- Advertisement -

පොඩ්ඩක් දන්න එක මුකුත් නොදන්නවාට වඩා භයානකයි කියලා කියනවා නේද?

-

සියත රේඩියෝවේ ”රෑ දහයයි ගී දහය” ඔබත් අහනවා ඇති. මමත් නොවරදවාම අහනවා. බොහොම ආදරණීය ගීත ගොන්නක් පැයක් ඇතුළත ලස්සනට කැටි වෙන්නේ ගීත තෝරන කෙනාගේ සුන්දර අත්දැකීම් හෝ රසවින්දන හැකියාවත් එක්ක. මේ මෑත දවසක මේ වැඩසටහනට සම්බන්ධ වුණා මගේ සරසවි මිතුරෙක්, මාලක වැලිගොඩපොල. බොහොම දක්ෂ රචකයෙක්, ජායාරුප ශිල්පියෙක්. හැමදේටම වඩා කතාවට බොහොම දක්ෂයෙක්. ඉතින් එදත් රෑ දහයයි ගී දහය බොහොම රසවත්. ඒ වැඩසටහනේ මගේ හිතට තදින්ම කා වැදුණු එක තැනක් තිබුණා. සුනිල් එදිරිසිංහයන්ගේ ”ඉස්සර මං ගිය පාසල ඇරිලා” ගීතය ඔහු තේරුවේ ඒ කතාවේ ඉන්න පුංචි දරුවා ඔහුගේ පුතා විදියට ඔහුට දැනිල තිබුණු නිසයි. ඔහු ඒ ගීතය තෝරද්දී ”අමූලික ඇත්ත” කතාවකුත් කිව්වා.

”මම දරු දෙදෙනෙක්ගේ පියෙක්. මගේ එක පුතෙක් බොහොම දඟකාරයි. අනිත් පුතා ඊට හාත්පසින්ම වෙනස්. ඔහු කටේ ඇඟිල්ලක් ගහගෙන ඔහේ බලාගෙන ඉන්න විදියේ චරිතයක්. දෙන්නට දෙන්නා හාත්පසින්ම වෙනස්. දැන් දැන් අපේ රටේ තියෙනවනේ දරුවෝ දිහා බලලා මෙයා හයිපරැක්ටිව් දරුවෙක්, මෙයා ඔටිසම් දරුවෙක් කියලා නිකන්ම නිගමනය කරන තත්ත්වයක්. අද වෙනකොට දරුවෙක්ව ලෙඩ රෝගවලින් විස්තර කරන්න පුරුදු වෙච්ච පරම්පරාවක් තමයි තියෙන්නේ. ඇත්තටම ඒක නම් හරි කරුමයක්

- Advertisement -

මේ කතාව කිව්වේ මුකුත් නිසා නෙවෙයි. අද වෙනකොට දන්න අයටත් නොදන්නා අයටත් වඩා වැඩියෙන් ඉන්නේ හැමදේම ගැන ටිකක් දන්න අය. ඉතින් මේ තත්ත්වෙත් එක්ක අපේ වටපිටාව ටිකක් විතර භයානකයි. මොකද අපි දැනුවත් වෙන්නේ හරි තොරතුරක් ඇතිව නොවන නිසා.  දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් උනත්, දරුවෙක් ලැබුණු අම්මා කෙනෙක් වුනත්, දරුවෙක් ගැන වුනත්, වැඩිහිටියෙක් ගැන වුනත් මේ විදියට ක්‍ෂණික තීරණ අරගෙන තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න අද වෙද්දී අපේ වටපිටාව පසුබට නොවෙන්නේ තමන් හැමදේම දන්නවා කියන අදහස නිසා. ඇත්තටම කිව්වොත් අද වෙද්දී කිසිම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වුර්තිමය පළපුරුද්ද හෝ සුදුසුකම් සහිත පුද්ගලයන් අවශ්‍ය නැති තත්ත්වයක් ඇතිවෙලා. සමාජ මාධ්‍ය හරහා ඒ තරමටම සමාජය දැනුවත් වෙනවා. කිසිදු බියකින් තොරව තමන් දන්නා දේ හරි හෝ වැරදි වේවා පිරිස අතර බෙදා හරිමින් විශ්වසනීයත්වයෙන් තොර දැනුවත් කිරීම් ඇතැම් විට තවත් අයෙකුගේ ජිවිතයට තර්ජනයක් වෙන්න වුනත් බැරි නැහැ.

