රැකබලාගන්නා අන්දම අනුව දරුවාගේ හැසිරීම වෙනස් වෙයිද?

අද කාලයේ බොහෝ පවුල්වල අම්මා, තාත්තා දෙන්නම රැකියා කරනවා. ඒ නිසා ළදරු කාලයේ පටන්ම දරුවන් වෙනුවෙන් රැකවරණයක් ලබා දීමට ගැලපෙන කෙනෙක් පවුල් සංස්ථාවේ නැහැ. සමහර විට දරුවා යැපෙන්නේ අත්තම්මා, සීයා සමීපයේ, සේවිකාවක යටතේ හෝ මේ දෙකම නොමැති නම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙන්න පුලුවන්. සමහර විට ආච්චි, සීයා සමග ගෙවන දරුවන්ට වඩා සේවිකාවක හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටින දරුවන්ගේ වෙහෙසකර තත්වය වැඩි වෙන්න පුලුවනි.ඊට බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • දරුවාට ආදරයක් නැහැ

අත්තම්මා සීයා නම් දරුවාට තමන්ගේ ලේ සුවඳ සමග වූ බැඳීමක් තිබෙනවා. ඒ නිසා ඔවුන් දරුවා බොහොම ආදරයෙන් රැකබලා ගන්නවා. ‘‘ටයිම් “ සගරාවේ සඳහන් අන්දමට දූ පුතුන්ගේ දරුවන් බලා ගැනීම නිසා අත්තම්මලා , සීයලා තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන නොසලකා සිටීම නිසා ඔවුන්ට හෘදයාබාධ වැළඳීමට තිබෙන අවදානම 55% කින් ඉහළ ගොස් ඇති බව කාන්තාවන් 55,000 ක් අලලා සිදු කරන ලද සමීක්ෂණයකින් හදුනාගෙන තිබෙනවා. ඔවුන් තමන්ගේ දිවි දෙවැනි කොට මුනුපුරන් රැක්කත් ඒ ආශිර්වාදය නැති වගේම අත්තම්මලා සීයලා සෙවනේ වුනත් දරුවාගේ මානසිකත්වය තේරුම් නොගතහොත් ඇති විය හැකි අවදානම බොහොම බරපතලයි.

ඒ නිසා දරුවන්ගේ හිතේ අම්මාට තාත්තාට කියනන්ට නොහැකිව හිර කර ගෙන සිටින සිතුවිලි නිසා ඔවුන් නොදැනීම මානසික ආතතියට පත් වෙන්න පුලුවනි.

දරුවන්ට අඩන්තේට්ටම්..

සේවිකාවක යටතේ නිවසේ හුදෙකලාව හැදෙන වැඩෙන දරුවන් බොහෝ විට ඔවුන්ගේ අඩන්තේට්ටම්වලට පත් වෙනවා. සේවිකාවන් ඔවුන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීමට අවශ්‍ය විදිහට දරුවා හසුරුවා ගන්නවා. ඒ නිසා දරුවාට නිදහසේ හැසිරෙන්න බැහැ.සමහර අවස්ථාවල දරුවා නිදි කරවීමට ‘‘පෙරිටන්“ වැනි සිරප් වර්ග පවා ලබා දුන් අවස්ථා ගැන වාර්තා වෙනවා. ඒ වගේම මව සහ පියා කාර්යාලයට ගියාට පසුව නිවසේ දරුවාද සමග නගරයට ගොස් සිඟමන් යැදි සේවිකාවන් ගැනත් තොරතුරු තිබෙනවා. ඒ නිසා මෙහෙකාරියන් යටතේ සිටින දරුවන්ගේ ගැන දෙමව්පියන් නිතරම අවදියෙන් සිටීම ඉතාම වැදගත්.

ලිංගික අපයෝජනබොහෝ අවස්ථාවන්හිදී මෙහෙකරැවන් විසින් දරුවන් ලිංගිකව අපයෝජනය කළ අවස්තා ගැනත් වාර්තා තිබෙන නිසා එහෙමදේවල් සිදු වීමට ඉඩක් නැත්තේමත් නැහැ.

