තිත තැබිය යුත්තේ මතටද? මතට යොමු වීමටද?

දරුවන් කියන්නේ මල් වගේ සුන්දර වස්තුවක්. ඒත් යාන්තම් හය හතර තේරෙන්නත් කලින් මේ අහිංසක දරුවන් මත්ද්‍රව්‍යවලින් ඔවුන්ගේ ජීවිතය විනාශ කර ගන්නවා වගේ අවාසනාවක් තවත් නැහැ. ඒ නිසා මතට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කරනවාට වඩා මතට යොමු නොවන විදිහට අපි දරුවන් රැක බලා ගන්නේ කොහොමද…? මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විහේෂඥ එස්.සී.ඒ.බී අරඹේපොල මහත්මියයි.

මත්පැන් වෙනුවෙන් ඇති වෙන ඇබ්බැහි වීමට බොහෝ සෙයින් බලපාන්නේ මධ්‍යසාර නිසා මොලයෙන් නිදහස් වෙන ‘‘ ඩොපමින් “ රසායනයයි. මේ රසායනය නිසා ඇති වෙන සතුටට පුද්ගලයන් නොදැනීම ඇබ්බැහි වෙනවා. මුලදී නොදැන මද්‍යසාර ගත්තත් අන්තිමට මත් ද්‍රව්‍ය නැතුව ජීවත් වෙන්න බැරි තැනට පත් වෙනවා.

මත් ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වෙන්නේ ඇයි…?

දරුවන් අතරත් විවිධ පෞරැෂයන් තිබෙනවා. සමහර දරුවන් වැරදි කටයුතුවලට යොමු නොවී තමන්ගේ දෙමව්පියන්, වැඩිහිටියන් සහ ගුරුවරුන්ගේ අවවාද අනුව ජීවිතය හැඩ ගසා ගන්නවා. ඒත් සමහර දරුවන් නොදැනීම මත් ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වෙනවා. එතැනින් පසුවත් ඔවුන්ගේ ඇබ්බැහියෙන් මිදෙන්න බැරි තරම් දුර්වල පෞරැෂයකින් යුක්තයි.

ආදීනව දැනගත්තොත්..

මත්ද්‍රව්‍ය නිසා ඇති වෙන ආදීනව බොහාමයි. තරුණ අවධිය අත්හදා බැලීම් වෙනුවෙන් යොමු වෙන කුණාටු කාලයක්. සම වයස් කණ්ඩායම් නිසා ඇති වෙන අහිතකර හැසිරීම්වලින් ඔවුන් මුදවා ගන්න ඕන. වස බෝතලය සගවා තබන්නත්…මත්පැන් බෝතලය ගාම්භීර විදිහට ඔසවා තබන්නත් හේතුව වෙන්නේ සමාජයෙන් මත්පැන් වෙනුවෙන් ලබා දී තිබෙන වටිනාකමයි. මගුලට සතුට සමරන්න මත්පැන් යොදා ගන්නවා..අවමගුලේදී දුකට..මහන්සියට..මත්පැන් යොදා ගන්නවා. නමුත් මත්පැන් මුල් කර ගෙන ගොඩ නැගී තිබෙන මේ මිථ්‍යාවෙන් දරුවන් මුදවා ගැනීම ඉතාම වැදගත්.

මත්පැන් නැත්නම් දියාරුයි..

මත්පැන් නිසා උත්සවයේ සතුට, පිළිවෙළ නැති වෙනවා. එක් පුද්ගලයෙක් මම බොහොම සමීපව ඇසුරු කරන ආර්ථික වහයෙන්ද ශක්තිමත් අයෙක්. ඒත් ඔහු විවාහ මංගල්‍ය උත්සවයට මත්පැන් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. මේ ගැන අදහස් දක්වපු ඔහු කිව්වේ මත්පැන් තිබුණා නම් මේ උත්සවයේ තිබුන සතුට, සංවරය දකින්න ලැබෙන්නේ නැති බවයි.

