අලුත් අම්ම කෙනෙක් වෙනවා කියන්නේ ගැහැණියකගේ ජීවිතයේ තවත් අලුත් ඉපදීමක්. ගොඩක් බිරින්දෑවරු ආසාවෙන් ඉන්න ඒත් අම්ම කෙනෙක් වෙන්න ලං ලං වෙනකොට චුට්ටක් විතර බයක්, චකිතයක් ඇතිවන දෙයක්.. දරුවෙකු ලැබෙන්න ඉන්න කොට අපි නොයෙක් හීන දකිනවා..අනේකවිද සැලසුම් සකස් කරනවා..බබා හම්බුනාම මම මෙහෙම කරනවා..මෙහෙම වෙනවා..ඔය වගේ ගොඩක් දේවල්.. ඉතින් ඔහොම ඉදලා ඉදලා බබා ලැබුනට පස්සේ අලුත්ම අත්දැකීම් ගොඩකට මුහුන දෙන්න වෙනවා එක රැයකින්ම.
මේ වෙනස්වීම අලුත් අම්ම කෙනෙක්ට තදින්ම දැනෙනවා. එයාට ගැටලු ගොඩක් තියෙනවා මුල් වරට..තාම සැකසී නැති පියයුරු වලින් කිරි දීමේ ඉදලා, නොකඩවා නිදි වැරීම්, බබාගේ හැඩුම්, බබාගේ මල පහ කිරීම් වැනි එකී මෙකී නොකී බොහොම දේවල් ඇය මුල් වරට අත් විදිනවා. ඒ විතරක් නෙමෙයි දරුවා ලැබීමේ ක්‍රියාවලිය නිසා වෙනස්වුනු ඇයගේ සිරුරේ ක්‍රියාකාරීත්වය , රිදුම් සහ අපහසුතාවයන් වලටත් ඇය අලුත්.
මේ සියලු දේයට ඇය දන්න අයගෙන් උපදෙස් පතනවා. සායනවලින් ලබා දෙන දැනුමට එහා ගිය තොරතුරු සොයන්න පෙලබෙනවා. ඇය බලාපොරොත්තු වෙන්නේ ඇයව දිරිමත් කිරීමක්. හිත ශක්තිමත් කිරීමක්. ඇය නොදන්නා හෝ ඇය තවම හැඩ ගැහෙමින් පවත්නා ජීවිතයේ ඇද කුද, දුර්වලකම් පැවසීම හෝ ඇය නොදන්නා කාරනා ගැන තොරතුරු පවසා ඇයගේ මනස වියවුල් කිරීම හෝ නොකල යුතු කාරණයක්. නමුත් අවාසනාවකට අද සමාජයේ සිදු වන්නේත් මෙයමයි. කෙනෙක් මුහුන දී ඇති යතාර්ථය මානුශිකව සහ සංවේදී ව තේරුම් අරගෙන වචන පරිහරණය කරන අය අද සමාජයේ ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. ඔබත් මේ ලිපිය අවසානයේ කල්පනා කර බලන්න, ඔබ කුමන වර්ගයේ කෙනෙක්ද කියා.
මම මේ ලිපියෙන් දරුවෙකු ලත් අලුත් අම්මා කෙනෙක් (අලුත් විතරක් නෙමෙයි දරුවන් ලද ඕනම අම්මා කෙනෙක්) අහන්න අකමැති වාක්‍යයන් කීපයක් සදහන් කරන්න හිතුවා. මේවා මගේ අත්දැකීම් පමණක් නෙවෙයි වෙනත් අම්මලාගේ අදහසුත් පදනම් කරගෙන තමයි ලියන්නේ…
*අම්මෝ හරියට මහත් වෙලා/ කෙට්ටු වෙලා නේද?
*බඩ නම් තාම බබා හම්බවෙන්න ඉන්නවා වගේ නේද?
*ඔයා හරියට කලු වෙලා නේද?
*ඇස් වටේ හරියට කලුවෙලා..ඒ මොකද?
*ඔයාගේ බ්‍රෙරෙස්ට් දෙක සයිස් දෙකක් නේද?
