- Advertisement -

ප්‍රචණ්ඩකාරී සිදුවීමකින් පසු යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට දරුවන්ට උදවු කරන්නේ කෙසේද?

-

පසුගිය සමයේ අපේ රට තුළ ඇති උණු ප්‍රචණ්ඩකාරී මෙන්ම කළහකාරී වටපිටාව දරුවන්ට දරා ගැනීමට පහසු නොවන තත්ත්වයක් බව පෙර ලිපිය හරහා අපි ඔබව දැනුවත් කළා මතක ඇති. එවැනි තත්ත්වයකදී එක් එක් වයස් සීමා වල දරුවන් පෙන්නුම් කරන ලක්ෂණ අනුව ඔවුන්ට ලබා දිය යුතු සහයෝගය කෙබදුද යන්න පිළිබඳවත් මව්පියන් වශයෙන් ඔබ දැනුවත් වීම ඉතා වැදගත් නිසාම මේ ලිපිය යටතේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පසු යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට දරුවන්ට උදවු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සාකච්ජා කරමු.

පෙර පාසැල් දරුවන් (අවුරුදු 3-6ත් අතර)

- Advertisement -
  • දරුවන් ප්‍රචණ්ඩකාරී දර්ශන පෙන්වන රූපවාහිනී වැඩසටහන්වලින් ඈත් කර තබන්න
  • දරුවා ඉදිරිපිට අනෙක් වැඩිහිටියන් සමග සිද්ධිය පිළිබඳ කතා කිරීමේදී දරුවා බිය වද්දන දේවල් පිළිබඳ කතා කිරීමෙන් වැලකී සිටීමට වග බලා ගන්න
  • දරුවාට වෙනදා පැවති දින චර්යාව පවත්වා ගැනීමට උත්සහ කරන්න
  • දරුවා වෙනදාට වඩා නිහඬ නම්, පැත්තකට වී සිටී නම්, ඔහුට/ඇයට හැඟිම් ප්‍රකාශ කිරීමට චිත්‍ර ඇඳීමට අවස්ථාව ලබා දෙන්න
  • දරුවාගේ නින්දට බාධා ඇත්නම්, නින්දට යැමට පෙර දරුවා සමග එක්වී සිත සන්සුන් වන ක්‍රියාවක් (උදා: දරුවා කැමති කතාන්දරයක් කීම, කතා පොතක් කියවීම, දරුවා කැමති සිංදුවක් ගායනා කිරීම) කරන්න
  • දරුවා නැවත ඇඳුමෙහි මුත්‍රා/මලපහ කිරීමට පටන් ගතහොත්, එය දරුවා උවමනාවෙන් කරන දෙයක් නොව, සිතෙහි ඇති අසහනකාරී තත්ත්වය නිසා සිදුවන දෙයක් බව තේරුම් ගන්න. දරුවාට එයට දඬුවම් කිරීමෙන් හෝ විහිළු කිරීමෙන් වළකින්න
  • ඔබට දරුවාගෙන් වෙන්වී යෑමට සිදුවේ නම්, දරුවාට එය දන්වා ඔබ නැවත එන බව තහවුරු කරන්න. සෑම විටම දරුවාව ඔහු/ඇය හොඳින් හඳුනන කෙනෙක් සමගම තබා යන්න
  • සිද්ධියෙන් පසු දරුවාගේ හැසිරීමේ වෙනස්වීම් ඇත්දැයි විමසිලිවත් වන්න.

