ත්‍රස්තවාදී ක්‍රියාවලට දරුවෙකුගේ මනසට බලපෑම් ඇති කළ හැකිද?

පසුගිය කාලයේ රට තුළ සිදු වූ අකාරුණික සිදුවීම අපි කාගේත් මතකයෙන් තවමත් ගිලිහිලා නැහැ. වැඩිහිටියන් විදියට අපි පවා සසල වූ මේ සිදු වීම පෙළ දරුවන්ගේ මනසට කොයි ආකාරයෙන් බලපාන්නට ඇත්ද යන්න නොසලකා හරිය හැකි කරුණක් නොවෙයි. මේ තත්ත්වය මත දරුවෙක් පීඩනයට පත්ව සිටිනවා නම් අපි ඔවුන්ට සහයෝගය අවශ්‍ය පරිදි ලබා දිය යුතුයි. ඒ සියලු දේ වෙනුවෙන් මව්පියන් වන අපි මෙවැනි තත්ත්වයකදී දරුවෙක්ට ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි.

දරුවෙකු ත්‍රස්තවාදී ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන අන්දම සාධක කිහිපයක් මත රඳා පවතිනවා. දරුවා එම සිද්ධිය සිදුවූ ස්ථානයේ සිටියාද, සිද්ධිය සියැසින් දු‍ටුවාද, සිද්ධියෙන් තමා ළඟින් ඇසුරු කරන කෙනෙකුට කරදරයක් සිදුවුනාද යන්න එවැනි කරුණු කිහිපයක්. එමෙන්ම දරුවාගේ වයස, පෞරුෂය, දරුවා කලිනුත් බියජනක සිදුවීම්වලට මුහුණදී තිබෙනවාද යන්නත් දරුවා ත්‍රස්තවාදී ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන අන්දම කෙරෙහි බලපානවා.

බොහෝ දරුවන් ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී, එයට කෙළින්ම මුහුණ නොදුන්නේනම්, විශේෂ මානසික අසහනකාරී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. එසේ මානසික අසහනකාරී තත්ත්වයක් පෙන්නුම් කළත්, එය බොහෝවිට තාවකාලිකයි. නමුත් දරුවන් බොහෝවිට කුතුහලය නිසා මෙවැනි අවස්ථා ගැන විමසිලිමත් වීමත්, ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමත් සාමාන්‍යය දෙයක්. ප්‍රචණ්ඩකාරී අවස්ථාවකට කෙළින්ම මුහුණ දුන් දරුවන් හෝ එවැනි දෙයක් නිසා තම පවුලේ සාමාජිකයින් අහිමි වූ දරුවන් බොහොමයක් මානසික අසහනකාරී තත්ත්වයක් පෙන්නුම් කිරීම සාමාන්‍යය දෙයකි. නමුත් මෙවැනි බොහෝ දරුවන් කාලයත්, නෑදෑ හිතවතුන්ගේ සහයත් සමග සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. ඒ වගේම දරුවෙක්ගේ වයස අනුව ප්‍රචණ්ඩ ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන අන්දම වෙනස් වෙනවා. එක් එක් වයස් සීමාවන්ට අනුව

පෙර පාසැල් දරුවන් (අවුරුදු 3-6ත් අතර)

මේ වයසේ දරුවන්ට තමාගේ හැඟීම් ප්‍රකාශ කිරීමට අපහසුය. එමනිසා මේ වයසේ දරුවන්ගේ සිතෙහි ඇති නොසන්සුන්තාවය/බිය පෙන්නුම් කරන්නේ හැසිරීමේ වෙනස්වීම් වලින්. පෙර පාසැල් දරුවන් අතර ප්‍රචණ්ඩකාරී සිදුවීමකට මුහුණ දීමෙන් පසු පහත හැසිරීම් දක්නට හැකියාවක් තිබෙනවා.

