ඇයි මේ දරුවා අනිත් දරුවන්ව Bully කරන්නේ?

ලක්මාල් පාසැල ඇරිලා ගේට්ටුවෙන් එළියට එද්දිම අම්මාගේ ඇඟේ එල්ලිලා අඬන්න පටන් ගන්නවා. හැමදාම එයා කියන්නේ ”අනේ අම්මා හෙට නම් මට ඉස්කෝලේ යන්න බෑ. මම නම් මේ ඉස්කෝලෙට යන්න ආසම නැහැ. මාව වෙන ඉස්කෝලෙකට දෑන්නකෝ” කියලයි.

”ඉතිං හොයලා බැලුවේ නැද්ද ඇයි ලක්මාල් මේ විදියට අඩන්නේ කියලා.

මුලින්ම නම් අපි ගණන් ගත්තේ නැහැ. අපි හිතුවේ කම්මැලිකමට කියලා. එත් පස්සේ පස්සේ තේරුණා පුතා ගොඩක් බයෙන් වගේම දුකෙන් ඉන්නේ කියලා. ඒ නිසාම අපි එයා එක්ක නිදහසේ මේ ගැන කතා කළා.

ඉතින්, මොකද පුතා කිව්වේ,

එයාට පන්තියේ ළමයෙකුගෙන් ටිකක් කරදරයි කිව්වා.

ළමයෙක්ගෙන් කරදරයි කිව්වා…

මේ පුංචි ළමයි අනිත් ළමයින්ට මොන කරදර කරවද?

ඔව්.. අපිත් ඒක කල්පනා කළා. ඒත් පස්සේ තේරුනා පුතාට ඒකට මුහුණ දෙන්න බැරි නිසා තමයි මේ විදියට අඩන්නේ කියලා”

මොකද්ද මේ ලක්මාල්ට වෙලා තියෙන්නේ, පන්තියේ තවත් දරැවෙක නිසා ලක්මාල් හැම නිතරම පීඩාවට පත්වෙන්න අරගෙන. තවත් දරැවෙක් මේ විදියට හිරිහැරයට ලක්කරන්න ඒ ව‍යසේම තවත් දරැවෙක්ට හැකි වෙන්නේ මොන වගේ කරැණු නිසාද කියලා ළමා මනෝවෛද්‍ය විශේෂඥවරයෙක් සමග කතා කරන්න අපි හිතුවා.

ඇත්තටම මොකද්ද මේ ”bullying ” කියන්නේ ?

එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට තර්ජනය කිරීම හෝ අනතුරක් කිරීම හෝ අනතුරක් කරන බවට තර්ජනය කිරීම තමයි bullying විදියට හඳුන්වන්නේ. සරලව කිව්වොත් තවත් කෙනෙකුට හිරි හැර කිරීම මේ විදියට හඳුන්වන්න පුළුවන්.  මෙතැනදී පාර්ශව දෙකක් සිටිනවා. ඒ කියන්නේ හිරිහැර කරන පාර්ශවය සහ හිරිහැරයට ලක්වෙන පාර්ශවය ලෙසට. වැඩිහිටියෝ අතර, පවුලේ අය අතර, රැකියා ස්ථානවල, පාසැල්වල බොහෝ සෙයින් සිදුවෙන තත්ත්වයක්. ඇමරිකා එක්සත් ජනපදයේ සමීක්ෂණවලට අනුව හැම දරුවෝ 4 දෙනෙකුටම එක්කෙනෙක් මේ තත්ත්වයට මුහුණ දෙනවා.

සාමාන්‍යයෙන් කුඩා වියේ දරුවන් නම් පාසලේදී  උසුළු විසුළු, පැන්සල්/පෑන්.පොත් උදුරා ගැනීම වැනිදේ සිදු වුණත් නව යොවුන් වියේදී මෙය  සැලසුම් සහගතව සිදු කරනවා. උදාහරණ විදියට තවත් දරුවෙකුගේ අවස්තාවක් පහර ගැනීම වැනි දේ දැක්විය හැකියි. සාමාන්‍යයෙන් ගැහැණු දරුවන් නම් වාචිකව තම ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කරන අතරම පිරිමි දරුවන් ශාරීරික ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කරනවා.

දරුවෙක් තවත් අයෙක්ට හිරි හැර කරන තත්වයට පත් විය හැකි හේතු මොනවාද?

