”මරණය” ලොකු පොඩි වෙනසක් නොමැතිව අපි කාටත් කොයි මොහොතේ මුණගැහේද කියා කිව නොහැකිය. අපේ සමීපතමයෙකුගේ මෙවැනි වෙන්වීමක් වැඩිහිටියන් ලෙස අපි විඳ දරාගන්නට සමත් වුවත් දරුවන්ට එයට මුහුණ දීම පහු කටයුත්තක් නොවේ. ලොව පවතින දහමට අනුව මරණය අපි කාටත් පොදුය. අපි, අපේ දරුවන්ට ඒ ගැන අවබෝධ කරලීම වැදගත් වන්නේ ඒ නිසාමය. මවගේ/පියාගේ/මිත්තනියගේ හෝ සමීපතමයෙකුගේ වියෝව දරා ගැනීමට පුංචි දරුවෙකුගේ මනසට හැකියාවක් නැතත් මරණය ගැන දරුවාට අවබෝධ කරවීම ඉතා වැදගත් වේ.
සමීපතමයෙකුගේ මරණයක් සිදු වූ විට (දෙමාපියෙක්, ආච්චී/සීයා,) මේ සම්බධයෙන් දරුවාට පවසනවාද, පවසන්නේ කෙසේද, දරුවාට මරණය ගැන ඇති අවබෝධය කුමක්ද, දරුවා මෙයට කෙසේ ප්‍රතිචාර දක්වයිද, දරුවා අවසන් කටයුතුවලට සහභාගී කරගත යුතුද වැනි ප්‍රශ්න රාශියකට වැඩිහිටියන් වන අපට මුහුණ දීමට සිදුවේ.
දරුවන් තමාට සමීප කෙනෙකුගේ මරණයකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
දරුවෙකුට මරණය ගැන ඇති අවබෝධය දරුවාගේ වයස අනුව වෙනස් වේ. එමෙන්ම, දරුවාට මිය ගිය පුද්ගලයා සමග ඉතා කිට්ටුව සම්බන්ධයක් තිබුණි නම්, මරණය අනපේක්ෂිත හදිසි මරණයක් නම් හෝ මරණයෙන් පසු දරුවාගේ එදිනෙදා ජීවිතය බෙහෙවින් වෙනස්වුනි නම් (එනම් දරුවාගේ රැකබලාගැනීම, දිනචර්යාව, ආර්ථික මට්ටම, පදිංචිය වෙනස් වුණි නම්) දරුවෙකුට මෙවැනි සිද්ධියකින් ඇතිවන මානසික බලපෑම වැඩිය.
පෙර පාසැල් දරුවන් (අවුරුදු 3 – 5)
- මිය ගිය තැනැත්තා නැවත නොපැමිණෙන බව තේරුම් ගැනීමට නොහැකිය. එමනිසා නිතර නිතර මියගිය පුද්ගලයා කොහිදැයි විමසීමට හැකිය
- තමාට සමීප අනෙකුත් පුද්ගලයන්ද තමාට අහිමි වේයැයි බිය වීමට හැකිය. එමනිසා වෙනදාට වඩා තමාට සමීප වැඩිහිටියන් අසලින්ම සිටීමට උත්සහ ගත හැකිය
- හැසිරීමේ වෙනස්වීම් දැක්විය හැකිය
o නැවත ඇඳ තෙමීමට පටන් ගැනීම
o නැවත ඇඟිලි ඉරීමට පටන් ගැනීම
o නිතර හිසරදය, බඩේ කැක්කුම වැනි අසනීප ඇතිවීම
- මියගිය පුද්ගලයා නොපැමිණෙන්නේ තමාගේ වරදකින් යැයි සිතිය හැකිය (උදා: මම කියන දේ අහන්නේ නැති නිසා තාත්තා එන්නේ නැත්තේ).
පාසැල් වියේ දරුවන් (අවුරුදු 6 ට වැඩි) හා නවයොවුන් වියේ දරුවන්
- මියගිය පුද්ගලයා නැවත නො එන බව දනී
- තමාට සමීප අනෙකුත් පුද්ගලයන්ද තමාට අහිමි වේයැයි බියවීමට හැකිය. එමනිසා වෙනදාට වඩා තමාට සමීප වැඩිහිටියන් අසලින්ම සිටීමට උත්සහ ගත හැකිය
- මියගිය පුද්ගලයා නොපැමිණෙන්නේ තමාගේ වරදකින් යැයි සිතිය හැකිය (උදා: මම කියන දේ අහන්නේ නැති නිසා තාත්තා එන්නේ නැත්තේ).
- පවුලේ අනෙක් අයට මෙම මරණය බලපා ඇති ආකාරය ගැන හා ඔවුන්ට මෙය දරාගැනීමට හැකිවේද යන්න ගැන කල්පනා කරයි
- පවුලේ අනෙක් අයව කනගාටුවට පත්වේයයි බියෙන් තමාගේ හැඟීම් අන් අයගෙන් සඟවා සිටීමට උත්සහ කළ හැකිය
- පාසල් වැඩ වලට ඇති අවධානය හා උනන්දුව අඩු විය හැක
- මියගිය පුද්ගලයා ගැන කථාකිරීමට හෝ ඔවුන් සිහිවන දේවල් මඟ හැරිය හැකිය
- හැසිරීමේ වෙනස්වීම් දැක්විය හැකිය
o නැවත ඇඳ තෙමීමට පටන් ගැනීම
o නිතර හිසරදය, බඩේ කැක්කුම වැනි අසනීප ඇතිවීම
o යහළුවන්ගෙන් හා ගෙදර අනෙක් අයගෙන් ඈත්වීමට හැකිය
o ඉක්මන් කේන්තිය/නුරුස්නා ගතිය
- නින්දට බාධා ඇතිවිය හැකිය
දරුවාට මෙවැනි සිදුවීමකට මුහුණ දීමට උදවු කරන්නේ කෙසේද?
