”මගේ බබා හරිම දගයි. කෑගහනවා. අම්මට තාත්තලට වුනත් ගහනවා. කියනදේ අහන්නැනෙම නැහැ. සමහර වෙලාවට අපි දෙන්නත් මේවට රණ්ඩු වෙනවා. කොහේ හරි ගියත් වැඩිහිටි අය මගෙන් අහනවා මෙහෙමද ඔයා දරුවා හදන්නේ කියලා. අනිත් ළමයි හොඳට ඉන්නවා. මෙච්චර දේවල් කරද්දීත් ඇයි මගේ දරුවා වගේ”. මේ අපේ අම්මලා බොහොම දෙනෙකුට ඇති වුනු ප්‍රශ්නයක් නිසාම මේ ගැන සාකච්ජා කිරීම වැදගත් කියලා හිතුණා.
අපි දෙමාපියන් විදිහට දරුවන්ට ලෝකය ගවේෂණය කරන්නට ඉඩ දිය යුතුයි. එසේ ඉඩ දෙන අතරේම අපි අපේ දරුවන් ආරක්ෂා කළ යුතුයි. මොකද දරුවන්ට වයස අවුරුදු 25 – 28 වනතුරු තනිව රැකෙන්න අපහසුයි. මිනිස්සුන්ගේ සුවිශේෂී හැකියාවන් (Executive Functions) විනිශ්චය කිරීමේ හැකියාව, තීරණ ගැනීම, සමාජයට අනුකූලව හැසිරීම, ආවේග පාලනය, අවදානම් සහගත දේවල්වලින් මිදීමේ හැකියාව, ලැබෙන්නේ දරුවන්ගේ මොළයේ ඉදිරි කොටස (Frontal lobe) වර්ධනය සම්පූර්ණ වීමත් සමගයි. Frontal lobe වර්ධනය හමාර වන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 25 – 28 දීයි. මෙය ඇතම් දරුවන්ගේ කල්තියා සිදුවන අතර ඇතැම් දරුවන්ගේ ප්‍රමාද වී සිදුවේ.
මින් පෙර ලිපියේ මොළයේ වම පස බුද්ධියද දකුණු පසින් චිත්තාවේග ඇතිකරන බව සඳහන් කළා ඔබට මතක ඇති. මේ වම හා දකුණු පස යා කරන කොටස Corpus Callosum (CC) ලෙස හැඳින්වෙනවා. මව්කුස තුළ වැඩෙන සමයේ 12 සතියේදී පමණ එය වර්ධනය වීම ඇරඹෙනවා. මෙය වම දකුණ යාකරමින් තව දුරටත් වර්ධනය වෙන්නේ මෙලොවට බිහිවන දරුවා තම පරිසරයෙන් ලබන අත්දැකීම් සමගයි. සමීක්ෂණ කිහිපයකින්ම පෙන්වා දී ඇත්තේ ළමා වියේ කටුක අත්දැකීම්වලට මුහුණ දුන් දරුවන්ගේ CC වර්ධනය පමා වන බවයි.
උදාහරණයක් විදියට වයස අවුරුදු 2 – 3 දරුවෙක්ගේ මේ කාලය තුළ මොළයේ වර්ධනය සිදුවෙන්නේ විශ්වය නිර්මාණය වෙනවා වගේ. මිලියන ගන්නින් මොළයේ ස්නායු ඉපදෙනේවා, අවශ්‍ය නැතැයි කියලා මොළයෙන් වටහා ගන්නා ස්නායු මියැදෙනවා. අවශ්‍ය ස්නායු තව දුරටත් වර්ධනය වෙනවා. මේ සඳහා මොළයට මේ හැකියාව ලැබෙන්නේ දරුවාට තම දෙමාපියන්ගෙන් වගේම අවට පරිසරයෙන් ලැබෙන උත්තේජනයන් මගින්. මෙය Pruning ලෙස හඳුන්වනවා. මේ pruning අවුරුදු 25 – 28 වෙනතුරුම ඒ කියන්නේ මොළය සම්පුර්ණයෙන්ම වර්ධනය වෙනතුරුම සිදු වෙනවා. මේ ක්‍රියාවලිය මගින් අපේ මොළයේ නිර්මාණය පවත්වාගෙන ගියත් ඉන් පසු ඒ හැකියාව යම්තාක් දුරට බාල වෙනවා. වයස් ගතවීමත් එක්ක මිනිස්සුන්ගේ චර්යාවන් වෙනස් කරන්න දරුවෙක්ගේ චර්යාවන් වෙනස් කරනවට වඩා මහන්සියක් දරන්න ඕන කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසයි.