මේ ඉහත කාරණා ටික ඉතින් ඒ අම්මාත් හොඳටම දන්න සහ දැනෙන දේවල් නේද? ඉතින් අපි මොකටද මේවා නැවත නැවත එයාට මතක් කරල දෙන්නේ..? මොකද ඒ අම්මාට වද වෙන්න ඊට වඩා වැදගත් කාරණා එමටයි. විශේශයෙන් එයාට ලැබුනු අලුත් බබා ගැන වද වෙන්න කාරණා ඕන තරම් තියෙනකොට අම්මා එයාගේ ඇග ගැන වදවෙන එක කල් දාලයි තියෙන්නේ…එහෙම නේද? ඉතින් ඔය ටික ඒ අම්මගෙන් අහන්නම ඕනද?
අලුත උපන් බබාට කිරි දෙන්න මහන්සි වෙන අම්මා කෙනෙක්ට අහන්න නුසුදුසුම දෙයක් තියෙනවා..
*”ඔයාට කිරි නැහැ වගේ නේද?” * කිරි එන්නේ නැහැ වගේ නේද?” * බබාට කිරි මදි , ඒකයි අඩන්නෙ “
මේවා ඇහෙනකොට ඒ අම්මලාගේ හදවතට ඉදිකටු අනිනවා වගේ. මටත් පෞද්ගලිකව මේ දේ වුනා. දරැවා ලැබුනු ගමන් සීසර් කරපු අමාරැවත් එක්ක කිරි දෙන්න දගලපු මට දිගටම මේ කාරණාව මන්තරයක් වගේ ඇහෙන්න ගත්තාම ආවේ දුකක් නෙවෙයි තරහවක්. මුල් වරට දරැවෙක් ලබපු අම්ම කෙනෙක්ගෙ පියයුරු දරැවාට පහසුවෙන් කිරි උරා ගැන්මට තරම් සැකසී නැහැ . ඒ වගේම දරැවාට කිරි උරන්නට සහයෝගයක් දෙන්න අලුත් අම්මා දන්නේත් නැහැ. එහෙත් ඇයගේ පියයුරැ වල කිරි පිරී තිබේ. බොහෝවිට දරැවාට සහ අම්මා ට මේ වෙලාවට උදව් කරන්නේ රෝහලේ හෙද සොහොයුරියන් …අන්න එවන් ධෛර්යමත් කිරීමක් තමයි අලුත් අමමෙක්ට ඕන කරන්නේ..
මේ කාරණා වලට අමතරව අලුත් අම්මලා මුහුණ දෙන ව්ශාලම අභියෝගය තමයි දරැවාගේ එදිනෙදා කටයුතු සම්බන්දයෙන් එල්ල වන විවේචන. බබාව පිරිසිදු කිරීමේ කටයුතු වල ඉදලා බබාට කවන
පොවන දේවල් , ඒවා කවන ආකාරය වගේ දේවල් ගැන ඕන තරම් දේවල් කියන්න අය තමන්ගේ ගේ ඇතුලේම ඉන්නවා ඇති, එහෙම නේද ? දරුවාගේ සායනයේදී වගේම වෛද්‍යවරයා දුන්න උපදෙස් පරිදි
කටයුතු කරන්න අමාරු අම්මල ඕන තරම් මට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසි උපදෙස් ක්‍රියාත්මක කිරීමට යාමේදී තමන්ගේ මවගෙන් හෝ විශේෂයෙන් නැන්දම්මා ගෙන් එල්ලවන විවේචන සහ බලපෑම් නිසා අලුත් අම්මා හිත් රිදවීම් වලට මුහුණ දෙනවා විතරක් නොවෙයි; ඇයට කුමක්ද හරි විදිය කුමක්ද වැරදි විදිය යන්න තීරනය කර ගැනීමට නොහැකි ව තනිවම අතරමං වෙනවා. මෙවන් මව්වරු දරුවා සම්භන්දයෙන් වැරදි තීරන හුගක් ක්‍රියාත්මක කරන්න පෙලඹෙන අවස්තා ඕන තරම් මම දැක තියෙනවා. එවන් මව්වරු තමයි අවුරුද්දට අඩු දරුවන්ට ලුනු, සීනි දෙන්නේත්, තමන්ගේ රන් හා සමාන මව් කිරි දෙවනුවට තබා පිටිකිරි ( වඩා ගුණ යැයි සිතා) දීමට පටන් ගන්නේත්, දරුවා ඉපදී සති කීපයෙන් වතුර පෙවීමට යන්නේත්, මාස 2,3 පිරුණු දරුවාට ප්ලතුරු යුශ වැනි ආහාර දෙන්න පටන් ගන්නේත්…. ඒ නිසා ඔබ, මෙසේ මව්වරුන්ට සායන වලින් දෙන උපදෙස් අවතක්සේරු කරන කෙනෙක් නම්, ඔබ අනතුරේ හෙලන්නේ අර අහිංසක දරු පැටියෙකු නේද?