පෙර පාසැල් දරුවන්
- දරුවාට මියගිය පුද්ගලයා මියගිය බවත්, නැවත නො එන බව වයසට ගැළපෙන වචනයෙන් කියා දෙන්න.
- දරුවාට මරණය පිළිබඳ බොරු කීමෙන් වැලකී සිටින්න (උදා: මියගිය පුද්ගලයා රට ගියා, ඉස්පිරිතාලේ ගියා ආදිය).
- දරුවාට සමීප අනෙකුත් පුද්ගලයන් දරුවා බලාගන්නා බවත්, ඔවුනට හානියක් නොවන බවත් පහදා දෙන්න
- ඔබ දරුවාගෙන් වෙන්වී යන හැම මොහොතකම, ඔබ නැවත එන බව දරුවාට ඒත්තු ගන්වා යන්න
- හැකිතාක් ඉක්මනින් මරණයට පෙර දරුවාට තිබූ දින චර්යාවට හා එදිනෙදා ක්‍රියාකාරකම් කිරීමට දරුවා යොමු කරන්න
- මියගිය පුද්ගලයා නැවත නොඑන්නේ දරුවාගේ වරදකින් හෝ දරුවා සමඟ තරහා නිසා හෝ නොවන බව පැහැදිලි කරන්න
- දරුවා ඉදිරිපිට නිතර නිතර හැඬීමෙන් වැලකී සිටීමට උත්සහ ගන්න
- දරුවාව අවසන් කටයුතු හා දානමය කටයුතුවලට සහභාගී කරවන්න්න. මෙය දරුවාට මිය ගිය පුද්ගලයා නැවත නො එන බව තේරුම් ගැනීමට උදවු වනු ඇත
අවුරුදු 6ත් – 12ත් අතර ළමුන් හා නවයොවුන් වියේ දරුවන්
- දරුවාට මරණය පිළිබඳ සත්‍යම තොරතුරු වයසට ගැළපෙන අයුරින් පවසන්න
- දරුවාට මරණය ගැන බොරු කීමෙන් වලකින්න
- දරුවාට හැඬීමට අවශ්‍ය නම් එයට ඉඩ දෙන්න. හඬන්න එපා යැයි දරුවාට පැවසීමෙන් වලකින්න
- මෙවැනි දෙයකට පසු දුක සිතීම සාමාන්‍ය දෙයක් බව දරුවාට පවසන්න
- දරුවාට ප්‍රශ්න අසා තමාට ඇති ගැටළු නිරාකරණය කරගැනීමට අවස්ථාව දෙන්න
- දරුවාට තම හැඟීම් ගැන කතා කිරීමට බල කිරීමෙන් වලකින්න. නමුත්, දරුවාට තම හැඟීම් ගැන කතා කිරීමට අවශ්‍ය නම්, එයට සවන් දීමට ඔබ සූදානම් බව පවසන්න. එයට අවස්ථාව දෙන්න
- මියගිය පුද්ගලයා නැවත නො එන්නේ දරුවාගේ වරදකින් නොවන බව පැහැදිලි කරන්න. සිදුවූ දේ වැලක්වීමට දරුවාට කළ හැකිව තිබූ කිසිවක් නැති බව පවසන්න
- දරුවාව අවසන් කටයුතු හා දානමය කටයුතුවලට සහභාගී කරවන්න්න. මෙය දරුවාට මිය ගිය පුද්ගලයාට සමු දීමට උදවු වේ
- හැකිතාක් ඉක්මනින් මරණයට පෙර දරුවාට තිබූ දින චර්යාවට හා එදිනෙදා ක්‍රියාකාරකම් කිරීමට දරුවා යොමු කරන්න
- දරුවාගේ සිතට අනවශ්‍ය වගකීම් පැටවීමෙන් වලකින්න (උදා: දැන් තාත්තා නැති නිසා අම්මාවත් බලාගන්න තියෙන්නේ ඔයාට තමයි, දැන් හිත හදාගන්න ඕනෙ මොකද ඔයා තමයි දන් ගෙදර බර කරට ගන්න ඉන්නෙ වැනිදෑ කීමෙන් වලකින්න)
- මියගිය පුද්ගලයාගේ වෙන්වීමෙන් පසු එදිනෙදා ජීවිතයේ සිදුවන වෙනස්කම් පිළිබඳ දරුවා දැනුවත් කරන්න (උදා: දරුවා දිනපතා පාසැල් ගෙන ගියේ තාත්තා නම් තාත්තාගේ වියෝවෙන් පසු මින්පසු දරුවා පාසැල් ගෙන යන්නේ කවුද යන්න පැහැදිලි කරන්න ආදිය).
බොහෝ දරුවන් මාස කිහිපයකට පසු වැඩිහිටියන්ගේ උදවු ඇතිව සාමාන්‍ය ජීවිතයට යළි හුරුවේ. නමුත් දරුවා දිගින් දිගටම අධික දුක, නුරුස්නා ගතිය/කේන්තිය, පාසැල් වැඩ දුර්වල වීම, නින්දට බාධා, කෑම අරුචිය වැනි ලක්ෂණ දක්වන්නේ නම්, මනෝ වෛද්‍ය සායනයකට රැගෙන යන්න.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි