- Advertisement -

දරුවෙකුගේ මනස සංවර්ධනය කිරීමට දෙමාපියන් සර්ව සම්පුර්ණ විය යුතුද?

-

දරුවන් සම්බන්ධව මගේ අත්දැකීම් ගැන කියනවනම් ඒවා මගේම පුංචි දුවගෙනුත්, මගෙන් ප්‍රතිකාර ගන්න එන සාමාන්‍ය පවුල්වල ළමයින්ගෙනුත් , ළමා රක්ෂක සංවිධානය විසින් දෙමාපියන්ගෙන් වෙන් කරපු ළමයින්ගෙනුත්, නොයෙක් මානසික සහ කායික ලෙඩ තියෙන ළමයින්ගෙනුත් වගේම හිරේ ඉදගෙන හිරබත්කන ළමයින්ගෙනුත් ලබාගත්ත ඒවා වෙනවා.

අපි පොඩ්ඩකට ළමා ලෝකෙට යමුද?

- Advertisement -

මවු කුසට දරුවෙක් ආපු දවසෙ සිට අවුරුදු 25-28 වෙනතුරු මනුෂ්‍ය මොළය වර්ධනය වනවා. ඒත් බලු පැටිව්, කිඹුල් පැටව් හෝ වෙනත් ඕනම ළදරු සතෙක් උපන් දවසේ සිටම සතුන් දඩයම් කර ගෙන තමන්ව අරක්ෂාකර ගන්නවා. පරිණාමයේ ඉදිරියෙන්ම ඉන්න මනුෂ්‍ය දරුවා අවුරුදු 25 – 28 වනතුරුම ඉන්නේ යම්තාක් අනාරක්ෂිත තත්වයක.(vulnerable)

මනුෂ්‍ය දරුවා ස්වරැකවරණය සලසා ගත නොහැකි ජීවියෙක් වුයේ කෙසේද?

අනිත් සතුන් පසුකරමින් ලෝකයේ ඉදිරියෙන්ම අපේ තැන පවත්වා ගන්න නම් මනුෂ්‍ය දරුවා ශිෂ්ඨාචාරයෙන් සහ බුද්ධියෙන් ඉදිරියෙන්ම සිටිය යුතු අතරම ඒ සඳහා මනුෂ්‍ය දරුවාගේ මනස තමන්ගේ පරිසරයෙන් ඒ කියන්නේ වටපිටාව සහ තමා වටා වෙසෙන අනෙක් පුද්ගලයන්ගෙන් (වැඩිහිටියන්ගෙන්) ලැබෙන අත්දැකීම්  සමග වර්ධනය විය යුතුයි. මේ අතරින් දෙමාපියන්ගෙන් ඉටුවන මෙහෙය ඉතා වටිනා අතරම දරුවෙකුගේ මොළයට කල්පනාකාරී ලෙස තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වන තුරු ඔවුන් දරුවන්ව රැකගන්නවා.

වැඩිහිටියෙක් ලෙස ලොවට අවතීර්ණ වීම සඳහා අපේ මොළයේ වම් පැත්ත බුද්ධියෙන් ඉදිරියට යද්දී දකුණු පැත්ත පෞරුෂ වර්ධනය, හැඟීම් සහ ආවේග පාලනය කරමින් වර්ධනය විය යුතුයි. අපේ සමාජය බොහෝ විට අගයන්නේ දරුවෙකුගේ බුද්ධියයි. අපේ පාසල්වල තරග විභාග මගින් වුවත් සැමවිටම ප්‍රමුඛත්වය දෙන්නෙත් ගණිත හැකියාව, අකුරු ලිවීමේ හැකියාවට. නමුත් මෙතැනදී දරුවෙකුගේ පෞරුෂ වර්ධනය වෙනුවෙන් අපේ මොළයේ දකුණු පස සිදුවිය යුතු වර්ධනය මගහැරෙනවා.

දරුවෙකුගේ පෞරුෂ වර්ධනය වෙනුවෙන් අපේ මොළයේ දකුණු පස වර්ධනය වෙන්නේ කෙසේද?

මෙහි වර්ධනය සිදුවන්නේ දෙමාපියන් හෝ දරුවා රැකබලාගන්නා වෙනත් වැඩිහිටියෙක් සමග දරුවන් ගොඩ නගා ගන්න සම්බන්දකම් මතයි. මෙන්න මේ

ආකාරයට දරුවන් දෙමාපියෝ සමග ඇතිකර ගන්නා  බැඳීම attachment  කියලා  පුළුවන්. මේ බැඳීමට දරුවා විතරක් නෙමේ, දෙමාපියොත් එක වගේම දායක විය යුතුයි. වැඩිහිටියෙක්ගෙන් ලැබෙන ආදරය, දයානුකම්පාව, නිවුණු සැනසුණු බව (calm), දරුවා ට දරුවෙක් ලෙස දක්වන පිළිගැනීම, කොන්දේසි විරහිත ගෞරවය (unconditional positive regard) යන කරුණු දරුවෙක්ට දෙමාපියන් සමග ආරක්‍ෂිත බැදීමක්(secure attachment) ඇතිකරගන්න බොහෝසෙයින් වැදගත් වේ. මෙලෙස ආරක්‍ෂිත බැදීමක් ඇතිකරගන්නා දරුවා ආත්ම විශ්වාසයෙන්, තමන්ට දක්වන ආදරයෙන් ගරුකිරීමෙන් වගේම අන්‍යයන්ටත් අනුකම්පාව, දයාව, ගෞරවය ලබාදෙමින් ජිවිතයේ ඉදිරියට ගමන් කරයි. එවැනි දරුවන් තම ආවේග මනාව පාලනය කරගන්නා අතරම දරුවන් ක්‍රමක්‍රමයෙන් වැඩිහිටි වයස කරා යනවිට ඉතා හොඳ මානසික සෞඛ්‍යයක් සහිත පුද්ගලයන් බවට පත් වේ. එසේම මත්ද්‍රව්‍ය, මත්පැන්, සියදිවි නසාගැනීම්, තමාටම හානි සිදුකරගැනීම් වැනි දේ වෙත මෙම තත්වයේ දරුවන් පෙළඹෙන්නේ අවම වශයෙනි. තවද මේ ආකාරයෙන් මනස ගොඩ නැගෙන දරුවෙකු අනාගතයේදී තම ජිවන සහකරු හෝ සහකාරිය සමග වුවද ගැටුම් ඇති කරගැනීම අවම වන අතරම ඔවුන් ඔවුන්ගේ දරුවන්ට යහපත් දෙමාපියන්ද වනු ඇත.

දරුවෙකුගේ මනසේ නිසි වර්ධනයට දෙමාපියන්ට පැවරෙන වගිකීම කොයි ආකාරද?

දරුවාගේ මනස සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔබ දෙමාපියන් ලෙස සර්වසම්පූර්ණ වියයුතු නැති අතරම දෙමාපියන්ට දරුවන් සම්බන්ධයෙන් පැවරෙන වගකීම වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ බැරෑරුම් වගකීමකි. සමීක්ෂණ අනුව පවසන්නේ දරුවන්ට 30% ක හොඳ දෙමාපිය/රැකබලාගන්නාගේ රැකවරණයක් හිමිවීම දරුවෙකු සමග ආරක්‍ෂිත බැඳීමක් (secure attachment) ඇති කර ගැනීමට රමාණවත් බවයි. දරුවන් සමග නිසි ලෙස බැඳීම් සංවර්ධනය නොවුනහොත් Attachment Disorder තත්ත්වය ඇති විය හැකි අතරම ඒ හරහා අප පෙර සඳහන් කළ මත්ද්‍රව්‍වලට ඇබ්බැහි වීම, සියදිවි නසා ගැනීම් වැනි මානසික තත්ත්වයන්ට (Self-destructive) මෙන්ම  කායික රෝග තත්ත්ව වලටද හේතු විය හැකියි.