මේ කාරණා වලට අමතරව ඔබත් අලුත් අම්මා කෙනෙක්ට මේ වගේ කියමන් පාවිච්චි කරනවාද?
*ඉක්මණට ව්‍යායාම කරන්න; නැත්නම් ඇග කැතවෙයි
*ඔයා ආපහු ඔෆිස් යන්නේ කවද්ද?
*කොච්චර කාලයක් කිරි දෙන්න හිතාගෙන ඉන්නවද?
*දැන් ඊලග බබා හදන්න කාලය හරි .
*දැන් පුතෙක් නේ ඉන්නෙ; ඉක්මණින් දුවෙකුත් හදා ගන්න
*බබාව “ඩේ කෙයා” දාන්නෙ නැහැ හරි හමන් දෙමව්පියෝ. ඔයා මොකද කරන්න ඉන්නෙ..?
*අපරාදේ..බබා නිසා රස්සාවත් නැති වුනා නේද?
*ඔහොම තමයි, ගෑනු ලමයින් ගේ උගත් කම දරුවො ලැබුනට පස්සෙ වැඩක් නැති වෙනවා.
මේ මම ඉහතින් සදහන් කල ඒවා වගේ තවත් කියමන් ඕන තරම්. මේවා නම් ඉතින් සාමාන්‍ය කියමන් නෙ ..මේවා කිව්වාම ඇයි කාටත් හිත රිදෙන්නෙ කියල අපිට හිතෙයි. මේවා සාමාන්‍ය වුනත් ඒ අදාල ප්‍රශ්නය ට මුහුණ දීලා ඉන්න අම්ම කෙනෙක්ට එයාගෙ සිත අදෛර්‍යමත් වීමට හේතුවක් වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස මම සදහන් කලොත් යම් අම්මා කෙනෙක්ට කුමක් හෝ සංකූලතාවක් නිසා නැවත දරුවන් ලැබිය නොහැකි අවස්තාවක “දැන් ඊලග බබා හදන්න කාලය හරි .” කියල ඔබ කිව්වොත්, කීයෙන් කී දෙනෙක් ඔබට ඇයගේ ප්‍රශ්නය විවුර්තව පවසයිද? කීයෙන් කී දෙනෙක් නිහඩව තමාගේ නොහැකියාව ගැන කදුලු සලයිද? ඉතින් මේ වගේ සාමාන්‍ය වාක්‍යයකට වුනත් කෙනෙක්ගේ හිත සසල කිරීමට පුලුවන් කියන කාරණය තමයි මම පිලිගන්න දෙය.
දැන් අපිටම හිතෙයි මෙහෙම ගියාම කිසිම දෙයක් කතා කරන්න බැහැනේ කියලා.කියන කියන හැම දෙයින්ම වැරැද්දක් ගනීවි කියලා. නමුත් මම හිතන්නේ අපි කවුරුත් අපි යමක් කියන්න කලින් ඒ දෙය අසන්න සූදානම් වන තැනැත්තාගේ සාක්කුවට බැහැලා එයා හිතන පතන විදිය ගැන පොඩ්ඩක් හිතන්න පුරුදු වුනොත් ඒ තැනැත්තා එක්ක කතා කරන්න ලොකු අපහසුවක් අපිට දැනෙන එකක් නැහැ . සමහර විට දුර දිග නොබලා කියන වචන 10 කට වඩා අහන කෙනාගේ පැත්තෙන් හිතලා කියන වචන 2,3 කින් ඒ කෙනාගේ ඒ මොහොත සතුටින් පුරවන්න, එයාගේ සිත දිරිමත් කරන්න ඔයාට පුලුවන් වෙයි..
ඉතින්, මෙය කියවන ඔයාලගෙ මේ සම්භන්ද අදහස් සහ අත්දැකීම් දැනගන්න කැමති යි.