දියණියගේ වැඩි විය පැමිණිම උත්සවාකාරයෙන් සැමරීම ඇයට බලපාන්නේ කෙසේද?

දියණියකගේ මල්වර වීම ඇගේ ජීවිතයේ අලුත් ඇරඹුමක්. ඒ සතුට සමරන්න අපේ සමාජය තුළ නොයෙක් ආකාරයේ සැමරීම් අද වෙද්දී දැක ගන්න පුළුවන්. මංගල උත්සව මෙන් පවා ඇතැම් දෙමාපියන් මේ මල්වර වීම සමරන අවස්ථා කොතෙකුත් තිබෙනවා. ඔබට හිතේවි ” වියදම් කරන්නේ අපි නම්, දරුවා අපේ නම් කාටවත් මොකද” කියලා. ඒත් ළමා මනෝවිද්‍යාවට අනුව වගේම දරුවාගේ ආරක්‍ෂාව පැත්තෙන් ගත්තත් මල්වර වීම් වෙනුවෙන් උත්කර්ෂවත් සැමරීම් සුදුසුද නුසුදුසුද කියා ඔබම මේ ලිපිය තුලින් වටහා ගන්න.

”මල්වර වීම” බොහොම සාමාන්‍ය ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. වයස අවුරුදු 9 -12 අතර ගැහැණු දරුවන් මේ සංසිද්ධියට මුහුණ දෙනවා. මේ වයස් සිමාවේ දරුවන් කියන්නේ ශාරීරිකව වැඩිවියට පත් වුනත් මානසිකව පරිනත තත්ත්වයට පත් වුනු පිරිසක් නොවෙයි. ළමා මනෝ විද්‍යාව පැත්තෙන් ගත්තොත් දියණියගේ මල්වර වීම උත්සවාකාරයෙන් සැමරීම සුදුසු නොවන දෙයක්. දැනුවත් දෙමාපියන් විදියට මුළු රටටම අඬ බෙර නොගැහුවට අපේ සංස්කෘතියට අනුව චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් පවුලේ හිතවත්ම කිහිප දෙනෙකු එක්ක කැවුම්, කිරිබත් කාලා මේ මල්වර වීම බොහොම ලස්සනට සමරන්න අපිට පුළුවන්. මේ වෙනුවෙන් උත්සව පැවැත්වීමට වඩා දෙමාපියන් වන ඔබට පැවරෙන වගකීම් බොහොමයක් තිබෙන බව අමතක කරන්න එපා. මල්වර වුනු දියණියකගේ දෙමාපියන් දැනගත යුතුම කරුණු කීපයක් ගැන දැන් අපි කතා කරමු.

• දියණියට කියා දෙන්න
සාමාන්‍යයෙන් වැඩිවිය පැමිණෙන වයස් සීමාව වන 9 -12 කාලය තුළ මේ සිදුවීමත් එක්ක ගැහැණු දරුවෙක් ශාරීරිකව පරිණත වුණත් මනෝ විද්‍යාත්මකව පරිණත බවක් ලබලා නැහැ. වැඩිවිය පැමිණීම කියන්නේ ගැහැණු දරුවෙක් මවක් වීමට සුදුසුකම් ලැබීමක් වුනත් මේ වයස් සිමාවේ දරුවෙකුට එවැනි පරිණත බවක් නැති බව ඔබ අවබෝධ කරගත යුතුයි. අන්න ඒ නිසාම ඔබ, ඔබේ දරුවා දැනුවත් කරන්න. දරුවාට අවශ්‍ය මාර්ග උපදේශනය ලබා දෙන්න. මේ අලුත් සිදු වීමත් සමගම ඔබ දරුවාට අවබෝධ කල යුත්තේ මේ සිදුවීමේ ඇති ශාරීරික මෙන්ම මානසික වැදගත්කම පිළිබඳවයි. මෙය මෙතැන් සිට ජිවිත කාලය පුරා ඇදී යන තමන්ගේ ලිංගිකත්වය සහ දරුවෙක් දරා ගැනීම හා සම්බන්ධ ක්‍රියාවලියේ ආරම්භය පමණක් බව සරලව දරුවාට කියා දෙන්න.

