පෙර පාසල් යන්න පටන් ගත්තාම දරුවා වෙනස් වුනාද?

දරුවන්ගේ හිත් අම්මලාට තාත්තලාට කියවන්න පුලුවන් වුනත් සමහර වේලාවල් තිබෙනවා මොන විදිහටවත් දරුවාගේ හැසිරීම් තේරුම් ගන්න බැරි. විශේෂයෙන් දරුවාගේ පැවැති පරිසරය වෙනස් වුනාම මේ තත්වය ඇති වෙනවා. උදාහරණයක් විදිහට පෙර පාසල් යන්න පටන් ගත්තාම අර වෙනදා තිබුන සංයමය හුරතලය දරුවාගෙන් දකින්න ලැබෙන්නේ නැහැ. තේරුමක් නැතුව අඩනවා. ඇහුවාට හේතුවක් කියන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට අපට නොපෙනෙන හේතු නිසා දරුවාගේ හැසිරීම් වෙනස් වෙන්න පුලුවන්. එහෙමනම් දෙමව්පියන් විදිහට දරුවාගේ අලුත් හැසිරීමක් ඇති වුනොත් ඒ පිටුපසින් තිබෙන විවිධ හේතු ගැනත් ටිකක් අවධානය දෙන්න. මේවා දරුවා ඔබට පැහැදිලිව නොකීවට, ඔවුන්ගේ හැසිරීමෙන් ප්‍රදර්ශනය වෙන්නේ ඒ අවශ්‍යතාවයන් වෙන්න පුලුවනි.

  • පැටියා කියන දේ දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ.

සමහර වේලාවට තමන්ට අවශ්‍ය දෙයක් හෝ වෙනත් අවශ්‍යතාවයක් පැහැදිලිව දෙමව්පියන්ට සන්නිවේදනය නොවුනොත් දරුවාගේ හිත සෑහීමට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු අඩන්න, හැපෙන්න පටන් ගන්නවා. එයින් පෙනෙන්නේ තමාගේ අවශ්‍යතාවය තවමත් ඉෂ්ට නොවුන බවක්. ඉතින් අම්මලා බොහොම යාප්පුවෙන් දරුවාගේ භාෂාව තේරුම් ගන්න ඕන. නැත්නම් ගෝරනාඩුව අවසාන වෙන්නේ නැහැ.

  • බඩගින්න

නිවසේ සිටියදී දරුවාගේ කටට මොනවා හරි දෙයක් අම්මලා දෙනවානේ. ඒත් ළදරු පාසල් ගියාම කන්න බොන්න වෙලාවක් තියෙනවානේ. ඒ නිසා දරුවාට බඩගින්න කියන සංකල්පය තේරෙන්නේ නැහැ. ඒ ගැන නම් දරුවන් ලොකු මහත් වෙද්දී අම්මලාටත් තේරෙනවා ඇති. ඉතින් මේ බඩගින්න කියන්නෙත් නැහැ. බඩගින්නට කන්න ලැබෙන්නෙත් නැහැ. එහෙම වුනාම විවිධ ගති පැවැතුම්වලින් ඒ බව පෙන්වන්න උත්සාහ ගන්නවා. අද ප්‍රාථමික පංතිවල බොහෝ විට පංතියේ වැඩ කටයුතු පටන් ගන්න ඉස්සරින් ආහාරවේලක් ලබා දෙන අවස්ථා තිබෙනවා. මේ තත්වය  නිසා දරුවා අඩන්නේ තේරුමක් නැතුව බව අපට පෙනුනත් ඔහුට හේතුවක් තිබෙනවා.

  • මහන්සියි…මට

ළඟම ළදරු පාසලක් තිබුනත් අපේ දෙමව්පියන් දරුවා රැගෙන නගරයට යන ගමනත් දැන් මහන්සියි. නිවසේ මලක් වගේ අම්මාගෙන් අත්තම්මාට මාරු වෙවී හිටිය දරුවා දැන් කිලෝමීටර් හතර පහක් දුරක් යන්න වෙලා. දහඩිය, ගමන මහන්සිය මේ සේරම එකතු වුනාම ඉතින් අඩනවා හැර වෙන මොනවා කරන්නද නේද…? ඒත් මහන්සිය නිවුනේ නැත්නම් තව තවත් දරුණු වෙන්න පුලුවනි.

  • යාළුවෝ කරදර කරනවා..

සමහර පොඩි දරුවෝ ළදරු පාසල් පරිසරයට ඉතාම ඉක්මනින් අනුගත වෙනවා. ඒත් සමහර දරුවන්ට අලුත් පරිසරයට අනුගත වෙන්න ඉක්මනින් බැහැ. ඒ නිසා මේ වගේ දරුවන්ට ළදරු පාසල මානසික වදයක් වෙන්න පුලුවනි. උදේට වදෙන් පොරෙන් එකතු කර ගෙන ගියාට පොඩි එකා කැමැත්තෙන් යන ගමනක් නොවෙයි. ඒ වුනත් දෙමව්පියන්ගේ අණසක නිසා නොගිහින් බැහැ. එහෙම බලහත්කාරයෙන් ළදරු පාසලට යන දරුවන් නොදැනීම විවිධ විදිහටට තමන්ගේ නොසතුට පෙන්වන්න පුලුවනි.