තමන් ලබපු අත්දැකීම් එක්ක වෛරය වපුරන්නත්, තව කෙනෙක් ලබන ආදර සැලකිල්ලක් දැක්කම ඒකට ඊර්ශියා කරන්නත් හෙළා දකින්නත් පසුබට වෙන්නේ නැත්තේ එක අතකින් තමාට හැර ආදරණීය අත්දැකීම් අනිත් අයට අකැප ලෙස සිතන නිසා හෝ ආදරණිය අත්දැකීම් තමාට නොලැබෙන නිසා හෝ විය හැකියි. අන්න ඒ නිසයි ”හබී මතම ඩිපෙන්ඩ් වෙන්න එපා” කියා ලියන අතම තමා දුන් උපදෙස් මාලාව මතකයේවත් නැතිව සැමියා නැතිව ගෙවන පැයක කාලය කොතරම් දිගුද කියා ලියන්නට නැවෙද්දී  ” ඔයාලට වගේ නෙවෙයි අනේ මට නම් එයා නැතිව බෑ” කියා පෙන්වන්නට දරන උත්සාහය අනෙක් කාන්තාවන් වටහා ගත යුතු වෙන්නේ. තමන්ගේ පවුල් ජිවිතය ගැන, දරුවන් ගැන කොටින්ම නිවසේ සිටින සුරතලා පිළිබඳව පවා ඉහළින් වර්ණනා කළත් තවත් හිතවතෙකුගේම හිත රිදවීමට දරුවෙකුගේ හෝ සැමියෙකුගේ අඩු පාඩු ගැන කතා කරන්න මෙවැනි පිරිස් පසුබට වෙන්නේ නැහැ. ”ඒක නම් මාර ෆැමිලි එකක්” කියා සිතමින් ඔවුන් වටේ රොක් වන බොහෝ දෙනෙක් නොදන්නා කරුණ වන්නේ සමාජය හදන්නට වෙහෙසෙන බව පෙන්වන වැඩි පිරිසක් තම පෞද්ගලික ජීවිතය තුළදී පිටතට ලබා දෙන උපදෙස් නම් සියයට දහයක්වත් පිළිනොපදින බවයි.

මෙවැනි චරිතයක යම් අඩුපාඩුවක් ඔබ පෙන්වා බලන්න, ඔබ ඔවුන්ව පිළිගත්තාක් මෙන් ඔබේ එක වචනයක් ඔවුන් පිළිගන්නවාද කියා. නැත. ඔබේ දරුවාගේ යම් තත්ත්වයක් ඔබ ඔවුන් සමග පවසා ඔවුන් දරුවාට ඔටිසම් බව තීරණය කළොත් වෛද්‍යවරුන් දහසක් නැත යැයි පැවසුවද ඔවුන් ඔබේ දරුවාට ඔටිසම් බවට ස්ථිරව නිගමනය  කරයි. අන්තිමේදී ඔවුන්ගේ දැනුවත් කිරීම් උපදෙස් මාලාවන් අවසන් වන්නේ ඔබවත් ඔටිසම් තත්ත්වයට පත් කරමිනි.