දෙමාපියන් දරුවන් සමග ආරක්‍ෂිත බැඳීමට (Secure attachment) වැඩිහිටි අප ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

කේන්තියෙන් කෑගහන පුංචි දරුවෙක් දිහා බලලා බොහෝ විට අපි හිතන්නේ මේ දරුවා මේ විදිහට හැසිරෙන එක කොපමණ වැරදිද කියලයි. මෙහෙම හිතන අම්මා කෙනෙක් සමහරවිට දරුවට කායිකව හෝ මානසිකව දඩුවම් කරන්නත් ඉඩ තියෙනවා. දරුවාගේ වයසට අනුකූලව සිදුවිය යුතු මානසික වර්ධනය ගැන අවබෝධයක් නැති කමින් අපේ අතින් බොහෝ විට දරුවා සමග ඇති කර ගත යුතු බැඳීමට බාධා (attachment  disruptions) ඇති විය හැකියි. එය ගෙදර මවගෙන් පමණක් නොව මෙවැනි දරුවන් සහ මව්වරුන් දෙස බලා  වෙන්න පුලුවන්. දැරුවන්ගේ අම්මල විතරක් නෙමෙයි දරුවා සහ අම්මල දෙස බලා හිතෙන හිතෙන විනිශ්චයන් ලබාදෙන සමාජයත් මෙතැනදී දරුවන්ට ඇති විය හැකි attachment disruptions තත්ත්වයට හේතු විය හැකියි. ඊට අමතරව දෙමාපියන් අතර ඇති වන රණ්ඩු සරුවල් (domestic violence), මත්ද්‍රව්‍ය, මානසික රෝගී තත්ත්වත් මේ තත්ත්වයට බලපානවා. ඒ වගේම දෙමාපියන් ඔවුන්ගේ දෙමාපියන් සමග බැඳුණු ආකාරයත් තමන්ගේ දරුවන් සමග බැඳීම් ඇතිකර ගැනීමේදී වැදගත් වෙනවා. දරුවන්ගේ මානසික අවශ්‍යතා දෙමාපියන්ට අවබෝධ කර ගන්න බැරිවීම නිසා දරුවෝ තමන්ගේ හිතේ ඇති පීඩනය දෙමාපිය/වැඩිහිටියෝ අනුමත නොකරන ක්‍රියාවලින් පිට කිරීමට උත්සාහ කරනවා.

සාමාන්‍ය  දරුවෙකුගේ මානසික වර්ධනය සිදුවන පියවර .

උපතේ සිට අවුරුදු දෙක දක්වා

මෙම සංවර්ධනයේ ආරම්භක අවධියේදී, දරුවන් තම සහජ කුසලතා සහ හැකියාවන් (බැලීම, උරා ගැනීම, ග්‍රහණය කර ගැනීම සහ සවන්දීම වැනි) පරිසරය පිළිබඳ වැඩිදුර උගනි. වෙනත් වචනවලින් කිව්වොත්, ඔවුන් ලෝකය අත්විඳින්න ඔවුන්ගේ සංවේදීතාවන් සහ චලනයන් තුළින් දැනුම ලබා ගනී. දරුවන් ඔවුන්ගේ පරිසරය සමග අන්තර්ක්‍රියා කරන විට, එයට සාපේක්ෂව කෙටි කාලයක් තුළ මොළයේ විශාල වර්ධනයක් කරා ගමන් කරයි.

