දරුවන්ගේ කෝපය පාලනය කරන්න හොඳම විදිය මොකද්ද ?

”අනේ මගේ පුතාට හරියට තරහා යනවා. මේකට මොකද කරන්නේ” මේ අපේ parenting.lk ෆේස් බුක් පිටුවට අම්මා කෙනෙක් යොමු කළ ගැටලුවක්. ඒ අම්මට නිවැරදිම පිළිතුර ලබාදීම අපේ වගකීම වගේම යුතුකම නිසාම අපි මේ ගැන දරුවන්ගේ මනස ගැන කතා කරන්න සුදුසුකම් සපිරි මනෝ වෛද්‍යවරයෙක් ඇමතුවා. එතුමාගේ දැනුවත් කිරීම ලිපියක් විදියට සකස් කරලා මේ විදියට බෙදා ගන්න හිතුවේ බොහොමයක් අම්මලාට මේ ගැටලුව ඇති කියලා හිතුනු නිසයි. .

මොකද්ද මේ තරහ කියන්නේ

තරහ කියන්නෙත් අනෙත් හැඟීම් වගේම සාමාන්‍ය හැඟීමක්. සාමාන්‍ය  කෙනෙකුට තරහ කියන හැඟීම සම්පූර්ණයෙන්ම යටපත් කරන්න බැහැ. කොහොමත් දරුවන්ගේ හැඟීම් යටපත් කිරීම සුදුසු දෙයක් නම් නෙවෙයි. මෙන්න මෙතැනදී වැඩිහිටියන් විදියට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ, දරුවාගේ තරහා තවත් කෙනෙකුට බාධාවක් නොවෙන විදියට මුදාහරින්න අවශ්‍ය මගපෙන්වීම දරුවට ලබාදෙන්නයි. සාමාන්‍යයෙන් දරුවෙකුට තරහ කියන හැඟීම ඇති වෙන්න  මනෝ විද්‍යාත්මක හේතූ බොහොමයක් තිබුනත් අධික තරහ තියෙන හැම දරුවෙක්ම මානසික ගැටලු  සහිත දරුවන් විදියට සලකන්න බැහැ. අධික තරහ විවිධ සමාජීය, මනෝ විද්‍යාත්මක හේතූන් නිසා ඇතිවෙන්න පුළුවන්.

ඒ හේතූ අතරින්

  • ආවේගශීලී බව
  • ස්ථාවර නොවන නිවසේ පරිසරය
  • දෙමාපියන්ගේ නිතර වෙනස්වන ක්‍රියා කලාපය
  • කම්පනය ඇති කරවන අත්දැකීම් ආදිය විශේෂ හේතු ලෙස සැලකිය හැකියි.

මේ තරහව අනෙක් අයට/තමාට/භාණ්ඩවලට හානිදායක නොවන තාක් දරුවා ප්‍රයෝජනවත් කටයුත්තක නිරත වීමට බාධාවක් නොවන තාක් තමාට අසාධරණයක් වූවා යැයි නොසිතෙන තාක් ගැටළුවක් නොවේ. නමුත් දරුවෙකු තුළ තම පිළිබඳව වූ විශ්වාසය අවම නම් ඔවුන් නිරන්තරයෙන් සිතන්නට පෙළඹෙන්නේ තමාට අසාධාරණයක් වූ ලෙසටයි. එවිට එවැනි දරුවන් ක්‍රියා කරන්නේ තරහව සමගයි. මෙන්න මේ නිසා දරුවෙකුගේ ආත්ම විශ්වාසය ගොඩ නැංවීමට වැඩිහිටි අප ක්‍රියාත්මක වෙමින් සහයෝගය ලබාදිය යුතුයි.

දරුවෙකුගේ ආත්ම විශ්වාසය දියුණු කිරිම සඳහා

  • අනෙක් දරුවන් සමග ඔබේ දරුවා සැසඳීමෙන් වළකින්න
  • දරුවාගේ කටයුතු අගයන්න, නිතර ප්‍රසංසා කරන්න
  • දරුවාගේ වැරදි කිහිපයක් මත යමින් දරුවා පිළිබඳ සමස්ත තීරණවලට එළඹීමෙන් වලකින්න
  • දරුවා සමග ගතකරන කාලය වැඩිහිටි ඔබට විශාල සතුටක් බව හඟවන්න

දරුවන් තරහ ගත් විට වැඩිහිටි ඔබ,

වැඩිහිටි ඔබ හැම මොහොතකම හැසිරිය යුත්තේ දරුවන්ට ආදර්ශයක් වන ආකාරයෙනි. නිතර දරුවාට කෑ කෝ ගැසීම කිසිසේත්ම සුදුසු නොවන අතර තරහෙන් සිටින අවස්ථාවේදී කිසිවක් සාකච්ජා කිරීම සුදුසු නොවන බවත් මතකයේ රඳවා ගන්න. දරුවාට සවන්දීම ඔවුන්ගේ හැඟීම් වටහා ගැනීම මෙහිදී වැදගත් වන තවත් කරුණු වේ.

ඔබේ දරුවා තරහෙන් කාලය ගත කරන්නේ නම්, ඔබ මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න

  • දරුවා තරහ ගන්නේ නම් ඒ සඳහා රටාවක් තිබේද?
  • නිවස තුළ විනය ගැන පැහැදිලි මඟපෙන්වීමක් තිබෙනවාද?
  • නිවසේ සියලු වැඩිහිටියන් එක ලෙස කටයුතු කරනවාද?
  • පාසැලින් හෝ දරුවා යන එන තැන්වලින් දරුවාට පීඩනයක් තිබේද?

තරහා පාලනය කරගනිමින් සන්සුන්වීමට අපි දරුවාට සහය වෙමු

සෑම දරුවකුටම ගැලපෙන ක්‍රමයක් ඇති අතරම මෙය පුහුණු කිරීම සිදුකල යුත්තේ දරුවා සාමාන්‍ය තත්ත්වයේ එනම් තරහ නිවී ගොස් සිටින අවස්තාවේදීය.

දරුවාගේ තරහා පාලනය කරගැනීම සඳහා,

  • තරහව ඇති වන දෙයින් හෝ කෙනාගෙන් ඉවතට යාමට දරුවාට උපදෙස් දෙන්න
  • සිතින් 10 ට සෙමින් ගණන කිරීම පුහුණු කරවන්න
  • ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාවක යොදවන්න
  • නිස්කලංක දැකුම්කළු ස්ථානයක් වෙත සිත ගෙන යාමට දරුවාට කියා දෙන්න
  • විශේෂ සිත සන්සුන් කරවන ක්‍රියාවකට දරුවා යොමු කරන්න
  • සෙමින් ඉහළ පහළ හුස්ම ගැනීම නප්‍රගුණ කරවන්න
  • සංගීතයට සවන්දීමට හුරු කරවන්න
  • කලින් පුහුණු කල භාවනාවක යෙදීම උනන්දු කරවන්න
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here