  • නින්දට බධා ඇතිවීම (නින්ද නොයාම, නිතර නිතර අවදිවීම, බියකරු සිහින දැකීම)
  • දෙමාපියන්ගෙන් වෙන්වීමට බිය වීම
  • වෙනදාට වඩා කතාව අඩුවීම, පැත්තකට වී සිටීම
  • කලින් මුත්‍රා/මලපහ පාලනයක් තිබූ දරුවෙක් නැවතත් ඇඳුමෙහි මුත්‍රා/මලපහ කිරීමට පටන් ගැනීම
  • සෙල්ලම් කිරීමේදී සිද්ධිය නැවත නැවත රඟ දැක්වීම
  • සිද්ධිය මතකයට නැගෙන දේවල් දු‍ටු විට හෝ හමුවූ විට බිය වීම/ එවැනි දේවල් මඟ හැරීමට උත්සහ කිරීම
  • වෙනදා බිය නොවුනු දේවල් වලටත් බියක් දැක්වීම
  • වෙනදාට වඩා කේන්ති යාම

පාසැල් වයසේ දරුවන් (අවුරුදු 6-12 අතර)

  • සිද්ධියට කෙළින්ම මුහුණදුන් දරුවෙක් නම්, එම අවස්ථාවේදී තමා කළදේ/නොකළදේ පිළිබඳ පසුතවිලි වීම
  • මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැවත සිදුවේදැයි බිය වීම
  • තමාගේ හා තමා ආදරය කරන අයගේ ආරක්ෂාව පිළිබඳ බිය වීම
  • පාසැල් යෑමට/ නිවසෙන් පිටතට යෑමට යෑමට බියවීම
  • ශාරීරික අපහසුතා ඇතිවිම (උදා: හිසරදය, බඩේ කැක්කුම)
  • නින්දට බධා ඇතිවීම (නින්ද නොයාම, නිතර නිතර අවදිවීම, බියකරු සිහින දැකීම)
  • වෙනදාට වැඩියෙන් කේන්ති යාම
  • සිදුවූ සිද්ධිය පිළිබඳ නැවත නැවත කතා කිරීම/ප්‍රශ්න කිරීම
  • සිද්ධිය මතකයට නැගෙන දේවල් මඟ හැරීමට උත්සහ කිරීම
  • අවධානය යොමු කිරීමට අපහසු වීම/ පාසැල් වැඩ කරගැනීමට අපහසු වීම

නව යොවුන් වියේ දරුවන් (අවුරුදු 13-18 අතර)

  • සිද්ධියට කෙළින්ම මුහුණදුන් දරුවෙක් නම්, එම අවස්ථාවේදී තමා කළදේ/නොකළදේ පිළිබඳ පසුතවිලි වීම
  • පවුලේ අයගෙන්/ යහළුවන්ගෙන් ඈත්වීම / තනිව කාලය ගතකිරීම
  • වෙනදාට වඩා කේන්ති යෑම
  • නින්දට බධා ඇතිවීම (නින්ද නොයාම, නිතර නිතර අවදිවීම, බියකරු සිහින දැකීම)
  • අවධානය යොමු කිරීමට අපහසු වීම/ පාසැල් වැඩ කරගැනීමට අපහසු වීම
  • සිද්ධිය මතකයට නැගෙන දේවල් මඟ හැරීමට උත්සහ කිරීම
  • තමාටම හානි කරගැනීම

ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ දරුවෙකුගේ හැසිරීම රටාවේ මෙවැනි වෙනස්කම් ඔබත් දුටුවා නම් ඒ පිළිබඳව නොසලකා හැරීමට වඩා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පසු දරුවන්ට යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට උදවු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වීමත් නිවැරදි ක්‍රමයට අනුව ක්‍රියාත්මක වීමත් ඉතා වැදගත් වේ. ඊලග ලිපිය මගින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පසු දරුවන්ට යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට මව්පියන් වන ඔබ සහය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව කරුණු විමසමු.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here