එක රැයකින් දරුවට හොඳ දේ පුරුදු කරන්න පුළුවන්ද?

මොනතරම් ගුණ වුනත්, රස වුනත්, වැදගත් වුනත් දරුවන්ට ඒවායේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. වටිනාකම අපි කියල දුන්නත් ඔවුන් ඒවා පිළිඅරගෙන ක්‍රියාත්මක වෙන්න තරම් පැසුණු බුද්ධියකින් යුක්තත් නැහැ. අපි පමණට වඩා පෙරැත්ත කලොත් මොන විදිහටවත් ඒ වෙනුවෙන් දරුවා යොමු කිරීමත් අපහසුයි.

අද බොහෝ ළමා මනෝවිද්‍යාඥයින් සඳහන් කරන අන්දමට දරුවාට යම් යම් තෑගි දෙන බවට පොරොන්දු වෙලා ඔවුන්ගෙන් විවිධ කාර්යන් කර ගැනීම එතරම් හොඳ නැහැ. එවිට දරුවන් හිතන්නේ මේ විදිහට බලපෑම් කරන්නේ එහි කුමන හෝ අඩුවක් ඇති නිසාම වෙන්නැති බවයි. ඒ නිසා සමහර විට ඔවුන් තෑග්ග දුන්නත් එය ප්‍රතික්ෂෙප කරන්න පුලුවනි. එහෙම නැත්නම් නැවතත් තෑග්ගක් දෙනවා කියන වචනය දෙමව්පියන්ගෙන් නික්මෙන තුරු අදාල කටයුත්ත නොකර සිටින්නත් පුලුවන් බව ලන්ඩන් යුනිවසිටි කොලිජියේ මහාචාර්ය ”ජේන් වෝඩල්” සඳහන් කරනවා. එහෙම නම් අපි හොඳ දේ දරුවාට පුරුදු කරන්නේ කොහොමද…?

  • එක රැයකින් නම් බැහැ…

දරුවාට හොඳ දේවල් පුරුදු කිරීම එක රැයකින් කරන්න බැහැ. ඒවා දැනුම් තේරුම යාන්තමින් ලැබෙන දා පටන්ම සිදු විය යුතුයි. උදාහරණයක් විදිහට අපි දරුවන්ට පුංචි කාලයේ ඔවුන්ගේ කිරිවලට සීනි නොදමා දුන්නොත් ඔවුන් පසුකාලයේදී සීනි රස ඉල්ලමින් කලබල කරන්නේ නැහැ. ඒ ඇයි කිව්වොත් ඔවුන්ගේ දිව සීනි රසය දන්නේ නැහැ. අන්න ඒ වගේ හොද දේවල් දරුවාට බාල කාලයේ පටන්ම හුරු කිරීම වැදගත්. බෙදා හදා ගැනීම වැනි දේ පුංචි කාලයේදී දරුවාට ප්‍රායෝගිකව වටහා ගැනීමට ඉඩ නොදී පසුකාලයකදී ”අනේ දරුවා බෙදා හදා ගෙන කරන්න ඉගෙන ගන්න” කීවාට එය නිෂ්ඵල කාර්යක් වෙනවා.

  • අලුත් විදිහට පටන් ගන්න..