උපතේ සිට මාස 12 දක්වා ළදරුවන් වැඩිහිටියන් විශ්වාස කළ හැකි බව ඉගෙනගන්නනා අතරම එය සිදුවන්නේ වැඩිහිටියන් දරුවෙකුගේ පැවැත්ම සඳහා මූලික අවශ්‍යතා සපුරාලන විටය. ළදරුවන්ගේ ජීවීතය සම්පූර්ණයෙන්ම ඔවුන්ව රැකබලා ගන්නන් මත රඳා පවතී. එබැවින් ළදරුවන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වන සහ සංවේදීව රැකබලා ගන්නන් තම දරුවාට විශ්වාසනීය හැඟීමක් වර්ධනය කර ගැනීමට උපකාරී වේ. ඔවුන්ගේ දරුවා ලෝකය ආරක්ෂිත ස්ථානයක් ලෙස දකින්නට පටන් ගනී. තම දරුවාගේ අවශ්‍යතා සපුරාලන්නේ නැති ප්‍රතිචාර නොදක්වන දෙමාපියන්ට දරුවන් තුළ දැකිය හැක්කේ කාංසාව, බිය සහ අවිශ්වාසය වැනි හැඟීම්ඇය. ඔවුන්ගේ දරුවන්ට ලෝකය අනාරක්ෂිත තැනක් ලෙස දිස් විය හැකියි. එය දරුවන් තුළ දරුණු ලෙස . එතකොට දරුණු කාංසාව (anxiety) හා සම්බන්ධ රෝග ඇති කල හැකියි. ළදරුවන්ට කුරිරු ලෙස සැලකුවොත් හෝ ඔවුන්ගේ අවශ්‍යතා නිසි ලෙස සැපිරුවේ නැත්තම්, ඔවුන් ලෝකයේ මිනිසුන් කෙරෙහි අවිශ්වාසයෙන් බැලීමට පමණක් හුරු වන ඇත.

වයස අවුරුදු 2 සිට අවුරුදු  7දක්වා

මෙම අවධියේ දරුවන්ට තවමත් තාර්කික අවබෝධයක් නොමැති බවත්, මානසිකව තොරතුරු හැසිරවිය නොහැකි බවත්, අනෙක් පුද්ගලයින්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලීමට අපොහොසත් බවත් වැඩිහිටි ඔබ අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. ඒ නිසා මේ වයස් සීමාවේ ළමයින් Egocentric සහ narcissist වශයෙන්  සමහරු දකිනවා.

සාමාන්‍යයෙන් කුඩා දරුවන් තම ලෝකය ගවේෂණය කිරීමට පටන් ගන්නා විට, ක්‍රියාවන් පාලනය කිරීමට තමන්ගේ පරිසරය හසුරුවන්න ඉගෙන ගන්නවා. ආහාර, සෙල්ලම් බඩු සහ ඇඳුම් පැළඳුම් වැනි පරිසරයේ ඇතැම් අංග සඳහා ඔවුන් පැහැදිලි රුචිකත්වයක් පෙන්වන මෙම කාලය බොහෝ අය “terrible two” ලෙස හඳුන්වනවා.

නිදසුනක් වශයෙන්, අවුරුදු 2 ක් වයසැති දරුවෙක්‌  තෝරාගෙන ඇඳුම් ඇඳීමට කැමත්තක් පලකරනවා. ළමයා තෝරන ඇඳුම් ආයිත්තම් නුසුදුසු වුනත්, එවැනි මූලික තීරණවලට දරුවා ඇතුළත් කිරීම දරුවාගේ ස්වාධීනත්වය වර්නධය කිරීමට බලපායි. දරුවන්ට මේ අවස්ථා අහිමි වුවහොත්, තමන්ගේ හැකියාවන් සැක කළ හැකි අතර, එමඟින් ආත්ම අභිමානයට, පෞරුෂ වර්ධනයට  හානි විය හැකියි. ඉතින් කොච්චරවත් අවුරුදු දෙකක පොඩි දරුවෙක් “no,no,no,no” කිව්වා කියල බිය විය යුතු නැහැ. එය බොහොම සාමාන්‍ය තත්ත්වයක් වන තරම ඔබ කල යුත්තේ එය වෙනස් කිරීමට උත්සාහ නොකිරීමයි.