• දියණියට ආරක්ෂාව සලසන්න
”අපි කවදත් දරුවාව ආකරක්ෂා කළා” ඔබට එහෙම හිතේවි. නමුත් දැන් ඔබට පැවරෙන වගකීම වැඩියි. ඔබේ දියණියට ආරක්ෂා විය යුතු ආකාරය සරලව කියා දෙන්න. උදාහරණයක් විදියට අම්මා ලෙස ඔබට දියණිය ස්පර්ශ කළ හැක්කේ කොපමණ සීමාවක සිටද යන්නත් එතනින් එහාට වෙනත් පුද්ගලයන් ඇගේ ජිවිතයට සමීප විය යුතු සීමාවන් ඇයට අවබෝධ කරවන්න. තමා විසින්ම අරක්‍ෂා විය යුතු ආකාරය සරල දියණියට කියා දෙන්න.

• දියණිය ආනරක්ෂිත විය හැකි අවස්ථා ඔබ වටහා ගන්න
සමාජයේ සෑම පුද්ගලයෙකුම පිළිබඳව දැනුවත් බවක් අප තුල නැහැ. නව යොවුන් වියේ ගැහැණු දරුවන් මෙන්ම කුඩා දරුවන් සමග තම කාමුක ආශාවන් සංසිඳවා ගැනීමේ ආසාව ඇති පිරිමින් (Pedophile) අප සමාජයේ සිටිනවා. ඔවුන්ට කාමුක අදහස් ඇති වන්නේ දරැවන් සමගයි. එය මානසික රෝගී තත්ත්වයක්. දියණියකගේ මල්වර වීම පවුලේ කිහිප දෙනෙකු හැර වෙනත් පිරිස් දැන නොගන්නා ආකාරයට ඔබ ක්‍රියාත්මක වීමේ එක වැදගත්කමක් ලෙස මේ තත්ත්වය දැක්විය හැකියි. මේ තත්ත්වයන් ඔබේ දරුවාගේ තේරුම් ගැනීමේ හැකියාවට අනුව ඔබ දරුවාට අවබෝධ කරවන්න. පුංචි කාලෙට වඩා වැඩියෙන් දැන් ඇය පරිස්සම් විය යුතු බව කියා දෙන්න. මේ දේවල් නිසා දරුවන් බියට පත්වෙතැයි ඔබ සිතුවත් නොදැනුවත්කම දරුවෙකු අනාරක්ෂිත වීමට එක හේතුවක් බවත් මතක තියාගන්න.

යම්හෙයකින් අනවශ්‍ය ලෙස පිරිමි පුද්ගලයෙකුගේ ස්පර්ශයක් සිදු වුවහොත් එවැනි අවස්ථාවක දරුවෙක් ඉතාමත් අසරණ තත්ත්වයට පත්වනවා. දරුවාගේ උඩු හිතට එය අමතක කළ හැකි වුවත් ජිවිතයේ කිසිදු දිනක මේ සිදුවීම යටි හිතින් ඉවත් වන්නේ නැහැ. වැඩිහිටි වියේදී හෝ පුංචි වයසේ වන අතවරවලට වඩා වැඩිවිය පැමිණි දියණියකට එනම් නව යොවුන් වියේදී ඇතිවන අතවරයකදී එය දරුවාට ජීවිත කාලයටම බලපෑම් ඇති කළ හැකි තත්ත්වයක්. අන්න ඒ නිසාම දරැවාට මෙවැනි තත්ත්වයකට යම් හෙයකින් මුහුණ දීමට සිදු වුහොත් මව/නැන්දනිය/මිත්තනිය හෝ වෙනත් හිතවත් කාන්තාවක් ලවා හෝ උපදෙස් ලබාදෙන්න. ඇයට අවශ්‍ය මානසික සහයෝගය ලබා දෙන්න. බොහෝ මව්පියන් සිතන්නේ මෙවැනි දෙයක් දියණියට කැලලක් නිසා සගවා ගත යුත්තක් බව වුවත් එහිදී ඔබ කළ යුතු වැදගත්ම දේ වන්නේ දියණියගේ හිතේ කැකෑරෙන මේ සිදුවීම පිට කිරීමට අවස්ථාව ලබාදීමයි.

