බිලිඳු දරුවාට කිරි දෙන අම්මා කෙනෙක් ගැන එදා ජන සමාජයේ තිබුනේ පුදුමාකාර ආදරයක්. ඒ වගේම ගෞරවයක්. ඒ නිසාම ළදරුවාට කිරි දෙන අම්මා මුල් කර ගෙන බොහොම පිලිගැනීමක් තිබුනා. දරුවාට කිරි දීම බොහොම පූජණීයත්වයෙන් සැලකුවා. ඒ නිසාම කිරි දීම මුල් කර ගෙන විවිධ සම්ප්‍රදායන්ද නොදැනීම ගොඩ නැගී තිබුනා.
දොරකඩ සිටගෙන හෝ දොර පිළ මත හිඳගෙන දරුවාට කිරි පොවන්න අවසර තිබුනේ නැහැ.ඒ වගේම ඉදිකඩුල්ල පෙනෙන තැනක සිට කිරි දීම අනුමත කලේ නැහැ.
ඒ වගේම කිරි දෙන අම්මා දිය නෑම ඉර මුදුන් වීමට පෙරාතුව සිදු වෙන්න ඕන. ඒ වගේම මන්දාරම් සහිත නම් ඒත් ස්නානය ගැන දෙවතාවක් හිතන්න වුනා. දිය නෑවාට පසුව කෙස් විදාගෙන වගේම තෙත කෙස්වලින් යුක්තව හිඳ දරුවාට කිරි පෙව්වේත් නැහැ.
පිරිමි ඉදිරියේ කිරි දීම සිදු වුනේ නැහැ. මව පමණක් දරුවා සමග හුදෙකලාව හිඳ කිරි දෙනවා නම් කිරි ස්වල්පයක් ඇඟිල්ලට ගෙන කෙළ ගාලා ඉවත දැම්මා. දරුවා ලැබිලා මාස තුනක් ගෙවෙන තුරු ‘‘ වැදු ගෙයි කිල්ල“ විදිහට හැඳින්වුන නිසා අම්මාට කෙතේ වැඩට යන්නඅවසර නැහැ.ඒ නිසා ඇගේ කුඹුරු වැඩ ගමේ කාන්තාවන් විසින් ඉටු කර දුන්නා. මේ අත්තම හැදින්වුනේ ‘‘ කිරි නෙළුම “ විදිහටයි. වෙන දෙයක් තබා තමාගේ කුඹුරේ වැඩ කටයුතු කරන කාන්තාවන්ට ආහාර පාන වලින් පවා සංග්‍රහ කිරීමට ඇයට අවසර දුන්නේ නැහැ. කිරි දරුවෙක් ගෙදර ඉද්දී ආහාර පාන සකස් කිරීමට තිබෙන අපහසුතාවය මේ අය දන්නවා.
සිංහල අලුත් අවුරුදු කාලයට කිරි දෙන කාන්තාවක් සිටිනවා නම් ඇගේ නිවසේ සියලු කටයුතු අසල්වැසි කාන්තාවන් විසින් ඉටු කර දුන්නා. නිවස පිරිසිදු කිරීම, ගොම මැටි ගෑම වගේම තෙල් වළං අසල සිටින්නවත් ඉඩ දුන්නේ නැහැ.අවුරුදු කැවිලිත් අසල්වැසි කාන්තාවන් විසින් සකස් කර දුන්නා. දරුවාට මාස හතර ගෙවෙන තෙක්ම ගමේ දාන, පිරිත් පිංකම් වෙනුවෙන් කිරි දෙන අම්මා සහභාගී නොවුනේ පැටියාගේ කටයුතු අතපසු නිසා වෙන්නත් ඇති.
කිරි දෙන්න පෙරාතුව ඇගේ පියයුරු හොදින් පිරිසිදුව සෝදා ගැනීම වගේම රෙදි කඩකින් වසා ගෙන කිරි දිමත් එදා අම්මා කෙනෙකුට පනවා තිබුන සමහර සම්ප්‍රදායන්.
කිරිදෙන අම්මා කෙනෙක් නිතරම සතුටින් සිටීමත් වැදගත්. කනගාටුදායක සිතුවිලිවලට නිරාවරනය වීමත් කිරිදෙන අම්මා කෙනෙකුට නුසුදුසුයි. වෙනිවැල්ගැට තම්බාගත් වතුර වගේම හොඳින් ජලය පානය කිරීමත් වගේම එළකිරි පානයත් එදා අමතක කළේ නැහැ.
කිරි දෙන අම්මාට ලබා දුන් ආහාර…
කිරි දෙන්න නම් හොදින් කිරි එරෙන්න ඕන. ඒ වෙනුවෙන් ගුණ ආහාරත් එපායැ. මේ නිසා කොස්, පොලොස් ව්‍යංජන, මැල්ලුම් වගේම කොස් තම්බලා දුන්නා. වෙන දෙයක් තබා කිරි දෙන අම්මා කෙනෙක් කොස් ගසක් යටින් ගියත් කිරි එරෙන බැව් විශ්වාස කලා.
නෙලුම් අල ව්‍යංජනයත්, සහ නෙළුම් අල කැඳ වලින් කිරි එරෙන බැව් පිලිගත් සත්‍යක්.
තම්බාගත් වට්ටක්කා වගේම රාජ අල,රතු බතල කිරි දෙන අම්මාවරුන්ට ඉතා ගුණදායක බැව් පිලිගෙන තිබුනා. කොටදිඹුලා ගෙඩිවලත් මේ ගුණයම තිබුනා.
අගුණ කොළ, කිරි අගුණ, ජපන් බටු කොළ, කිරිඇන්ද කොළ කිරි දෙන අම්මාට දුන් පලා වර්ග කීපයක්.
මුරුංගා කරල් සහ මුරුංගා කොළ, බතට හොඳ මාලු පින්නක් වුනා.
දිය නෑව දිනයේදී නම් අගුණ වුනත් කරවිල, තුඹ කරවිල නිසා කිරි පිරිසිදු කිරීමේ ගුනයෙන් යුක්තයි.කෙසෙල්මුව ආහාරයට ගත්තාම ප්‍රසවයේ ඇති වූ තුවාල වියලෙනවා වගේම මලබද්ධයත් නැති වෙනවා.
මාලු වර්ග අතරින් කිරිමෝරු, හාල්මැස්සන්,මඩු කරවල, හුරුල්ලන්, ආහාරයට ගත්තා.
කිරිදෙන මව ආහාරයට ගත්තේ කුරුට්ට සහිත හාල් වර්ගයි. මේවා බොහෝ විට පාරම්පරික සහල් වර්ගයි. ඊට අමතරව හබලපෙති, කොල්ලු, බාර්ලි, කුරක්කන් ආදියත් කිරිදෙන අම්මාගේ ආහාරයට යහමින් එකතු වුණා.