අවුරුදු 7 සිට 11 දක්වා

මෙම වයසේ දරුවන් විශේෂිත දේවල් පිළිබඳව වඩාත් තාර්කිකව සිතන්නට පෙළඹුනත් ඔවුන්ට තවමත් ව්‍යුක්ත අදහස් ( abstract thinking) නිසි ලෙස ග්‍රහණය කර ගැනීමේ හැකියාව නැහැ. මුලපිරීම, අභිලාසය සහ වගකීම පිළිබඳ හැඟීමක් ඇති වන්නේ දෙමව්පියන් විසින් දරුවෙකුට සීමාවන් තුළ ගවේෂණය කිරීමට ඉඩදී දරුවාගේ තේරීමට සහාය වන විටයි. එවිට දරුවන්ගේ ආත්ම විශ්වාසය හොදින් වර්ධනය වේ. මේ වයසේදි දෙමාපියන් දරුවන්ව අධික ලෙස පාලනය කිරීම දරුවන්ගේ මානසික වර්නධයට හානිකරයි.

අවුරුදු 12 සිට ඉහළට

දරුවන්ට ව්‍යුක්ත හා න්‍යායාත්මක සංකල්ප ගැන සිතිය හැකි අතර ගැටලුවලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා තර්කනය භාවිත කළ හැකිය. තාර්කික චින්තනය, අඩු කිරීමේ තර්කනය සහ ක්‍රමානුකූල සැලසුම් කිරීම වැනි කුසලතා ද මෙම අදියරේදී මතුවෙයි.

මෙන්න මේ ආකාරයට දරුවන්ගේ මොළය වර්ධනය පියවරවලින් පෙන්වුයේ දරුවන්ට වැඩිහිටියන් මෙන් එක රැයින් තම අවේග සහ ක්‍රියාකාරකම් පාලනය කරගත නොහැකි බව අවබෝධ කරවීමටයි. සමහර වැඩිහිටියෝ බුද්ධියෙන් ඉදිරියට ගිහින් සමාජයේ ඉහළම රැකියාවල නිරත වුනත් අවුරුදු 7 – 11 දරුවන් මෙන් හැසිරෙන අවස්ථා ඔබ දැක ඇති. ඒ වයසින් මුහුකුරා ගියත් ඔවුන් වයස අවුරුදු 7-11 අතර වන මානසික සංවර්ධන පියවරේ (emotional development stage) අදටත් හිර වී සිටින නිසයි. එය සංවර්ධනය සිර කිරීම (development arrest) විදියට හඳුන්වන්න පුළුවන්. එයට හේතුව දෙමාපියන් තම දරුවන්ගේ අවශ්‍යතා ඉටු නොකිරීම/වටහා නොගැනීම කියන හේතු නිසයි. කුඩා වියේ එවැනි අවශ්‍යතා සපුරාගත නොහැකි වූ දරුවන් වැඩිහිටි වූ පසුවද . ඒ අවශ්‍යතා පොඩි කාලේ නොපිරීමෙන් ඒවා වයසින් මුහුකුරා යත්ම නුසුදුසු අවශ්‍යතා (unmet needs) බවට පත්වෙනවා. මේ තත්ත්වයෙන් පීඩාවට පත්වෙන්නේ එවැනි පුද්ගලයන්ගේ ජිවන සහකරු.සහකාරියන් සහ දරුවන්.

දඟ, අසාමාන්‍ය හැසිරීම් රටා පෙන්නුම් කරන, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් වගේම හැම දරුවෙක්ටම පවුල තුළත් සමාජය තුළත් ඔවුන්ගේ සංවර්ධන අවශ්‍යතා සපුරා ගන්නට වගකීම් සහගත වැඩිහිටියන් ලෙස අපි සහය වෙමු.

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article