වයස අවුරුදු දෙකේ සීමාවේ දරුවන් ලෝකය දකින්නේ අත්හදා බැලිය හැකි තැනක් ලෙසටයි. උපතේ සිට අවුරුදු දෙක පමණ වන තෙක් දරුවෙකුගේ මුළු ලෝකයම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ තමන්ගේ දෙමාපියන්ගේ රැකවරණය මතයි. තමන්ට ඇවිදින්නයි, කතා කරන්නයි පුළුවන් වෙනකොටම මේ පැටවු චන්ඩි වගේ ලෝකය තමන්ගේ ග්‍රහණයට ගන්න වැයම් කරනවා. උදාහරණයක් විදියට සුපිරි වෙළඳ සලකදී මේ වයසේ දරුවෙක් කෑගහලා, පෙරලිකරනවා දැක්කම ඒ දරුවාව අපි දකින්නේ අම්මලාට ලැජ්ජා කරන පොඩි ත්‍රස්තවාදියෙක් විදියට නේද? ඔන්න ඔතනදි තමයි සමාජයෙන් අම්මට ” අනේ මෙහමත් අම්මල ඉන්නවනේ, ළමයි හදන හැටි” කියන චෝදනාව එන්නේ.
දරුවන්ගේ මේ හැසිරීම් රටා අසාමාන්‍යද?
නෑ… හරිම සාමාන්‍යයි. දරුවෙක් ඒ වගේ ලොකු පෙරලියක් කරනකොට වැඩිහිටි අපි නොදැනුවත්වම අපේ ළමාවියේදී, අපේ දෙමාපියන් මේවගේ වෙලාවට කියපු සහ කරපු දේවල් මනසට එනවා. මේ තත්ත්වය procedural නොහොත් implicit memory කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි සපත්තුවක ලේස් එක ගැට ගහන්ත්, බයිසිකලය පදින්න පියවරින් පියවරට හිතන්නේ නැහැ. පුංචි කාලේ ඉගෙන ගත්තට පස්සේ ඒ දේ ඉබේම සිදු වෙනවා. මෙන්න මේ දේම අපි දෙමාපියන් විදියට හැසිරෙද්දීත් අපේ දෙමාපියන් අපිව හදපු ආකාරයටම නොදැනුවත්වම අපි අපේ දරුවන් වෙනුවෙනුත් ක්‍රියා කරනවා. මෙන්න මේ හේතුව නිසා දරුවන්ගේ ඉතාම අහිංසක ආසාවන් අපේ මොලය තුළ දරුණු දෙයක් විදියට හඳුනා ගැනීම තුළින් දරුවාගේ අහිංසක අවශ්‍යතා වටහා ගැනීමට දෙමාපියන් ලෙස අපි අසමත් වෙනවා. මේ ගැන බොහොම පැහැදිලි ලෙස ” Circle of security parenting” හි පැහැදිලි කරනවා.
මෙන්න මේ තත්ත්වය අපි අවබෝධ කරගත් පසුව අපේ මොළයේ පෙර තිබූ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහවෙනවා. ඉන් පසුව ඇහෙන්නේ පෙන්නේන්නේ තමන්ගේ දරුවා, දරුවන්ගේ හඩ පමණයි. තමන්ගේ ළමාවියෙන්වත්, සමාජයේ ලැබෙන තීරණ මතවත් මේ තත්ත්වයේදී අපේ මනසට බලපෑම් කළ. නොහැකියි.
දරුවෙක්ගේ මෙවැනි හැසිරීම් රටාවකදී කළ යුත්තේ කුමක්ද?
උදාහරණයක් විදියට වයස අවුරුදු තුනක දරුවෙකුගේ කළහකාරී හැසිරීම් රටාවකදී මව්පියන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන අපි කතා කරමු.
- වැඩිහිටි ඔබ සන්සුන් වෙන්න
- 2. අතීතයෙන් ඔබේ මනසට එන මතක අවම කරගන්න (පෙර සඳහන් කර පරිදි මෙවැනි අවස්ථාවකදී කුඩා කල ඔබ ලැබූ අත්දැකීම්)
- වයස අවුරුදු තුනක මොළයකින් තම දරුවා සිය අවශ්‍යතාවය ඔබට කියන්නට සැරසෙන බව වටහා ගන්න
- දරුවා තනි නොකර සමීපයට ගන්න
- දරුවා ක්‍රමෙයන් සන්සුන් වන විට ”ඔයාට දුක හිතුනද, කේන්ති ගියාද පුතේ” කියා ආදරයෙන් විමසන්න. මේ ආකාරයෙන් දරුවාගේ හැඟීම් ඔබ වටහා ගනිද්දී දරුවා විසින් ඔබ තම හැඟීම් හඳුනා ගන්නා (emotional validation) බව වටහා ගනීවි.