මනෝ විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත්,

  1. දරුවෙකුගේ පවුල් පරිසරය, උදාහරණයක් ලෙස හැදෙන පරිසරය/අසල් වැසි පරිසරය ප්‍රචණ්ඩත්වයට වැඩි නැඹුරුවක් දක්වනවා නම් තවත් අයෙකුට තාඩන පීඩන සිදු කිරීම සාමාන්‍ය දෙයක් ලෙස දරුවාගේ මනසට කාවැදෙනවා. එවැනි දරුවෙක් අනික් අයට තාඩන පීඩන කිරීම සාමාන්‍ය දෙයක් විදියට ලෙසත් එය සාමාන්‍ය ජීවිතයේ කොටසක් ලෙසත් සිතනවා.
  2. සමාජ විරෝධී පෞරුෂත්ව ලක්‍ෂණ ඇති දරුවන් තුළ සහකම්පනය විරලයි. එවැනි දරුවන් තවත් කෙනෙක්ගේ දුකක් වේදනාවක් හැඟීමක් හඳුනන්නේ නැහැ. ඒ වගේම තවත් කෙනෙක්ගේ දුකක් වේදනාවක් හඳුනා ගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඔවුන් තුල නැහැ. එවැනි දරුවන් තවත් කෙනෙක්ව පිඩාවට පත් කිරීම සිදුකල හැකියි.
  3. ආත්ම අභිමානය, ආත්ම ශක්තිය අඩු දරුවන්. ඔවුන් සමාජය දකින්නේ තා දෙස වැරදියට දකින, තමන් පහත කර සලකන පිරිසක් ලෙසටයි. ඒ කියන්නේ ඒ දරුවන් තුළ කුඩා වියේ සිටම ආත්ම ශක්තිය වර්ධනය කරවන්නට දෙමාපියන් උත්සාහ කර නැහැ. එවිට ඔවුන් ආදරය කරුණාව දක්වන්න, තවත් අයෙකුට ගෞරව කරන්න දන්නේ නැහැ. එවැනි දරුවන් තවත් දරුවෙකු පීඩාවට පත් කල හැකියි.
  4. පුංචි කාලේ අපහරණයට ලක් වුණු දරුවෝ මේ කොටසට වැටෙන තවත් පිරිසක්. පවුලේම සාමාජිකයෙකු අතින් අපහරණය ලක් වූ දරුවෙකු එතැන් පටන් ලෝකය දෙස බලන්නේ අවිශ්වාසයෙන්. ඒ හේතුව මත දරුවෙකු තවත් දරුවෙකු පිඩනයට පත් කිරීමට යොමු විය හැකියි.
  5. අවධාන ඌනතා සහ අධි ක්‍රියාකාරී දරුවන්. මෙවැනි දරුවන් ඉතාම ආවේගශීලියි. මොවුන් ඉතා සුළු දෙයකින් පවා ඉතා ඉක්මනින් කෝප ගැන්වෙනවා,කලබලයට පත් වෙනවා. ඒ වගේ දරුවන් අනෙක් දරුවන්ට පීඩා ඇති කිරීමට යොමු විය හැකියි’
  6. ඇතැම් දරුවන් පාසැල තුළ කල්ලි වශයෙන් එක්කාසු වී සිටින අතරම දරුණු නායකයෙකු යටතේ මේ කල්ලිය පවතිනවා නම් කල්ලියේ අනෙක් සාමාජිකයන් එහි රැඳී සිටීමට වීරක්‍රියාවක් සේ අනෙක් දරුවන්ට හිරිහැර සිදු කල හැකියි. ඔවුන් බොහෝ විට මෙය සිදු කරන්නේ ප්‍රචලිත වීම වෙනුවෙන්ය. මෙවැනි තත්ත්ව ඉතා ඉක්මනින් වෙනස් කළ හැකිය.

තම දරුවා අනෙක් දරුවන්ට පීඩාවන ආකාරයෙන් හැසිරෙන බවට පැමිණිලි ආවත් දෙමාපියන් ලෙස බහුතරයක් එය පිළිගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් එසේ සිටීම ඔබ, ඔබේ දරුවාටම සිදු කරන වරදකි. අන්න ඒ නිසාම විවිධ උපාය මාර්ග යොදමින් දරුවා මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට ඔබ කටයුතු කල යුතුය. අවශ්‍ය නම් මනෝවෛද්‍ය උපදෙස් වෙත යොමු වීමට වුවද වගකීම් සහගත දෙමාපියන් ලෙස ඔබ සූදානම් විය යුතුය.