දරුවන්ගේ මානසික තත්ත්ව ගැන කිසි දැනුමක් තේරුමක් නැතත් මුහුණු පොතෙන් හෝ පුවත් පතකින් හෝ දකින දෙයක් අරඹයා යම් දරුවෙක් මානසික රෝගයකින් පෙළෙනවා කියන තැනට එනවා විතරක් නෙවෙයි බහුතරයක් ඒ පිළිබඳව දරුවා ඉදිරියේදීම ප්‍රකාශ කර සිටිනවා. නමුත් ඔබ වටහා ගත යුත්තේ එවන් පුද්ගලයින් වෙත ඔබේ දරුවා රැගෙන යාමෙන් වැළකීමයි. යම් ගැටලුවක් වේ නම් වෛද්‍ය උපදෙස් පැතීම මිස වටපිටාවෙන් හෝ මුහුණු පොතෙන් උපදෙස් පැතීම එතරම් සුදුසු තත්ත්වයක් නොවේ. එහි ප්‍රතිපලය වන්නේ ”අරයගෙ බබා ඔටිසම් අරයගෙ බබා හයිපරැක්ටිව්” කියා තැන් තැන්වල කතා වීම පමණි. ඒ, එතනින් එහා ඔවුන්ට කළ හැක්කක් නොමැති නිසා මිස ඔවුන්ගේ ඇති වෙනත් වරදක් නිසා නොවේ.

දරුවෙකුගේ එක් හැසිරීම් රටාවකින් ඒ දරුවා යම් මානසික ව්‍යාදියකින් පෙලෙන බව පවසන්න වෛද්‍යවරයෙකුට පවා අපහසු විය හැකි වුවත් අපේ සමාජයට නම් තමන්ගේ දරුවා හැර අනෙක් හැම දරුවෙක්ගේම අඩු පාඩු දහසක් රෝග දස දහසක් කල්තියා හඳුනා ගැනීමේ උපරිම හැකියාව හිමි වී ඇත. එක අතකින් බැලුවම අද වෙද්දී මිනිස්සුන්ට දැනුවත් වෙන්න තියෙන මාර්ග වැඩිද කියලා හිතීමේ වරදක්ද නැත. මොකද කෙනෙක් ලබන අත්දැකීමක් හැමටම පොදු එකම අත්දැකීම ලෙස සමාජයට බෙදා හැරීමෙන් එය කාගේත් හිත්වල සනිටුහන් වෙන්නේ ”පරම සත්‍යයක්” විදියට. ඒ කරුණුවල විශ්වසනීයත්වය, තමාට අදාලද නැද්ද යන වග කිසිවෙකුට වැදගත් නැහැ. මොකද අනවශ්‍ය තරමට සුන්දර වටපිටාවකට කැන්දන රචනාවලට ධ්‍යානයකට සම වැදී මෙන්  රොක් වෙන්න අද බොහෝ දෙනෙක් පුරුදු වී ඇත. ඒ වගේම පවතින රටාව හරි හෝ වැරදි වේවා අමුතු විදියට හිතල ඒවා පොදු මාධ්‍යයට බෙදා හරින අමුතු විදියේ චරිත වටා රොක් වෙන්න පටන් අරගෙන. තමන්ගේ ඇස් ඉස්සරහ තියෙන්නේ ”අමුලික අසත්‍යයක්” වුනත් ඔවුන් එයට ප්‍රතිචාර දක්වන්නේ සත්‍යයක් විදියට. මොකද එල්ල වෙන ප්‍රති ප්‍රහාරවලට බහුතරයක් බය නිසා. කොයි දේ කොහොම වුනත් අපේ පවුල, අපේ දරුවෝ කාටත් වගේම අපිටත් මේ මිහිපිට තිබෙන එකම සම්පත නිසාම නුවණින් අවබෝධයෙන් කටයුතු කරන්න. පොඩ්ඩක් දන්නා අය මුකුත් නොදන්නා අයට වඩා භායනක නිසාම හරියටම දන්න කෙනෙකුගෙන් ඔබට අවශ්‍ය දේ දැනගන්න.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article