  • අධ්‍යාපන කටයුතු ගැන බලන්න කෙනෙක් නැහැ…

දැනුම් තේරුම් ඇති අත්තම්මලා නම් දරුවන්ගේ අධ්‍යාපනය ගැන සොයා බැලුවා සේම මුනුපුරන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් විපරම් කරනවා. ඒ අවිදිහට නොබලන පරිසරයකදී නම් දරුවා පංතියේ පසුගාමී චරිතයක් බවට පත් වෙන්න පුලුවනි. ඔවුන්ට බාල කාලයේදි ඉගෙනුමට උදව්වක් නොලැබුනොත් දැන් පවතින තරඟය සමග ඉදිරියට යෑම අපහසුයි. ඒ නිසා පසුදිනට තිබෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය අතිරේක ඉගෙනුම් ද්‍රව්‍ය, පාඩම්, දැනුම් ද්‍රව්‍ය සොයා ගෙන එක්රැස් කර දෙන කෙනෙක් නැති වෙන්න පුලුවනි. රෑ බෝ වී නිවසට එන අම්මාට ,තාත්තාට මේ වෙනුවෙන් කාලයක් නොමැති නිසා දරුවාගේ ඉගෙනුම නොදැනීම පසුගාමී වීම සාමාන්‍ය දෙයක්.

  • මිතුරන් සමග නොමනා ඇසුර

දරුවන් නොදැනීම අත්වැල ලිහී ගිය තත්වයට පත් වුනොත් ඔවුන් කුමන හෝ විකල්ප විනෝදයන් සහ ඇසුරු ගොඩ නගා ගන්නවා. පාසල ඇරී කලට වේලාවට නිවසට නොපැමිනීමෙන්  පටන් ගන්නා මේ තත්වය නොදැනීම ඉතා දරුණු තත්වයට පත් වෙන්න පුලුවනි. බාල කාලයට වඩා මේ තත්වය ඇති වෙන්නේ නව යොවුන්වියේදීයි. එවිට දරුවා නිවසේ හුදෙකලාව රැඳෙන පරිසරයක් ගොඩ නැගී තිබෙනවා. හවස් කාලයම ඔහු ගැන සොයන විමසන කෙනෙක් නොමැති නිසා තමාගේම ලෝකයක අතරමං වීම නිසා මේ අන්දමේ පරිසරයක් ගොඩ නරක මිතුරන් සමග ඇසුරට ඉතාම පහසුවෙන් යොමු වීමට පුලුවනි.

  • දරුවා මුරණ්ඩු වෙන්න ඉඩ තිබෙනවා..

ආච්චි, සීයා යටතේ හැදෙන දරුවන් නිතරම ඔවුන් මට්ටු කර ගෙන තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ උපයා ගන්න තත්වයට පත් වෙනවා. ඒ නිසා මේ දරුවන් තුළ නිතරම ඇත්තේ මුරන්ඩු ස්වරූපයක්. ඔවුන් දෙමව්පියන්ටත් මෙල්ල නොවන තතත්වයට පත් වෙන්න පුලුවනි. ඒ වගේම දිවා සුරුකුම් මධ්‍යස්ථානයක එහෙම නැත්නම් සේවිකාවක යටතේ හැදෙන දරුවන්ට හිතේ සිරවී තිබෙන ආවේග මුදා හරින්න අවස්ථාවක් ලැබෙන්නේ දෙමව්පියන් ඉදිරියේදියි. ඒ නිසා දරුවන් තුළ පමණට වඩා මුරණ්ඩු ගති පැවැතුම් වගේම ආවේගශීලී හැසිරීම් රටාවන් ගොඩ නැගෙන්නත් පුලුවනි.

මේ සියල්ල ඇත්ත වුනත් දරුවයි, රැකියාවයි දෙකම එපායැ.  ඒ නිසා රැකියාවක නිතර දෙමව්පියන් තමන්ගේ දරුවා ගෙන අවධානය දක්වන්න ඕන. එහෙනම් නිවසට පැමිණි පසුව දරුවාගෙන් දවසේ ආගිය තොරතුරු ටිකක් අහන්න. කාර්යාලයේ සිටියත් දුරකථනයෙන් හෝ අමතන්න. නිවසට පැමිනීමට පෙරාතුව ඔහුට හෙට දිනයට අවශ්‍ය යමක් තිබෙනවාදැයි විමසා සිටින්න. ඒ වගේම දරුවා ඇසුරු කරන මිතුරන් ගැන ඔබත් දැගෙන සිටින්න.

ටයිම් සඟරාව ඇසුරිනි

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here