• මල්වර වූ දියණියට පිරිමි දකින්න හොඳ නැද්ද?
මෙය අතීතයේ සිටම පැවත එන චාරිත්‍රයක් වුවත් මනෝ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තම මේ චාරිත්‍රය කිසිසේත්ම නිවැරදි දෙයක් නොවෙයි. මොකද නව යොවුන් වියේ දරුවෙකුට තමාව ඇයි මේ පිරිමි පාර්ශවයෙන් සඟවන්නේ කියන දේ අවබෝධ කරගැනීමට හැකියාවක් නැහැ. එවිට මේ වයසේ ගැහැනු දරුවන්ගේ මනසට කා වැදෙන්නේ ඇයට පිරිමි පාර්ශවය හානිදායකයි කියන අදහස පමණයි. එතකොට මේ දරුවන් ඔවුන්ගේ මානසික සංවර්ධනයට අවශ්‍ය පිරිමින් ලෙස හඳුන්වන්න පුළුවන් තාත්තා/මාමා/සීයා වගේ අයවත් ඇයට හානිදායක අය විදියට සිතනවා. එතැනදී එකිනෙකට පරස්පර විරෝධී අදහස් නිසා දරුවා මානසිකව අපහසුතාවය පත් විය හැකියි. ”අම්මා වගේම තාත්තත් මට ආරක්‍ෂව දෙනවා. මගේ දෙයක් තාත්තා එක්කත් කතා කරන්න බැරිද” කියන ගැටලුව එක්ක මේ වයස් සිමාවේ දරුවන් බොහෝ දුරට හිතන්න පෙළඹෙනවා. එය දරුවාග් මනසට සුදුසු තත්ත්වයක් නොවේ.

• වැඩිවිය පැමිණි දියණියට අසාධාරණ නීති එපා
පළවෙනි ආර්තවයත් සමගම සිදුවන ශාරීරික වගේම මානසික වෙනස්කම් ගැනත් දියණියට කියා දෙන්න. දියණියගේ සිරුරේ හෝමෝන වෙනස් වීමත් සමගම ඇය ලෝකය දෙස බලන ආකාරය වෙනස් වෙන බව පළමුව ඔබ වටහා ගන්න. උදාහරණයක් විදියට, පිරිමි දරුවෙක් ඇය දිහා හෝ ඇය පිරිමි දරුවෙකු දිහා බැලීම මේ හෝමෝන වෙනස් වීම් සමග බොහොම සාමාන්‍ය තත්වයක්. එය වැරද්දක් විදියට වැඩිහිටි ඔබ දැකිය නොයුතුයි. එය සාමාන්‍ය දෙයක් බව දරුවාට අවබෝධ කරවන අතරේම ඒවා ඔස්සේ ගමන් කිරීම නම් ඇයගේ අනාගතයට ගැටළු ඇති වීමට හේතු විය හැකි බවත් ඒ නිසා ඒවා ඔස්සේ ගමන් කිරීම නුවණට හුරැ නොවන බවත් දියණියට අවබෝධ කරවන්න. ඔබ මෙවැනි ක්‍රියාවකදී දියණියට කෑ කෝ ගසා දඬුවම් කිරීමට ගියොත් ඇය කිසිවක් ඔබට නොපවසා ඉඳීවි. අන්න ඒ නිසාම නව යොවුන් වියේ දරුවන් එක්ක ගනුදෙනු කල යුත්තේ බොහොම සීරුවෙන් බව අමතක කරන්න එපා. එසේ නීති පැන වීම දියණියකගේ ජිවිතයට තවත් බලපෑම් ඇති කළ හැකියි. නිවස තුළ ඇයට කතා කිරීමට නිදහසක් නැති වූ විට අමතර පන්තියේදී හෝ වෙනත් ස්ථානයකදී හමුවන පිරිමි දරුවෙකුගේ අදහසකට ඇයගේ හිත ඇදී යෑමට ඇති ඉඩ කඩ වැඩි බව ඔබ මතක තබා ගන්න.

කෙසේ වෙතත් ඔබ, මව්පියන් විදියට ඔබේ දියණියට ජීවිතය ගැන කියා දෙන්න. ඇය දැන් ශාරීරිකව පරිනත වුනත් සහකරුවෙක් සොයා ගැනීමට, මවක් වීමට තවත් බෝහෝ දේ පිළිබඳව දැනුවත් විය යුතු බව කියා දෙන්න. ඔබ මවක් ලෙස අද සිටින තත්ත්වයට එන්නට සුදුසුකම් ලබා ඇත්තේ කොපමණ දේ පිළිබඳව දැනුවත් වූවාට පසුවද කියා ඇයට කියා දෙන්න. එය ලේසි පාසු නොවන කටයුත්තක් බව ඇයට කියා දෙන්න.

එසේම තවත් වැදගත් කරැණක් වන්නේ දැන් ඔබේ දියණිය වෙනදා නිවසේ සිටි සුරතලියම වුවත් ඇයට වෙදා මෙන්ම කුඩා දරුවෙකුට මෙන් සැලකීම නුසුදුසු බව අවබෝධ කරගන්න. ඇයට නිවස තුලින් ලැබිය යුතු තැන, ගෞරවය නිසි අයුරින් ලබා දෙන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here