දරුවන් නිතරම අලුත් වෙන්න කැමැතියි. ඒ වගේම අලුත් අත්දැකීම් ලබනන් කැමැතියි. ඒ නිසා හොඳ දේ මෙයයි…නරක දේ මෙයයි…කියනවාට වඩා ඒවා අලුත් විදිහට දරුවාට දිශාගත කලොත් වඩාත් වැදගත් වේවි. ලන්ඩන් විශ්වවිද්‍යාල ආයතනයේ සිදු කළ පර්යේෂණ වාර්තාවක දැක්වෙන අන්දමට වයස අවුරුදු පහක් පමණ වයසේ පසුවෙන දරුවන් සෞඛ්‍යට හිතරක ආහාර දුටු පමනින්ම ඒවා රසයෙන් අඩු බව සලකා ප්‍රතික්ශේප කරන්න බොහොම හපන්නු. අන්න ඒ වගේම දරුවන් නිතරම හොද දේ ප්‍රතික්ශේප කරනවා වගේම නරක දෙයට යොමු වෙන වේගය වැඩියි. ඒ නිසා දරුවාට වඩාත් අගය කළ යුතු දේවල් අලුත් විදිහට ලබා දුන්නොත් ඔවුන් ඒවා අනුගමනයට දක්වන කැමැත්ත වැඩි වෙන්න පුලුවනි. උදාහරණයක් විදිහට උදේ පටන් හවස් වෙනතෙක් ”අනේ පිළිවෙළට වැඩක් කරන්න” කියනවාට වඩා පිළිවෙළකට තිබෙන ඡායාරූප, ඒ වගේ දරුවන් ගැන තොරතුරු අසන්න, දකින්න ලැබුනොත් දරුවා නොදැනීම පිළිවෙළට යොමු වෙන්න පුලුවනි.

  • දරුවන් අගය කරන්න

පුංචි වුනත් තමන් අගය කරනවාට දරුවන් කැමැතියි. ඒ සාමාන්‍ය මිනිස් ස්වභාවය. දරුවන් වෙතින් වුනත් මේ තත්වය වෙනස් වෙන්නේ නැහැ. තමන් කරන නරක දෙයට දොස් නගනවාට වඩා පුංචි වුනත් කරන හොද දෙයට ඇගයීමක් ලබා දෙනවා නම් දරුවන් බොහොම කැමැතියි. අපි නිතරම දරුවා යම් නොකළ යුතු දෙයක් කලොත් ඒ වෙනුවෙන් දොස් නගන්න නම් බොහොම කැමැතියි. සමහර විට ඒ තත්වය සීමාව ඉක්මවා යන තරම්ම දරුණුයි. නමුත් හොඳ දෙය වෙනුවෙන් ඒ තත්වය ඇති වෙන්නේ නැහැ.ඉතින් ඒ නිසා දරුවා පුංචි වුනත් හොඳ දෙයක් කලොත් ඒ වෙනුවෙන් ඔවුන් අගය කරන්න. ඒ ඇගයීම නැති වුනොත් දරුවාට තව තවත් හොඳ දේවල් කිරීමට එතරම් උත්තේජනයක් ඔවුන්ගේ හදවතින්ම ගොඩ නැගෙන්නේ නැහැ.

  • අවවාදයට වඩා ආදර්ශය උතුම්

ඒක ඉතින් අමුත්තක් නොවෙයිනේ.. අර කතාවට කියන්නා වගේ ඔබ හරහට ගොසින් දරුවා කෙලින් යන්න කිව්වාට වැඩක් තියෙනවායැ. ඒ නිසා කාලය පිරිමහින, අනුන්ට උදව් කරන, බෙදා හදා ගෙන වැඩ කරන කටයුතු ගැන ඔබ ආදර්ශයෙන් පෙන්නුම් කලොත් දරුවාත් නොදැනීම ඔබව අනුගමනය කරාවි. එහෙම වුනාම වචන දහස් ගණනකින් ඔබ දරුවාට ලබා දෙන අවවාදවලට වඩා මේ ආදර්ශය උතුම් වෙන්න පුළුවනි. එහෙම නැතුව ඔබ වැරැදි විදිහට කටයුතු කරමින් ”අනේ දරුවා තවත් කෙනෙකුට උදව්වක් වෙන්න පුරුදු වෙන්න” කියද්දී  ”හරි…මට කියන්න අම්මා…තාත්තා කාටවත් උදව් කරනවාද….?” මේ විදිහට ඇහුවොත් ඇත්තටම ඔබ නිරුත්තරයි නේද….?

ටෙලිග්‍රාප් පුවත් ඇසුරිනි

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here