි. දරුවෙක් තමන්ගේ නරක හැඟීම් යටපත් කරන්න හදනකොට ඔහුගේ හොඳ හැඟීම් ද යටපත් වෙනවා. එතකොට ඔහුට සතුට, ආදරයක් තව කෙනෙක්ට දන්වන්න බැහැ. ඒ වගේම තවත් කෙනෙකුගේ හැඟීම් අදුරගන්න අමාරුයි. මේ හැඟීම් නොතේරෙන දරුවෙක් වැඩිහිටි වියට එද්දී ඒ දරුවාගේ අන්තර් පුද්ගල සම්බන්ධතාවලට ලොකු ප‍්‍රශ්නයක් ඇති වෙනවා” ලෙසයි.

දරුවෙකුගේ සෘණාත්මක හැඟීම් යටපත් කරන්න දෙමාපියෙක් ඉදිරිපත් වෙන්න මූලික වෙන්නේ සෘණාත්මක හැඟීම් සහිත වට පිටාවක ක්‍රියා කිරීමට දෙමාපියන් තුළ හැකියාවක් නොතිබීමයි. මොකද වැඩිහිටි ඔබට සෘණාත්මක හැඟීමක් ආ විට ඔබ හැසිරෙන ආකාරය කොහොමද කියලා ඔබම නොදන්නා නිසා ඔබ සෘණාත්මක හැඟීමකට ඉඩ දෙන්න අකමැතියි. ඔබට පුළුවන් නම් ඔබ තුළ වගා කරගන්න ”මට සෘණාත්මක හැඟීම ආපු වෙලාවට ධනාත්මක හැඟීමක් ආපු වෙලාවට තරම්ම නොවුණත් යම්කිසි මට්ටමකට මම මාව හසුරුවා ගන්නවා, දරාගෙන ඉන්නවා” කියන දේ එය ඔබේ දරුවාටත් ලබාදෙන්න.

ඔබේ දරුවාටත් සෘණාත්මක මානසික තත්ත්ව යටතේ ක‍්‍රියාත්මක වීමේ හැකියාව වර්ධනය කිරීමට නම් දරුවාට පරාජය වෙන්න ඉඩ දෙන්න. දරුවා පරාජයන්ගෙන් බේරගැනීමෙන් වලකින්න. සාමාන්‍යයෙන් දෙමාපියන් තම  දරුවන් පරාජයට ලක්වීම නතර කිරීමට ලොකු උත්සහයක් ගන්නවා. දරුවාට තමාගේ වැරදි තීරණවල ප‍්‍රතිඵල විඳින්න ඉඩ දෙන්න. නමුත් ඔබ දරුවාගේ පරාජයේදීත්, වැරදීමකදීත්  නොවෙනස්ව දරුවාට ආදරය දක්වන්න. අද වෙද්දී අපේ සමාජය තුළ දකින්න ලැබෙන බොහොමයක් කනගාටුදායක් සිද්ධීන්වලට මේ තත්ත්වය බලපා ඇති බව කිව හැකියි. දෙමාපියන් දරුවන්ට පරාජයට පත්වීමට ඉඩ නොදෙන විට ඒ දරුවා කවදාවත් තමා ගත්ත තීරණවල වැරදි ප‍්‍රතිඵල පිළිබඳව අත්දැකීමක් ලබන්නේ නැහැ. ඒත් අපේ තීරණවල වැරදි ප‍්‍රතිඵල හරහා අපේ තීරණ කොයි තරම්  ප‍්‍රබලද යන්න අපි වටහා ගන්නවා. මෙන්න මෙතැනදී අපේ තීරණවල ප‍්‍රබලතාවය දැනගන්න අපේ තීරණ වැරදෙන එක බොහොම වැදගත් වෙනවා. දරුවෙක් විවිධ මානසික මට්ටම් යටතේ හොඳ තීරණ ගැනීම අවශ්‍ය නම් කළ යුත්තේ දරුවාට පරාජය වෙන්න ඉඩ හැරීමයි. පරාජය දරාගැනීමට හුරු කරවීමයි. මනා පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු ලෙස ඔබේ දරුවා සමාජගත කිරීමට නම් ඔබ කළ යුත්තේ ඕනෑම මානසික මට්ටමක් යටතේ හොඳ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීමයි. එසේම පරාජයේදීත් වැරදීම්වලදීත් ඔබ ඔබේ දරුවාට එක සේ අසීමිතව ආදරය දක්වන්න.

කිලිනොච්චිය මූලික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ වෙනුර පලිහවඩන මහතා සමග සකසන ලද ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article