හිතේ හංගාගෙන ඉන්න දේ නිසාත්..

  • ළදරු පාසලේදී දරුවාගේ හිතටත් විවිධ සිතුවිලි ඇති වෙනවා. සමවයස් අතර තරගයක් තියෙනවානේ. සමහර විට ගුරුතුමිය වෙනදා පැටියාට දැක්වූ අවධානය දැන් අලුත් පුතෙක් වෙත යොමු වෙන්න පුලවනි. ඒ බව පැහැදිලිව කියා ගන්න බැරි වුනත් හැසිරීමේ රහස පිටිපසින් ඇත්තේ මෙන්න මේ හේතුව වෙන්න පුලුවනි.
  • අනුකරණය නිසාත්..

ළදරු පාසලක විවධ හැසිරීම් රටාවන් ඇති දරුවන් සිටිනවා. මේ අතරින් දරුවාගේ හිත යම් දරුවෙකුගේ හැසිරීමට ඇදී ගියොත් ඔහු එතැන් පටන් ඒ හැසිරීම් රටාවට යොමු වෙනවා. අපට දරුවන් වර්ග කරන්නත් බැරි නිසා ටිකක් හෙමින් කියා දුන්නොත් ඔය විදිහට හොද ළමයි හැසිරෙන්නේ නැහැ කියලා, එවිට දරුවාටත් ටිකක් හෝ තේරුම් යාවි. මේ තත්වය දරුවන්ම පමණක් නොවෙයි, වැඩිහිටියෙක්, රූපවාහිනියෙ චරිතයක් වෙන්නත් පුලුවනි. නමුත් හොඳට වඩා වැඩි වේගයකින් නරක දේ අනුකරණය වීම සාමාන්‍ය සිද්ධියක්.

  • කුතුහලය…

අපි නොහිතන තරම් දරුවන්ගේ කුතුහලය වැඩියි. ඒ නිසා ඔවුන් හැම විටම හැම දෙයක් ගැනම විමසිල්ලෙන් ඉන්නවා. ඒ නිසා යම් දෙයක් දරුවාගෙන් සගවන බවක් යාන්තමින් හෝ දැනුනොත් දරුවාගෙත් සීමාව පනින්න පුලුවනි. ඒ නිසා යම් යම් දේ ඔහුට නොදැනෙන සේ සගවනවා මිස , ඔහුට යාන්මින් හෝ දැනෙන සේ කිරීමට ගියොත් නම් වැඩ වරදිනවා.

තහංචි දැම්මොත් වැඩියි

පුතා…ඔතනට යන්න එපා…ඔය දේ කන්න එපා. ඔය දේ අල්ලන්න එපා… මේ වගේ නිශේධන නම් පුංචි අයට රුස්සන්නේ නැහැ. එහෙම වුනොත් මේ එපා කියන දේ ච්ිම පසු පසම හඹා යෑමට පටන් ගන්නවා.  එතැනදී අම්මා, තාත්තා තව තවත් එපා කිව්වොත් ඔන්න දෙපැත්තම යුද්ධ ප්‍රකාශ කරන්න පටන් ගන්නවා.

ඇදුම් පැළදුම්..

දරුවන්ට නිතරම මෝස්තරය නොව සැහැල්ලු සහ පරිසරයට ගැලපෙන ඇදුම් ඇන්දවීම වැදගත්. ගිනි ගහන මද්දහනට දහඩිය උරා ගන්නේ නැති රෙදිවලින් නිම කළ ඇදුමක් අන්දවා තිබුනොත් එයින් දැනෙන අපහසුව නිසා දරුවා ආවේශ වෙනවා. ඒ වගේම මුදු, එල්ලෙන කරාබු වගේ දේවල් නිසාත් ඇති වෙන අපහසුතාවය විවිධ විදිහට ප්‍රකාශ කරන්න පටන් ගත්තාම අපි කියන්නේ මොන දේකට අඩනවාද මන්දා…කියල වුනත් ඔන්න ඇඬියාවට හේතුව.

අවධානයට…

ගෙදර පරිසරයේ එකා යකා වගේ ඉදල අලුත් අමුත්තෙක් විදිට පුංචි පැටියෙක් නිවසට ආවාම ලොකු දරුවා ගිලිහෙන ගතියක් ඇති වෙනවා. ඒ අනාදරයට නොවෙයි. අම්මාටත් දැන් අලුත් දරුවා ගැන යොමු වෙන්න එපායැ. දැන් ලොකු දරුවාටත් හොදින් හෝ නරකින් තමාට අවධානය ගන්න එපායැ. හොදින් ලැබෙන පාටක් නැති වුනාම තමාට අවධානය ගන්න දරුවා උත්සාහ කරන්නේ ඔන්න ඔය දඩබ්බර විදිහටයි.

ඉතින් දරුවෙකුගේ ගති පැවැතුම් වෙනස් වුනොත් ඒ වෙනුවෙන් දැඩි දඬුවම් පමුණුනවාට වඩා බොහොම සෙමෙන් සීරුවේ ඔය උඩින් තිබෙන ලැයිස්තුවේ හැටියට අඩුපාඩුව කොතැනද කියල බලන්නකෝ..

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here