පාසැල් වයසේ දරුවන් හා නව යොවුන් වයසේ ළමුන්

 බොහෝවිට මේ වයස් සිමාවේ දරුවන් රූපවාහිනිය, ගුවන්විදුලිය මගින් හෝ වැඩිහිටියන්ගේ කතාබහට සවන් දීමෙන් ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ යම් අවබෝධයක් ලබාගනී. එමනිසා දරුවා සමග සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ කතාකිරීම වැදගත් වේ. පළමුවෙන් දරුවා සිදුවූදේ පිළිබඳ දන්නේ මොනවාදැයි විමසා බලන්න. දරුවා සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබාගෙන් ඇතිදැයි විමසිලිවත් වන්න. දරුවා සිදුවූ ක්‍රියාවන් පිළිබඳ වැරදි තොරතුරු දන්නේනම් ඒවා සෙමින් නිවැරදි කරන්න. දරුවාගේ වයසට ගැලපෙන වචන මාලාවක් හා වයසට ගැලපෙන තොරතුරු පමණක් කියන්න.

  • දරුවාට ඇති ප්‍රශ්න ඔබෙන් අසා නිරාකරණය කරගැනීමට අවස්ථාව ලබාදෙන්න. දරුවා අසන ප්‍රශ්නවලට පිළිතුරු ඔබ නොදන්නේ නම් ඒ බව පවසන්න
  • දරුවන්ව සුරක්ෂිතව තබාගැනීමට ඔබ හා අනෙකුත් වැඩිහිටියන් නිරන්තරයෙන් කටයුතු කරන බව පැහැදිලි කරන්න. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරට පත්වූවන් සඳහා උදව් හා ප්‍රතිකාර ලැබෙන බව පැහැදිලි කරන්න.
  • දරුවන්ට ප්‍රචණ්ඩකාරී දර්ශන පෙන්වන රූපවාහිනී වැඩසටහන් නැරඹීම සීමා කරන්න
  • දරුවාගේ නින්දට බාධා ඇත්නම්, නින්දට යෑමට පෙර දරුවා සමග එක්වී සිත සන්සුන් වන ක්‍රියාවක් (උදා: දරුවා කැමති කතාන්දරයක් කීම, කථා පොතක් කියවීම, දරුවා කැමති සිංදුවක් ගායනා කිරීම/ ඇසීම) කරන්න
  • දරුවාට සිද්ධිය පිළිබඳ ඇති හැඟීම් ගැන කතා කිරීමට අවස්ථාව ලබාදෙන්න. දරුවාට ඔවුන්ගේ සුරක්ෂිතභාවය ගැන ගැටලු/ බියක් ඇත්දැයි විමසන්න. නමුත් කිසිවිටෙකත් දරුවාට ඒ පිළිබඳ කතා කිරීමට බල නොකරන්න
  • දරුවා පාසැල් යාමට බියක් දක්වයි නම්, පාසල සුරක්ෂිත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන දරුවා දැනුවත් කරන්න. ආරක්ෂාවට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා පාසැල සුරක්ෂිත ස්ථානයක් බව දරුවාට පැහැදිලි කරන්න.
  • දරුවාට වෙනදා පැවති දින චර්යාවම පවත්වා ගැනීමට උත්සහ කරන්න
  • මෙවැනි සිද්ධීන්ට පසුව දුක, කණගා‍ටුව, බිය ඇතිවීම සාමාන්‍යය දෙයක් බව දරුවාට කියා දෙන්න
  • සිද්ධියට කෙළින්ම මුහුණදුන් දරුවෙක් නම්, එම අවස්ථාවේදී ඔහු/ඇය කළ දේවල් නිවැරදි බවත්, සිදුවූ දේවල් කිසිම ආකාරයකින් ඔහුගේ/ඇයගේ වැ‍රැද්දක් නොවන බවත් පහදා දෙන්න
  • සිද්ධියෙන් පසු දරුවාගේ හැසිරීමේ වෙනස්වීම් ඇත්දැයි විමසිලිවත් වන්න.

සැලකිය යුතුයි : දිගින් දිගටම දරුවාගේ හැසිරීමේ වෙනස්කම් දක්වන්නේ නම් හෝ හැසිරීමේ වෙනස්කම් නිසා දරුවාගේ එදිනෙදා ජීවිතයට බධා වන්නේ නම්, ළඟම ඇති මනෝ වෛද්‍යය සායනය වෙත යොමු කරන්න.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article