ගොඩක් දෙමාපියෝ පිළිගන්නේ නැහැ. අමාරැ වුණාම උදව් ගන්න උපදෙස් ගන්න මැලි වෙනවා. නමුත් නිසි මර්ගොදපදේශයක් දෙමාපියන් වන ඔබට හිමි වෙනවා නම් ගැටලුව නිරාකරණය කර ගැනීම වඩාත් පහසුවන බව තේරුම් ගත යුතුය.

ඔබේ දරුවා නිසා අනෙක් දරුවන් පීඩාවට පත් වෙනවා නම් දෙමාපියන් ලෙස ඔබ කල යුත්තේ කුමක්ද?

පළමුවෙන්ම දෙමාපියන් ලෙස ඔබ කල යුතු වන්නේ සිද්ධ වන්නේ කුමක්ද යන්න හඳුනා ගැනීමයි. දරුවා මෙවැනි ක්‍රියා සිදුකරන්නේ පාසලේදීද, පන්තියේදීද, එසේත් නැතිනම් නිවසේදීද යන්න ඔබ වටහා ගත යුතුයි. ඒ වගේම ඇතැම් ගැහැණු දරුවන් ගැහැණු දරුවන්ට ද පිරිමි දරුවන් පිරිමි දරුවන්ටද මෙසේ පීඩා කරන අතරම දෙමාපියන් ලෙස ඔබ මේ ගැටලුවේ තීව්‍රතාවය වැටහ ගත යුතුය. එනම් තත්ත්වය කොයි තරම් දුර දිග ගොස්ද කියා වටහා ගත යුතුය. එනම් පීඩා කරන්නේ වාචිකවද එසේත් නැතිනම් ශාරීරික පීඩා සිදු කිරීමෙන්ද යන්න පිළිබඳව දැනුවත් විය යුතුය. මෙවැනි අවස්ථාවකදී කිසි විටෙකත් දරුවාට පහර දීමෙනේ පිළිතුරු සෙවීම නිවැරදි නොවන බව ඔබ වටහා ගන්න. එවිට සිදුවන්නේ ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු සෙවීමයි. නමුත් වැඩිහිටියන් ලෙස ඔබ කල යුතුවන්නේ දරුවා මෙවැනි තත්ත්වයකට පත් වීමට හේතු සොයා බැලීමයි.

ඔබේ දරුවා තවත් දරුවෙකුට පීඩා කිරීමට හේතුව දරුවා වෙනත් දරුවෙකු නිසා ඒ තත්ත්වයට පත් වුනාද නැත්නම් වෙනත් මානසික  තත්වයක් නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ වාද යන්න සොයා බැලිය යුතුය.

මෙවැනි අවස්ථාවකදී පළමුවෙන්ම,

ඔබේ දරුවාට අනෙක් යටත් දුක, වේදනාව, ලැජ්ජාව, බිය දැනෙන බව සරලව පහදා දෙමින් උපදෙස් ලබාදෙන්න. මේ සඳහා ඔබේ ආගමට අනුකුලව දරුවාට උපදෙස් ලබා දිය හැකියි. නැවත වරක් දරුවා අගන එවැනි පැමිණිලි ලැබුනොත් දරුවාට හිමි වරප්‍රසාද ලබා නොදෙන බවත් දරුවාට ආදරයෙන් පවසන්න.

උදා: ආයේ පැමිණිලි ආවොත් රුපවාහිනිය නරඹන්න ඉඩ දෙන්නේ නැහැ.

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් මෙවැනි උපදෙස් මගින් පාලනය කරගත හැකි වේ. එසේම වැඩිහිටි ඔබ දරුවා ඔබේ උපදෙස් පරිදි අනවශ්‍ය ක්‍රියාවලින් ඈත් වී නම් එය ඇගයීමද කල යුතු බව මතකයේ තබා ගන්න. මෙසේ සරල විසදුම් සමගින් තත්ත්වය පාලනය කල නොහැකි නම් සමාජ විරෝධී අදහස් පවතිනවා නම් මනෝ වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු අතරම මෙතැනදී දෙමාපියන් වටහා ගත යුතු වැදගත්ම දෙයක් වන්නේ මනෝ වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම යනු දරුවා මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන බවට ඉඟියක් නොවන බවයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here