- දරුවා සෙමින් සන්සුන් වන විට තුරුලට අරගෙන සිප වැළඳ ගෙන (දරුවා කතා නොකලත්) ඔහු/ඇය සම්පුර්ණයෙන්ම සන්සුන් වන තුරු සිටින්න
අපේ අතින් වන වරදක් තමයි දරුවෝ නොසන්සුන් හැසිරීම් පෙන්නුම් කරද්දී අපිත් කෝප ගැන්වෙන එක. එකෙන් දරුවාට යැවෙන පනිව්දය වෙන්නේ ”ඔයාගේ හැගීම් මට වටින්නේ නැහැ” කියන එක. එහෙම උනාම අපි නොදැනුවත්වම ”emotional invalidation” තත්ත්වයක් ඇති වෙනවා.දිගින් දිගටම මේ තත්ත්වය පැවතීමෙන් දරුවා අනාගතයේදී දරුණු පෞරුෂ ආබාධයන්ට ලක්විය හැකියි.අපේ කාර්ය බහුල ජීවිතේ මේ දෙය සමහර වෙලාවට ඔබට මගහැරෙන්න බැරි නැහැ. නමුත් පසු අවස්ථාවකදී හෝ දරුවාට වටහා ගත හැකි අයුරින් සිදු වූ දෙය අවබෝධ කරවන්න.
”පුතාට කේන්ති ගියාට කාටවත් ගහන එක වැරදියි” කියලා ඔබේ දරුවාට ආදරයෙන් පහදා දෙන්න. කාලයාගේ ඇවෑමෙන් දරුවා එය වටහා ගනීවි. මිනිසා පරිණාමයෙන්ම තනිව යමක් අවබෝධ කරගන්න සත්ත්වයෙක් නොවේ. මිනිස් දරුවා සියල්ල උකහා ගන්නේ තම වැඩිහිටියාගෙනි. අන්න ඒ නිසාම දරුවා වටහා ගනීවි කේන්තියාම මනුස්ස ගතියක් බවත් අපි වටහා ගත යුත්තේ එය නිවැරදිව ප්‍රකාශ කිරීම බවත්. මේ විදියට දරුවා ඔබෙන් සන්සුන් වන්නට උගනී. එය co-regulation ලෙස හඳුන්වයි.
අපි දරුවන් ඔවුන්ගේ හැඟීම් අතර තනි කලොත් හෝ දඬුවම් කලොත් ඔවුන් තුළ දයානුකම්පාව( empathy), වැරදිවලින් ඉගෙනීම( learning from mistakes and reflective capacity) සහ තව කෙනෙක්ගේ කෝණයෙන් බලා තවකෙනෙක්ගේ දුක අවබෝධ කරගැනීමේ හැකියාව (mentalistaion capacity) නොමැති වනු ඇත.
දරුවෙක්ට තරහ යාම අසාමාන්‍යද?
තරහ යන එක සාමාන්යි දෙයක්, ඒක පාලනය කරන හැටි අපි දරුවට ආදර්ශයෙන් කියා දිය යුතුයි. අපේ අතින් වෙන විශාල වරදක් තමයි දරුවන්ට තරහගන්න එක සපුරා තහනම් කරන එක. අපේ තරහා අපිට කරන්නේ අනගි සේවයක් කිව්වොත් වරදක් නැහැ. මොකද අපි තමන්ට වන අසාදාරණ දේවල් හඳුනා ගන්නේ තමන්ට ඒවෙලාවට දැනෙන හැඟීම් වලින්. ඉතින් ඒ හැඟීම් පුංචි කලේම යටපත් කෙරුවොත් තමන්ව ආරක්ෂා කරගන්න බැරි වෙනවා. එහෙම සමහර අය පීඩාකාරී බන්දිම්වල හිර වෙලා සදහටම ගුටි බැට කකා දුක් විදිනවා. සමහර අයගේ පුංචි කාලේ යටපත් කරවන කේන්තිය වැඩිහිටි වෙද්දී පිට කරනවා. පුංචි කාලයේ කේන්තිය පාලනය කරන්න ඉගෙන නොගත් නිසා, සමහරවිට ක්ෂණික කෝපය පාලනය කරන්න බැරුව අයෙක් මරණ තත්ත්වයට පවා පත් විය හැකියි.
මෙන්න මේ විදියට අපි අපේ දරුවන්ට මග පෙන්නුවොත් එයාල නිසි මානසික සෞඛ්‍යයත් සමගම ඉදිරියට යාවි. නව යොවුන් වියට එළඹෙද්දී ඔබට වැටහේවි දරුවාට නිවැරදි මගපෙන්වන්නා ඔබ බව දරුවා වටහාගෙන ඇති ආකාරය. ඔබව විශ්වාස කරන බව. නව යොවුන් වියේදී පවා ඔවුන්ට ඇතිවන ලිංගික ගැටලු ඇතුළු ඕනෑම ගැටළුවක් ගැන පවා ඔබ සමග පැවසීමට තරම් දරුවා ඔබට සමීපව සිටිනු ඇත.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.