පාසල් දරුවන් මතෙන් මුදවා ගන්න නම්…

දරුවන්ට ලබා දෙන අවවාද මගින් ඔවුන්ගේ ආකල්ප හැඩ ගැසිය යුතුයි. සමවයසේ මිතුරන්ගෙන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ආරාධනා ලැබෙන්න පුලුවනි. ඒ වුනාට ඒවා ප්‍රතික්ෂේප කරන ශක්තිය ගොඩ නගා ගැනීමේ වටිනාකම ඔවුන්ට බොහොම පැහැදිලිව කියා දෙන්න ඕන. නොදැන හෝ මේ තත්වයට වැටුනොත් එයින් මිදීම අපහසු බව දරුවන්ට අවධාරනයෙන්ම කියා දෙන්න. මත්ද්‍රව්‍ය වෙනුවෙන් ආරාධනාවක් ලැබුනොත් එය ප්‍රතික්ෂේප කරන අන්දම කියා දෙන්න. ජපානයේ නම් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ලැබෙන ආරාධනාවන් ප්‍රතික්ෂේප කරන ඉතාම නිර්මාණශීලී සන්නිවේදන තිබෙනවා. අද ගෝලීයකරණය තුළ මත්ද්‍රව්‍ය වෙනුවෙන් පවතින යොමු වීම වැඩියි. දරුවන් අනුකරණයට වඩාත් නැඹුරුයි. ඒ නිසාම ඔවුන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වීම වලක්වා ගන්න අපහසුයි.

ගැටලු හදුනා ගන්න.

දරුවා මතට හෝ වෙනත් අකටයුත්තක් වෙනුවෙන් යොමු වීමට ඔවුන්ගේ මානසික පසුබිම බලපානවා. මානසිකව ඇතිවෙන හිස්කමට පිළිතුරු සොයන රැල්ල තුළ මේ ඇදී යෑම සිද්ධ වෙනවා. ඒ නිසා දරුවන්ගේ කාලය නිකරුනේ ගත කරනන් දෙන්නත් නරකයි. ඔවුන් කුමන හෝ දෙයක නිරත කරවීම අවශ්‍යයි.

දරුවෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව දැනගන්නේ…

දරුවාගේ හැසිරීම් රටාවේ වෙනදා නැති වෙනස්කම් ඇති වෙනවා. නිතරම වෙන්ව ඉන්න බලනවා. ඇස් රතුයි. මත්වෙලා වගේ ඉන්න පුලුවනි. ඔහු සිටින තැන අලුත් මාදිලියේ දැවටුම් තිබෙන්න පුලුවනි. මේ විදිහට ඉතා සියුම් අන්දමින් දරුවාගේ හැසිරීම් රටාව අවබෝධ කර ගන්න පුලුවනි.

මතට ඇබ්බැහි දරුවෙක් හදුනා ගත්තොත්…

මේ දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ මානසික සුවතා ඒකකය පිහිටුවා තිබෙනවා. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වුන කෙනෙක් ප්‍රතිකාර ගැනීමට ලැජ්ජා විය යුතු නැහැ. අදාල පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන් වෙනුවෙන් පවුලේ අයෙකු හෝ සහභාගී වෙලා උපදෙස් ලබා ගන්න පුලුවනි. මේ නිවාරණ වැඩසටහන් වෙනුවෙන් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර, ක්‍රම දෙකකට සිද්ධ වෙනවා.

  • උපදේශන
  • ප්‍රතිකාර

උපදේශන මගින් ප්‍රතිඵල නොලැබෙන විට ප්‍රතිකාර සදහා යොමු වෙනවා. ඇබ්බැහි වූ පුද්ගලයාට වගේම පවුලේ අයටත් මේ පුද්ගලයා සමග ඉදිරියට ගනුදෙනු කරන අන්දම ගැන කියා දෙනවා. සුවය ලැබුනාට පසුව දරුවා මානසික සුවතා ඒකකය සමග සම්බන්ධ වෙන්න අකමැති නම් පවුලේ උදවියට අපෙන් උපදෙස් ලබා ගෙන දරුවා ගැන අවධානය දක්වන්න පුලුවනි. මත්ද්‍රව්‍ය  භාවිතය නැවැත්වූ අයගේ සායනයක් හා හමුවක් මාසයකට වරක් පැවැත්වෙනවා. ඒ සඳහා පවුලේ බාරකරුවන්ද පැමිනීම අවශ්‍යයි.

මහනුවර ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ එස්.සී.ඒ.බී අරඹේපොල මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කරැණු අනුව මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පුස්තකාලාධිපතිනි පුන්‍යා චාන්දනී ද සිල්වා මහත්මිය විසින් සකසන ලද ලිපියකි.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here